3. කෝශල වර්ගය
1. පුග්ගල සූත්‍ර වර්ණනාව
තෙ වැනි වර්ගයේ පළමු වැන්නේ - නීචෙ කුලෙ පච්චාජාතො ආදියෙන් අන්ධකාරයෙන් යුක්ත වූයේ යි = තමො, කාය දුශ්චරිතාදියෙන් යලි නිරා අඳුරට ගෙන යන හෙයින් = තමපරායණො, මෙසේ දෙකෙන් ම ස්කන්ධ අන්ධකාරය ම පවසන ලද්දේ වේ. උච්චෙ කුලෙ පච්චා ජාතො ආදියෙන් එළිය සහිත වූයේ = ජොති, ආලෝකයෙන් යුතු වූයේ යි කියන ලද්දේ වේ. කාය සුචරිතාදියෙන් යළි ස්වර්ගයෙහි ඉපදීම හා ආලෝකවත් බවට පත් වීම යන හෙයින් = ජොති පරායණො; මේ අයුරින් ඉතිරි දෙක ද දත යුතු ය.
වෙණ කුලෙ බට පතුරුවලින් වියන කුලයෙහි, නෙසාද කුලෙ මුව-වැදි ආදීන්ගේ කුලයෙහි, රථකාර කුලෙ රිය සකසන - සොම්මර - කුලයෙහි, පුක්කුස කුලෙ කොටහළු-පුප්සඬු-කුලයෙහි, කසිරවුත්තිකෙ දුක් සහිත වෘත්තිය ඇති, දුබ්බණ්ණො දුහුවිලි ගොඩවල් ආදියෙහි හැසිරෙන පිශාචයන් වැනි, පිළිස්සුණු කණුවල පාට ඇත්තේ, දුද්දසිකො වැදූ මවට පවා ප්‍රිය මනාප නො වූ පෙනුම ඇත්තේ, ඔකොටිමකො කුරුමිටි වූ, කාණො එක් ඇහැක් කණ වූ හෝ දෑස ම කණ වූ, කුණි එක් අතක් වක් වූ හෝ දෑත ම වක් වූ, ඛඤ්ජො එක් පයක් කොර හෝ දෙපය ම කොර; පක්‍ඛහතො පැත්තක් විනාශ වූ, (පක්‍ෂාඝාත වූ) පිළා, පදීපෙය්‍යස්ස තෙල් කබල ආදී පහන් උපකරණවල, එවං ඛො මහාරාජ මෙහි එක් පුද්ගලයෙක් බැහැරින් ආලෝකයක් නො දැක මව් කුසයෙහි ම කාල ක්‍රියා කොට අපායවල උපදින්නේ සම්පූර්ණ කල්පය ම (එහි) සැරිසරයි. ඔහු ද ‘තමො තමපරායණ’ වේ. යමෙක් කුහක පුද්ගලයෙක් වේ ද කුහකයාට මේ ආකාරයේ උපතක් වෙතැයි කියන ලදි.
මෙහි ද නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා ආදියෙන් පැමිණෙන විපත්ති මෙන් ම පූර්ව උත්පත්ති හේතුවෙන් ලත් විපත්ති ද පෙන්වන ලදි. දළිද්දෙ ආදියෙන් පවත්නා ප්‍රත්‍ය හානිය; කසිරවුත්තිකො ආදියෙන් දිවි පෙවෙත පවත්වා ගැනීමේ (ආජීව) ක්‍රම හානිය; දුබ්බණ්ණො ආදියෙන් ශරීර හානිය, බහ්වාබාධො ආදියන් දුකට හේතු වන දෑහි නිරත වීම, න ලාභී ආදියෙන් සුමඟට හේතුවන දෑ හානි වීමත් උපභෝග හානියත් ය. කායෙන දුච්චරිතං ආදියෙන් තමපරායණ වීමට හේතු වන දෑහි නිරත වීම, කායස්ස භෙදා ආදියෙන් පරලොව අඳුරට පත් වීම, ශුක්ල (පුණ්‍ය නොහොත් ජෝති) පක්ෂය කියන ලද්දට ප්‍රතිවිරුද්ධ ආකාරයට ම දත යුත්තේ ය.
අක්කොසති ආක්‍රෝශ වස්තු දහයෙන් ආක්‍රෝශ කරයි, පරිභාසති “කුමට සිටින්නාහු ද? කිම ඔබලා විසින් අපට ගොවිතැන් ආදිය කරන ලද ද?” ආදියෙන් පරිභව වචනවලින් පරිභව කරයි, රොසෙති ගැටෙයි, අබ්‍යග්ගමනසො ඒකාග්‍ර චිත්තය ඇත්තේ.
