9. යඤ්ඤ සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - ථූණුපනීතානි ටැඹට (කණුවට) ගෙනෙන ලද්දාහු, ටැඹට ගැට ගසන ලද්දාහු වෙත්; පරිකම්මානි කරොන්ති මෙපමණකින් ඒ භික්ෂූන් විසින් රජුගේ ඇරඹූ යාගය (ගැන) තථාගතයන් වහන්සේට සැළ කරන ලදි. කුමක් නිසා රජතුමා විසින් මේ යාගය අරඹන ලද්දේ ද? නරක සිහිනයක් නැසීම පිණිස ය. එක් දිනක් රජතුමා සර්වාලංකාර ප්‍රතිමණ්ඩිත වූයේ උතුම් ඇතකු පිට නැගුනේ නගරයේ සැරිසරන්නේ කවුළුව ඇර බලන එක් ස්ත්‍රියක දැක ඇය පිළිබඳ සිතක් ඇති වූයේ එතැනින් ම නැවතී අන්තඃපුරයට පිවිස එක් පුරුෂයෙකුට එය පවසා “යව, ඇය සස්වාමික බව හෝ අස්වාමික බව දැන ගනුව” යි යැවී ය. හේ ගොස් ඇසී ය. ඕ තොමෝ “මගේ ඒ සැමියා වෙළෙඳ සැලෙහි සිටින්නේ ය” යි පෙන්වූවා ය. රාජ පුරුෂයා ඒ බැව් රජුට දැන්වී ය: රජතුමා ඔහු කැඳවා “මට උපස්ථාන කරව” යි කී ය. “දේවයිනි, මම උපස්ථාන කිරීමට නො දනිමි” යි කී කල්හි ද “උපස්ථාන කිරීම ගුරුවරයකු ළඟ උගත යුත්තක් නො වේ” යි බලාත්කාරයෙන් ආයුධ පුවරුව ඔහු ලවා අල්ලවා ගෙන උපස්ථායක කරවී ය. උපස්ථාන කොට නිවසට ගිය පමණින් ඔහු යළි කැඳවා “උපස්ථායකයා විසින් රජුගේ වචන (කියන දෑ) කළ යුතු ය. යව, මෙයින් යොදුනක් පමණ වූ තැන අපගේ හිස ධෝවනය කරන පොකුණක් ඇත. එයින් අරුණු වන් මැටි ද රතු උපුල් මල් ද ගෙන එව ඉදින් අද ම නො එන්නෙහි නම් තොපට රාජ දණ්ඩනය (නියම) කරමි” යි කියා යැවී ය. හේ රාජභය නිසා පිටත් ව ගියේ ය.
රජතුමා ඔහු ගිය කල්හි දොරටු පාලයා කැඳවා “අද හවස ම දොරටු වසා, මම රාජදූතයෙක්මි යි කියන්නවුන්ට වත් (දොරටු) නො අරිනු යි කී ය. ඒ පුරුෂයා මැටි ද උපුල් මල් ද ගෙන දොරටු වැසූ මොහොතේ ම පැමිණ බොහෝ (කරුණු) කියන්නේ වුව ද දොර (අරිනු) නො ලැබන අනතුරට (රාජදණ්ඩනයට) ඇති බියෙන් ජේතවනයට ගියේ ය. රජතුමා ද බලවත් පීඩාවෙන් මැඩුනේ ටික වේලාවක් හිඳගෙන සිටියි; ටික වේලාවක් සිටගෙන සිටියි; ටික වේලාවක් නිදයි; සිටින තැනක් නො ලබන්නේ ඒ ඒ තැන හිඳින්නේ ම වඳුරු නින්දෙන් නිදා ගනියි.
පෙර ද මේ නගරයේ ම සිටු පුත්‍රයෝ සතර දෙනෙක් පරදාර කර්ම කොට නන්දෝපනන්ද නම් ලෝකුඹු නිරයෙහි උපන්හ. ඔවුහු පෙන නගින කුඹයෙහි පැසවන්නාහු වසර තිස් දහසක් පහතට යමින් කළයෙහි පතුළට යති. වසර තිස් දහසක් උඩට එන්නාහු මතු පිටට එති. ඔවුහු ඒ දවස්හි ආලෝකය බලා තමන්ගේ පාපකර්මය පිළිබඳ වූ බියෙන් එක් එක් ගාථාවක් කියනු කැමැත්තෝ (එසේ) කීමට නො හැකි වෙමින් එක් එක් අකුරක් ම කීහ. එකෙක් ‘ස’ කාරය, එකෙක් ‘සො’ කාරය, එකෙක් ‘න’ කාරය, අනිකා ‘දු’ කාරය කී ය. රජතුමා ඒ නිරි සතුන්ගේ ශබ්දය ඇසූ වේලේ පටන් සුවයක් නො විඳිමින් රෑ ඉතිරි කොටස ගත කළේ ය.
