1. බන්ධන වර්ගය
1. දහර සූත්‍ර වර්ණනාව
කෝසල සංයුක්තයෙහි පළමු වැන්නේ - භගවතා සද්ධිං සම්මොදී ඔහු විසින් යම් සේ ඛමනීය ද (සුවසේ සිටින්නේ ද) ආදියෙන් භාග්‍යවතුන් වහන්සේ විමසනු ලබන්නේ ද එසේ ම ඔහු ද භාග්‍යවතුන් වහන්සේ සමඟ සම ව පවත්නා සතුටින් යුක්ත වූයේ විය. උණු දියෙන් සිසිල් දිය හා සොම්නසට පත්වූවා සේ ඒකීයභාවයට ගියේ ය. “කච්චි භො ගොතම ඛමනීයං කච්චි යාපනීයං කච්චි භොතො ගොතමස්ස ගොතමසාවකානඤ්ච අප්පාබාධාං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසු විහාරො” (භවත් ගෞතමයනි, කිම සුවසේ සිටින සේක් ද, කිම ප්‍රමාණවත් සේ යැපීමට තිබේ ද? කිම භවත් ගෞතමයනට හා භවතුන්ගේ ශ්‍රාවකයනට අල්ප ආබාධ - අල්ප ආතංක (අසනීප), ශරීර සුවය, ශක්තිය පහසුවෙන් විසීම වේ ද?) ආදී කථාවෙන් සම්මෝදයට (සතුටට) පත් විය. එය ප්‍රීතිය, ප්‍රමෝදය සංඛ්‍යාත වූ සම්මෝදය හට ගැනීම හේතුවෙන් (හා) සම්මොද වීම පිණිස යෙදුණු බැවින් සම්මොදනීය ය. අර්ථ ව්‍යංජනවල මධුර භාවය මගින් බොහෝ කාලයක් ස්මරණය කරන්නට පවත්වන්නට සුදුසු වන බැවින් (හා) ස්මරණය කළ යුතු බැවින් ද සාරාණීය (සිහි කරනු නිසි) ය. ඇසීම මඟින් වන පිනවීමෙන් සම්මොදනීය ය; අනුස්මරණය කිරීම් මඟින් වන පිනවීමෙන් සාරාණීය ය. එසේ ම ව්‍යඤ්ජන පරිශුද්ධතාව මඟින් සම්මොදනීය ය; අර්ථ පරිශුද්ධතාව මඟින් සාරාණීය ය; මෙසේ නොයෙක් ආකාරයෙන් සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව, වීතිසාරෙත්‍වා අවසන් කොට, නිමවා. මෙයට පෙර තථාගතයන් වහන්සේ නො දුටු බැවින් ගුණ අගුණ වශයෙන් ගැඹුරු බව හෝ නො ගැඹුරු බව හෝ නො දන්නේ එකස්මිං නිසීදි, එකමන්තං නිසින්නො ඛො යමක් ඉත හිත ද පැමිණියේ එය විචාරීම පිණිස “භවම්පි නො” ආදිය පැවසී ය.
එහි භවම්පි හි ‘පි’ කාරය සම්පිණ්ඩනාර්ථයෙහි නිපාතයකි. එයින් ශාස්තෲවරුන් සය දෙනා කැටි කරයි. යම් සේ පූරණ (කස්සප) ආදීහු සම්මා සම්බුද්ධ වම්හ යි හඟිත් ද එලෙස ඔබ වහන්සේත් හඟින්නෙහි ද යන අරුත යි. මෙය රජතුමා තමාගේ ලබ්ධියෙන් නොව ලොවෙහි මහජනයා විසින් ගන්නා ලද දැනුම් වශයෙන් අසයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බුද්ධ සිංහ නාදය නඟන්නාහු යං හි තං මහාරාජ යනාදිය වදාළහ.