පළමු වැනි සූත්‍රය යි.
2. අය්‍යකා සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - ජිණ්ණා ජරාවෙන් (මහලු වීමෙන්) දිරා ගිය; වුද්ධා වයෝ වෘද්ධ වූ, මහල්ලිකා උපතින් වැඩිහිටි, අද්ධගතා දිගු කාලයක් ඉක්මවූ, වයො අනුප්පත්තා පශ්චිම වයසට පැමිණියා වූ, පියා මනාපා රජුගේ මව මළ කල්හි මිත්තණිය මව් තනතුරේ සිට ඔහුට සැළකුවා ය. එහෙයින් ඔහුට මිත්තණිය කෙරෙහි බලවත් ආදරයක් හට ගත්තේ ය. එහෙයින් මෙසේ කී ය.
හත්‍ථිරතනෙන ශත සහස්‍රයකට (ලක්‍ෂයකට) සමාන වටිනා වූ ඇතුන් ලක්ෂයක් වටිනා අලංකාරවලින් අලංකාර කරන ලද්දේ හස්ති රත්නය නමි. අශ්වරත්නය පිළිබඳ ව ද මේ න්‍යාය ම ය. ගම්වර ද ලක්ෂයක් දක්වා නැගී සිටි ගම් ය. සබ්බානි තානි භෙදනධම්මානි (ඒ සියල්ල බිඳෙන සුලු ය) ඒවායින් සමහරක් තනන විට ම බිඳී යයි. සමහරක් තනා අවසන් වී ගැලෙන් ගෙන නො යා ම, සමහරක් ගෙන ගොස් බිම තැබූ පමණින් ම, සමහරක් ඊට පසු ව (බිඳී යයි.) එසේ ම සත්ත්වයන් අතර ද සමහරක් ප්‍රතිසන්ධිය ලබා මැරෙත්, සමහරෙක් දරුගැබ ගබ්සා වී මව් කුසින් නික්මෙන්නටත් පෙර, සමහරෙක් (මව් කුසෙන්) නික්මෙමින්, සමහරෙක් ඊට පසු ව (මැරෙත්), එහෙයින් මෙසේ කියන ලදි.
දෙවන සූත්‍රය යි.
3. ලෝක සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි සියල්ල කියන ලද පරිදි ම ය.
තුන් වැනි සූත්‍රය යි.
4. ඉස්සත්ථ සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි පැහැදිලි කිරීම් සාරාංශය නම්: භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් බුද්ධත්වය ලැබූ ආසන්න කාලයෙහි මහත් ලාභ සත්කාර උපණි. (ලැබුණි) ලාභ සත්කාරයෙන් පිරිහුණු තීර්ථකයෝ පවුල්වලට මෙසේ කියමින් සැරිසරති: “ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කීහ: මට ම දන් දිය යුතු ය, අනෙක් අය හට දන් නො දිය යුතු ය, මගේ ශ්‍රාවකයිනට ම දන් දිය යුතු ය. අනෙක් ශ්‍රාවකයනට දන් නො දිය යුතු ය. මට ම දෙන ලද දානය මහත් ඵල වේ. අනෙක් අයට දෙන ලද්ද මහත් ඵල නො වේ. මගේ ම ශ්‍රාවකයිනට දෙන ලද (දානය) මහත් ඵල වේ. අන්‍ය ශ්‍රාවකයනට දෙන ලද්ද මහත් ඵල නො වේ. භික්ෂාචාරවලින් තමා ද යැපෙන්නකු විසින් (එසේ) භික්ෂාචාරවලින් යැපෙන අයගේ සිවුපසයට හානි සිදු කිරීම යුක්ති සහගත ද? අයුක්තියක් කරයි, නුසුදුසු දෙයක් කරයි.” පැතිරෙන මේ කථාව රජ පවුලට ද පැමිණියේ ය. රජතුමා (එය) අසා (මෙසේ) සිතී ය: “තථාගතයන් වහන්සේ අනුන්ගේ ලාභයට හානියක් කරති යන්න අභව්‍ය කාරණයකි, මොවුහු තථාගතයන් වහන්සේගේ අලාභය අයශය තකා උත්සාහ කරති. ඉදින් මම මෙහි ම සිට “එසේ නො කියනු මැනවි. බුදුන් වහන්සේ එවැන්නක් නො කියන සේකැයි කියම් ද, ඒ කථාව නො නවතින්නේ ය. මේ මහජනයා රැස්වන කාලයෙහි ම එය නවත්වන්නෙමැයි එක් උත්සව දිනයක් එන තෙක් නිහඬ ව සිටියේ ය.