10. බන්ධන සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - ඉධ භන්තෙ රඤ්ඤා ඒ භික්ෂූන් වහන්සේලා ඒ මිනිසුන් අතර (සිටින) අනඳ තෙරුන්ට මනා කරුණක් දන්වන්නාහු (මෙය) දැන්වූහ. ශක්‍රයා විසින් කුස රජුට දෙන ලද අෂ්ටවංක මාණික්‍යය රජුට ප්‍රවේණියෙන් ලැබී තිබේ. රජතුමා සැරසෙන වේලාවෙහි “ඒ මාණික්‍යය ගෙනෙනු’ යි කී ය. මිනිස්සු “තිබූ තැන (එය) නො දකිමු’යි දැන්වූහ. රජතුමා නිවස ඇතුළෙහි ගැවසෙන්නන් ‘මැණික සොයා දෙනු’ යි බැඳ දැම්මවී ය. අනඳ තෙරණුවෝ එවුන් දැක මැණික තැන්පත් කළ (ඇසුරුම් කළ) අයට එක් උපායක් වදාළහ. ඔවුහු රජුට දැන්වූවෝ ය. රජතුමා “තෙරුන් වහන්සේ පණ්ඩිතය හ. තෙරුන්ගේ වචන අනුව කරවු’ යි කී ය. ඇසුරුම් කරන්නෝ රජ මිදුලෙහි දිය සැළියක් තබවා තිරයකින් වට කොට ඒ මිනිසුන්ට කීහ. “සාටකයක් පෙරවා එහි ගොස් අත් ඔබනු” යි. මැණික් සොරා (මෙසේ) සිතී ය: රාජ භාණ්ඩය ඉවත දමන්නට හෝ පාවිච්චි කරන්නට හෝ නො හැක්කේ ය. හේ ගෙට ගොස් මැණික කිසිල්ලේ තබා සාටකය පෙරවා පැමිණ දිය සැළියෙහි දමා පිටත් ව ගියේය. මහජනයා ආපසු ගිය විට රාජ පුරුෂයෝ සැළියෙහි අත ඔබා මැණික දැක ගෙනැවිත් රජුට දුන්හ. “ආනන්ද තෙරුන් විසින් පෙන්වා දෙන ලද ක්‍රමයෙන් මැණික දක්නා ලදී” යි මහජනයා හඬ නැඟූහ. ඒ භික්ෂූහු ඒ කාරණය තථාගතයන් වහන්සේට දන්වන්නෝ මේ ප්‍රවෘත්තිය දැක්වූහ. බුදුන් වහන්සේ “මහණෙනි, ආනන්දයන් මිනිසුන්ගේ අත තිබූ මැණික ගෙන දීම ආශ්චර්යයක් නො වේ. පෙර පණ්ඩිතයෝ තම නැණෙහි පිහිටා අහේතුක ප්‍රතිසන්ධියෙහි පහළ වූ තිරිසන් ගත වූවන්ගේ අතෙහි වූ භාණ්ඩයක් වුව ද රැගෙන රජුට දුන්හ යි කියා,
“උක්කට්ඨෙ සූරමිච්ඡන්ති මන්තෙසු අකුතූහලං
පියඤ්ච අන්නපානම්හි අත්‍ථෙ ජාතෙ ච පණ්ඩිතං”
යි මහාසාර ජාතකය වදාළ සේක.
න තං දළ්හං ඒ බන්ධනය ස්ථිර එකකැයි නො කියති, යදායසං ‘යං අයසා කතං’ (යමක් යකඩින් කරන ලද ද) සාරත්තරත්තා දැඩි ඇල්මෙන් ඇළුණ, සාරත්වයෙන් ඇළුණු හෝ, හරය මෙය යි සිතමින් ඇළුණු යන අරුතයි. අපෙක්ඛා උපේක්ෂාව, තෘෂ්ණාව ආහු කියත්. ඔහාරිනං සතර අපායෙහි ඇද දමන සිථිල යකඩ ආදී බැඳුමින් මෙන් නොව ඉරියව් නවත්වා සිටි, ඒ බැඳුමෙන් බැඳුනාහු අන් දේශයකට හෝ සයුරෙන් එපිටට ද යත් ම ය. දුප්පමුඤ්චං ලෝකෝත්තර ඥානයෙන් හැර මිදීමට නො හැක්කේ යි.
දස වැනි සූත්‍රය යි.
ප්‍රථම වර්ගය යි.