එහි අහං හි මහාරාජ අනුත්තරං සියල්ලට ශ්‍රේෂ්ඨ වූ සර්වඥතා ඥාන සංඛ්‍යාත සම්මාසම්බොධිං අහං අභිසම්බුද්ධො (මම සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි) යන අර්ථය යි. සමණබ්‍රාහ්මණා පැවිදි බවට පත්වීමෙන් ශ්‍රමණයෝ; ජාති වශයෙන් බ්‍රාහ්මණයෝ; ‘සංඝිනො’ ආදි තැන්වල පැවිදි සමූහ සංඛ්‍යාත වූ සංඝයා (සමූහය) මොවුනට ඇතැයි = සංඝිනො; තමාගේ ගණයක් (සමූහයක්) ඔවුනට ඇතැයි = ගණිනො; ආචාර ඉගැන්වීම් වශයෙන් ඒ සමූහයේ ආචාර්යවරයෝ යි ගණාචරියා; ඤාතා ප්‍රසිද්ධ, ප්‍රකට; අල්පේච්ඡ වූ සතුටට (සෑහීමට) පත්වූ, අල්පේච්ඡතාව නිසා වස්ත්‍රයක් පවා නො හඳිතියි මෙසේ පැතිරුණු යශස ඔවුනට ඇතැයි යසස්සිනො, තිත්‍ථකරා ලබ්ධිය ඇති කරන්නාවූ; සාධු සම්මතා ශාන්තයහ, සත්පුරුෂයෝ යි මෙසේ පිළිගත්. බහුජනස්ස අශ්‍රැතවත් (නූගත්) අන්ධබාල පෘථග්ජනයා හට; පූරණො යනාදිය ඔවුන්ගේ නාම ගෝත්‍ර ය. පූරණො නාමය ම ය. එසේ ම මක්‍ඛලී, හේ ගෝසාලයක (ගව හලක) උපන් හෙයින් ‘ගෝසාල’ යයි කියන ලද්දේ ය. නාථපුත්තො නාථයන්ගේ පුත්‍රයා; බෙල්ලට්ඨපුත්තො බෙල්ලට්ඨගේ පුත්‍රයා, කච්චායනා පකුධගේ ගෝත්‍රය; කෙස්වලින් තනන ලද කම්බිලියක් දරන බැවින් අජිනො කෙසකම්බලො යි කියන ලදි.
තෙපි මයා කප්ප කෝලාහල, බුද්ධ කෝලාහල, චක්කවත්ති කෝලාහල යි කෝලාහල තුනකි. එහි, වර්ෂ ශතසහස්‍රයකින් (ලක්ෂයකින්) මත්තෙහි කල්ප හට ගැනීම වන්නේ ය යි කල්ප කෝලාහල නම් වේ. “මින් වර්ෂ ශත සහස්‍රයකින් මතුයෙහි ලෝකය විනාශ වන්නේ ය. පින්වත්නි, මෛත්‍රී කරවූ කරුණා, මුදිතා, උපෙක්ඛා (වඩවු) යි හඬනඟමින් දේවතාවෝ මිනිස් ලොව ඇවිදිති. වර්ෂ ශත සහස්‍රයක් මතුයෙහි බුදුන් වහන්සේ පහළ වන්නේ ය යි “බුද්ධ කෝලාහල” නම් වේ. “මෙයින් වර්ෂ ශත සහස්‍රයකින් මතුයෙහි බුදුවරයකු පහළවී ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු සංඝරත්නය විසින් පිරිවරන ලද්දාහු ධර්මය දේශනා කරමින් හැසිරෙන්නෝ ය” යි දේවතාවෝ උද්ඝෝෂණය කරති. වර්ෂ සියයක් මතුයෙහි චක්‍රවර්ති (රජතුමා) උපදින්නේ ය යි උද්ඝෝෂණය කිරීම “චක්‍රවර්ති කෝලාහලය” නම් වේ. මෙයින් වර්ෂ සියයක් මතුයෙහි සප්තරත්නයෙන් යුක්ත වූ ද්වීප සතරට අධිපති වූ දහසක් පුතුන් පිරිවරා ගත්, අහසින් යන චක්‍රවර්ති රජු උපදින්නේ යයි දේවතාවෝ උද්ඝෝෂණය කරති.