අරුණ නැගි කල පුරෝහිතයා පැමිණ රජතුමාගෙන් සුවසේ නිදා ගැනීම ගැන විමසී ය. හේ “ආචාර්යයෙනි, සුවයක් කොයින් ද? යි කියා සිහිනෙන් මෙ බඳු ශබ්ද ඇසීමි යි පැවසී ය. බ්‍රාහ්මණයා “මේ රජුට මේ ස්වප්නයෙන් වෘද්ධියක් හෝ හානියක් හෝ නො වේ. එසේ වුවත් මොහුගේ ගෙහි යමක් ඇත් ද එය ගෞතම ශ්‍රමණයන් වහන්සේටත් ගෞතම ශ්‍රාවකයන්ටත් වේ. බ්‍රාහ්මණයෝ කිසිවක් නො ලබත්. බ්‍රාහ්මණයනට භික්‍ෂාව උපයා දෙන්නෙමි’යි; “මහරජතුමනි, මේ සිහිනය බරපතළ ය. හානි තුනකින් එකක් පෙනේ. (එනම්) රාජ්‍ය අන්තරායක් හෝ වන්නේ ය. ජීවිත අන්තරායක් හෝ වන්නේ ය. වැස්ස හෝ නො වසින්නේ ය යි කී ය. “ආචාර්යයෙනි, කෙසේ නම් යහපතක් වන්නේ ද?” මහරජ, ආචාර්යයන් හා සාකච්ඡා කොට දැන ගැනීමට හැකි ය.” යනු මැනවි (ආචාර්යයන් හා) සාකච්ඡා කොට අපට යහපතක් කරව” යි,
හේ සිවිකා ශාලාවට බ්‍රාහ්මණයන් කැඳවා ඒ බැව් දන්වා, වෙන වෙන ම ගොස් මෙසේ කියන්නැයි කණ්ඩායම් තුනක් කළේ ය. බ්‍රාහ්මණයෝ පිවිස රජුගෙන් සුවසේ නිදා ගැනීම ගැන විමසූහ. රජතුමා පුරෝහිතයාට කී පරිද්දෙන් ම පවසා, කෙසේ යහපතක් වන්නේ දැයි විමසී ය. බ්‍රාහ්මණයෝ සර්ව පඤ්ච ශත (පන්සිය) යාගය මැද මේ කර්මයෙන් යහපතක් වන්නේ ය. මහරජ (පෙර) ආචාර්යවරු මෙසේ කියති යි පැවසූහ. රජතුමා ඔවුන්ගේ කථාව අසා නො සතුටට පත්ව ප්‍රතික්‍ෂේප නො කොට නිහඬ ව සිටියේ ය. ඉක්බිති දෙවන කණ්ඩායමේ බ්‍රාහ්මණයෝ ද පැමිණ එලෙස ම කීහ. පසුව තෙවන කණ්ඩායම ද (එසේ කළහ). ඉක්බිති රජතුමා ‘යාගය’ කරත්වා යි අණ කළේ ය. එතැන් පටන් බ්‍රාහ්මණයෝ වෘෂභ ආදි සතුන් රැස් කළෝ ය. නගරයෙහි මහා ඝෝෂාවක් ඇති විය. ඒ පුවත දැන මල්ලිකා දේවිය රජතුමා තථාගතයන් වහන්සේ වෙත යැවුවා ය. හේ ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව සිටියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට “මහරජ, ඔබ මහ දවල් කොහි සිට එන්නෙහි ද? යි ඇසූහ. රජතුමා “ස්වාමීනි, අද මට සිහිනෙන් ශබ්ද සතරක් ඇසිණි. ඒ මම බ්‍රාහ්මණයන් විමසීමි. බ්‍රාහ්මණයෝ, මහරජ, සිහිනය බරපතළ ය. සර්ව පඤ්ච ශත යාගය යැද ප්‍රතිකර්ම කරමු යි (එය) අරඹන ලදී යයි කී ය. “මහරජ ඔබ විසින් අසන ලද ශබ්ද මොනවා ද?” හේ ඇසූ පරිදි දැන්වී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට කී සේක. “මහරජ, පෙර මේ නගරයෙහි ම සිටු පුත්තු සතර දෙනෙක් පරදාර කර්මයෙහි යෙදුනාහු නන්දෝපනන්ද ලෝකුඹු නිරයෙහි උපන්නාහු වසර සැට දහසක් මතුයෙහි ඉහළට නැඟුනාහ.