2. අපුත්තක වර්ගය
1. සත්තජටිල සූත්‍ර වර්ණනාව
දෙවන වර්ගයෙහි පළමු වැන්නේ - පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ පූර්වාරාමය යි හැඳන්වෙන විහාරයෙහි - මිගාර මාතුගේ ප්‍රාසාදයෙහි, එහි අනුපූර්ව කථාව මෙසේ ය:
අතීතයෙහි කල්ප ලක්ෂයකට පෙර එක් උපාසිකාවක් පදුමුත්තර බුදුන් වහන්සේට ආරාධනය කොට බුදුන් ප්‍රමුඛ ලක්ෂයක් මහ සඟනට දන් දී ඒ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිඳ අනාගතයෙහි ඔබ වහන්සේ හා සමාන බුදුන් වහන්සේ නමකගේ අග්‍ර උපස්ථායිකාවක වන්නෙමි” යි ප්‍රාර්ථනාවක් කළා ය. ඇය කල්ප ලක්ෂය්ක දෙව් ලොවෙහිත් මිනිස් ලොවෙහිත් සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි භද්දිය නුවර මෙණ්ඩකපුත්‍ර ධනඤ්ජය සිටාණන්ගේ ගෘහයෙහි සුමනා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තා ය. උපන් කල්හි ඇයට විසාඛා යන නම තැබූහ. ඇය යම් දිනෙක භාග්‍යවතුන් වහන්සේ භද්දිය නගරයට වැඩි සේක් ද, එදින පන්සියයක් දැරියන් සමග බුදුන් වහන්සේට පෙර ගමන් කළා ප්‍රථම දර්ශනයෙහි දී ම සෝවාන් බවට පත් වූවා ය. පසු කලෙක සැවැත් නුවර මිගාර සිටු පුත් පුණ්ණවර්ධන කුමාරයාගේ නිවසට ගියා ය. එහි දී මිගාර සිටුවරයා ඇය මව් තනතුරේ තැබුවේ ය. එහෙයින් ඇය ‘මිගාර මාතා’ යි කියනු ලැබේ. ඈ විසින් කරවන ලද ප්‍රාසාදයෙහි.
බහිද්වාරකොට්ඨකෙ ප්‍රාසාද දොර කොටුවට පිටත; (බිහි දොර); විහාර දොරටු කොටුවේ නො වේ. ඒ ප්‍රාසාදය ලෝහ ප්‍රාසාදය මෙන් හාත්පස දොරටු කොටු සතරකින් සමන්විත ප්‍රාකාරයකින් වට කරනු ලැබූවකි. ඒවායින් නැගෙනහිර දොරටු කොටුවෙන් බැහැර ප්‍රාසාද ඡායාවෙහි පෙරදිගට මුහුණ ලා පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ සිටින සේක.
පරූළ්හකච්ඡනඛලොමා පරූළ්හ (වැඩුණු) කච්ඡා (කිහිලි), පරූළ්හ නඛා (නිය) පරූළ්හ ලොමා (රෝම) ඇති, කිහිලි ආදියෙහි දිග රෝම දිග නිය ද ඇති යනු අර්ථ වේ. ඛාරිවිවිධං විවිධඛාරිං - නානාප්‍රකාර වූ පැවිදි පිරිකර බඩු; අවිදූරෙ අතික්කමන්ති නුදුරු මගින් නගරයට ඇතුළු වෙත්, රාජාහං භන්තෙ “ස්වාමීනි, මම (පසේනදී) කොසොල් රජ වෙමි, මාගේ නම ඔබ වහන්සේලා දැන ගනිත්වා”යි. කුමක් නිසා රජතුමා ලෝකයෙහි අග්‍ර පුද්ගලයන් වහන්සේ සමීපයෙහි සිටිමින් මේ ආකාර වූ නග්න වස්තු නිශ්‍රිත වූවනට ඇඳිලි බඳී ද? සංග්‍රහ කරනු පිණිස ය. ඔහුට මෙසේ සිතිණි. ඉදින් මම ඔවුනට මෙ වැන්නක් වත් නො කරන්නෙම් නම්, “අපි අඹු දරුවන් හැර දමා මොවුන් වෙනුවෙන් කටුක අහර ගැනීම් දුක් සහිත නිදා ගැනීම් ආදිය කරමු. මෙතෙමේ අපට ඇඳිලි බැඳීම් පමණ වත් නො කරති” යි තමන් විසින් දක්නා ලද අසන ලද දේ සඟවා ගනිමින් කථා නො කරනු ඇත, මෙසේ කළ විට නො සඟවා කථා කරනු ඇත. එහෙයින් මෙසේ කළේ ය. තවද බුදුන් වහන්සේගේ අදහස දැනගනු රිසි ව ද එසේ කළේ ය.