මේ කෝලාහල තුන අතුරින් බුද්ධ කෝලාහලය අසා, මේ ශාස්තෲවරු සය දෙන ආචාර්යවරුන් ඇසුරු කොට චින්තාමණි විද්‍යාව ආදිය උගෙන අපි බුදුන් වම්හ යි ප්‍රතිඥා කොට මහජනයා විසින් පිරිවරන ලද්දාහු ජනපදයන්හි සැරිසරන්නාහු පිළිවෙලින් සැවතට පැමිණියාහු ය. ඔවුන්ගේ උපස්ථායකයෝ රජු වෙත පැමිණ, “මහරජතුමනි, පූරණ කෘශ්‍යප, අජිත කේශකම්බල ‘බුදු කෙනෙක්’ ලු ‘සර්වඥ කෙනෙක්’ ලු යි දැනුම් දුන්හ. රජතුමා ඔබලා ම ආරාධනය කොට කැඳවා ගෙන එවු යයි කී ය. ඔවුන් විසින්, ගොස් “රජතුමා ඔබලාට ආරාධනය කරයි. රජුගේ නිවසෙහි භික්ෂාව ගනු මැනවි” යි කියන ලද්දාහු, යාමට උත්සාහ නො කරති. යළි යළිත් පවසනු ලබන්නාහු උපස්ථායකයන්ගේ සිත රැක ගනු පිණිස පිළිගෙන සියලු දෙනා එක් ව ම ගියහ. රජතුමා ආසන පනවා හිඳ ගනු මැනවි යි කී ය. නිර්ගුණවතුන්ගේ ශරීරවල රාජ උෂ්ණය පැතිරෙයි. ඔවුහු මහාර්ඝ වූ ආසනවල හිඳ ගැන්මට අපොහොසත් වන්නාහු ලෑලිවල ද බිම ද හිඳ ගත්හ.
රජතුමා එපමණෙකින් ම ඔවුන්ගේ ඇතුළත පුණ්‍ය ධර්ම නැතැයි කියා ආහාර නො දී ම, තල් ගසින් වැටුණහුට මුගුරින් තළන්නා සේ “ඔබලා බුදුහු ද නො බුදුහු දැයි ප්‍රශ්න කළේ ය. ඔවුහු (මෙසේ) සිතූහ: ඉදින් “බුදුවරු වෙමු” යි පවසමු නම් රජතුමා බුද්ධවිෂයක ප්‍රශ්නයක් අසා කථා කිරීමට (පිළිතුරු දීමට) අපොහොසත් වූ කල්හි, ඔබලා අපි බුදුවරු වෙමු යි මහජනයා වංචා කොට තැන තැන යන්නාහු යයි දිව හෝ කපනු ඇත. වෙනත් අනර්ථයක් හෝ කරනු ඇත. තම කැමැත්තෙන් ම “අපි බුදුවරු නො වම්හ” යි කීහ. එවිට රජතුමා ඔවුන් ගෙයින් ඇද දැමී ය.
ඔවුන් රජ ගෙදරින් බැහැර යන කල්හි උපස්ථායකයෝ (මෙසේ) ප්‍රශ්න කළහ: “කිම ආචාර්යවරුනි, රජතුමා ඔබලාගෙන් ප්‍රශ්න අසා සත්කාර සම්මාන කළේ ද?” “රජතුමා ඔබලා බුදුවරුදැයි විමසුවේ ය; ඉන් පසු අපි, ඉදින් මේ රජතුමා බුද්ධ විෂයේ ප්‍රශ්නය විසඳන විට නො දැන අප කෙරෙහි සිත දූෂණය කරගන්නේ ය. බොහෝ පව් පැසවන්නේ යයි රජුට අනුකම්පාවෙන් අපි බුදුවරු නො වම්හ යි කීවෙමු. අපි බුදුවරු ම වෙමු. අපේ බුදු බව දියෙන් සෝදා වුව ද ඉවත් කිරීමට නො හැක්කේ ය” යි පිටත දී ‘බුදුවරු වෙමු’ යි කීහ. රජතුමා සමීපයේ දී අපි බුදුවරු නො වම්හ” යි කීහ යි මෙය ගෙන රජතුමා මෙසේ කී ය. එහි කිං පන භවං ගොතමො දහරො චෙව ජාතියා, නවො ච පබ්බජ්ජාය (කිම? භවත් ගෞතමයන් වහන්සේ උපතිනුදු ළමා වන සේක. පැවිද්දෙනුත් නවක වන සේක යි) තමාගේ පිළිගැන්ම අනුව මෙය පවසයි.
එහි කිං යනු ප්‍රතික්ෂේප කිරීමේ වචනයකි. උපතින් මහලු වූත් බොහෝ කලක් පැවිදි ව සිටියාවූත් මොවුහු බුදු වෙමු යි නො පිළිගනිති. භවත් ගෞතමයෝ උපතින් ද ළමා ය. පැවිදි වීමෙන් ද නවක ය. කිම පිළිගන්නෙහි ද, නො පිළිගනු මැනවි යන අරුත යි.