4. ඉස්සත්ථ සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි පැහැදිලි කිරීම් සාරාංශය නම්: භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් බුද්ධත්වය ලැබූ ආසන්න කාලයෙහි මහත් ලාභ සත්කාර උපණි. (ලැබුණි) ලාභ සත්කාරයෙන් පිරිහුණු තීර්ථකයෝ පවුල්වලට මෙසේ කියමින් සැරිසරති: “ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කීහ: මට ම දන් දිය යුතු ය, අනෙක් අය හට දන් නො දිය යුතු ය, මගේ ශ්‍රාවකයිනට ම දන් දිය යුතු ය. අනෙක් ශ්‍රාවකයනට දන් නො දිය යුතු ය. මට ම දෙන ලද දානය මහත් ඵල වේ. අනෙක් අයට දෙන ලද්ද මහත් ඵල නො වේ. මගේ ම ශ්‍රාවකයිනට දෙන ලද (දානය) මහත් ඵල වේ. අන්‍ය ශ්‍රාවකයනට දෙන ලද්ද මහත් ඵල නො වේ. භික්ෂාචාරවලින් තමා ද යැපෙන්නකු විසින් (එසේ) භික්ෂාචාරවලින් යැපෙන අයගේ සිවුපසයට හානි සිදු කිරීම යුක්ති සහගත ද? අයුක්තියක් කරයි, නුසුදුසු දෙයක් කරයි.” පැතිරෙන මේ කථාව රජ පවුලට ද පැමිණියේ ය. රජතුමා (එය) අසා (මෙසේ) සිතී ය: “තථාගතයන් වහන්සේ අනුන්ගේ ලාභයට හානියක් කරති යන්න අභව්‍ය කාරණයකි, මොවුහු තථාගතයන් වහන්සේගේ අලාභය අයශය තකා උත්සාහ කරති. ඉදින් මම මෙහි ම සිට “එසේ නො කියනු මැනවි. බුදුන් වහන්සේ එවැන්නක් නො කියන සේකැයි කියම් ද, ඒ කථාව නො නවතින්නේ ය. මේ මහජනයා රැස්වන කාලයෙහි ම එය නවත්වන්නෙමැයි එක් උත්සව දිනයක් එන තෙක් නිහඬ ව සිටියේ ය.
පසු දිනෙක උත්සව අවස්ථා පැමිණි කල්හි මේ ඊට සුදුසු කාලය යි (සිතා) නුවර බෙර හැසිරවී ය. “ශ්‍රද්ධාවන්ත වූ හෝ අශ්‍රද්ධාවන්ත වූ, සම්මාදිට්ඨික හෝ මිච්ඡාදිට්ඨික වූ සියලු දෙනා, ගෙවල් රකින්නන් දරුවන් හෝ ගැහැණුන් හැර අවශේෂ අය විහාරයට නො එත් නම් (කහවණු) පනහක් දඩ යි.” තමා ද උදයෙහි ම ස්නානය කොට උදේ ආහාර වළඳා සියලු ආභරණවලින් සැරසී මහ බලකායක් ද සමඟ විහාරයට ගියේ ය. යමින් ම මෙසේ සිතී ය: “භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මට ම දානය දිය යුතු ය..... අන් ශ්‍රාවකයනට දෙන ලද්ද මහත් ඵල නො වේ’යි (කියා පවසන සේක් ද?) මෙසේ විමසීය අයුතු ය. ප්‍රශ්නයක් ම විමසමි. ප්‍රශ්නය විසඳන සේක් ම භාග්‍යවතුන් වහන්සේ අවසානයේ තීර්ථකයන්ගේ වාදය බිඳින සේක” යි ප්‍රශ්නය අසමින් “තත්‍ථ නුඛො භන්තෙ දානං දාතබ්බං” යි ඇසී ය. යත්‍ථ යම් පුද්ගලයෙකු කෙරෙහි චිත්තං පසීදති ඔහු කෙරෙහි දිය යුතු ය, ඔහුට හෝ දිය යුතුය යන අරුතයි.
එසේ කී කල රජතුමා, යම් මිනිසුන් විසින් තීර්ථකයන්ගේ වචනය දක්වන ලද ද ඔවුන් දෙස බැලී ය. ඔවුහු රජතුමා විසින් බලන ලද පමණින් ම දුර්මුඛ බවට පත්වූවෝ මුහුණු පහත් කර ගන්නාහු, පා ඇඟිලිවලින් බිම ඉරි අඳිමින් සිටියහ. රජතුමා “ස්වාමීනි, එක වචනයෙන් ම තීර්ථකයෝ නැසුනහ” යි මහජනයා අස්වමින් මහ හඬින් පැවසී ය. මෙසේ ද පවසා භාග්‍යවතුන් වහන්ස, නිගණ්ඨ, අචෙලක, පරිබ්‍රාජක ආදීන් කෙරෙහි ද සමහර විට සිත පැහැදේ, “කත්‍ථ පන භන්තෙ දින්නං මහප්ඵලං” (ස්වාමීනි, කවුරුන් කෙරෙහි දෙන ලද්ද මහත් ඵල ද?) යි විමසී ය. අඤ්ඤං ඛො එතං “මහරජ, ඔබ විසින් පළමුවෙන් විමසන ලද්ද එකකි. පසුව වෙනත් ප්‍රශ්නයක් ගැන සිතන්නෙහි; ප්‍රශ්නය විසඳාලීම මගේ වගකීමකි” යි කියා සීලවතො ඛො යනාදිය වදාළහ. එහි ඉධ ත්‍යස්ස ‘ඉධ තෙ අස්ස’ (මෙහි ඔබට වන්නේ ය) සමූපබ්බළ්හො එක් රැස් වූ, අසික්‍ඛිතො දුණු සිල්පයෙහි නුපුහුණු, අකතහත්‍ථො මිට බැඳීම ආදී වශයෙන් සම්පූර්ණ නො කළ අත් ඇති (කෘතහස්ත නො වූ), අකතයොග්ගො තණකොළ ගොඩ මැටි ගොඩ ආදියෙහි පරිචය නොමැති, අකතූපාසනො රාජරාජමහාමාත්‍යාදීන් හට ඊ විදීම නො දැක්වූ, ඡම්හී වෙවුළන සිරුර ඇත්තේ.
කාමච්ඡන්‍දො පහීනො ආදියෙහි, අරහත් මගින් කාමච්ඡන්දය ප්‍රහීණ වූයේ වෙයි. අනාගාමි මාර්ගයෙන් ව්‍යාපාදය, අරහත් මාර්ගයෙන් ම ථීනමිද්ධය. එසේ ම දෙවැන්නෙන් උද්ධච්චය, තෘතීයයෙන් ම කුක්කුච්චය, ප්‍රථම මාර්ගයෙන් විචිකිච්ඡාව ප්‍රහීණ වූයේ වේ.
අසෙඛෙන සීලක්‍ඛන්‍ධෙන අසේඛවූවහුගේ (රහත් බවට පත් වූවහුගේ) ශීලස්කන්ධය අසේඛ ශීලස්කන්ධය නමි. සියලු තන්හි මේ න්‍යාය ම ය. මෙහි ද මුල් පද හතරෙන් ලෞකික ලෝකෝත්තර ශීල සමාධි ප්‍රඥා විමුක්ති පවසන ලදි. විමුක්ති ඥාන දර්ශනය ප්‍රත්‍යවේක්ෂා ඥානය වේ. එය ලෞකික ම වේ.