ඉක්බිති රජතුමා බුදුන් වහන්සේගේ සමීපයෙහි සිටින්නේ (මෙසේ) කී ය: “ස්වාමීනි, එක් රැයක් යාම තුනක් නම් වේ. මට අද රෑ දෙකක් එකට එකතු කළාක් මෙන් විය. (අරුණුවන් මැටි ගෙනා) පුරුෂයා ද එහි ම සිටිමින් (මෙසේ) කී ය: “ස්වාමීනි, යොදුන නම් ගව් සතරක් වේ. මට අද යොදුන් දෙකක් එකට එකතු කළාක් මෙන් විය’යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “නිදිවරන්නකුට රාත්‍රියේ දිගු බව ප්‍රකට ය. ශාන්ත වූවෙකුට (විඩාවට පත්වූවෙකුට) යොදුන දිග බව ප්‍රකට ය. සසරට වැටුණු බාල පෘථග්ජනයාට අනමතග්ග සංසාර වට්ටය ඒකාන්ත ලෙස ම දීර්ඝ ය යි රජුත් ඒ පුරුෂයාත් නිරි සතුනුත් අරභයා ධම්මපදයේ මේ ගාථාව වදාළ සේක.
“දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලානං සංසාරො සද්ධම්මං අවිජානතං”
(නිදි වරන්නාට රැය දිගු ය. ගමන් ගොස් වෙහෙසුණහුට යොදුන දිග ය. බණ නොදන්නා වූ මෝඩයන්ට සසර දිග ය.)
ගාථාවසානයේ දී ඒ ස්ත්‍රිය හිමි පුරුෂයා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. එතමත්‍ථං විදිත්‍වා මේ කාරණය දැන:
අස්සමෙධං පෙර රජ දවස ශස්‍යමේධය, පුරුෂමේධය, සම්මාපාස, වාචපෙය්‍ය යි සතර සංග්‍රහ වස්තුවක් විය. ඒවායින් රජවරු ලෝකයාට සංග්‍රහ කළහ. එහි නිපදවූ අස්වැන්නෙන් දහයෙන් කොටසක් ගැනීම ශස්‍ය මේධය නමි. ශස්‍ය (අස්වනු) සම්පාදනයෙහි බුද්ධිමත් බව යනු අරුත යි. මහා යෝධයනට මාස හයක් ආහාර වැටුප් දීම පුරුෂ මේධය නමි, පුරුෂයනට සංග්‍රහ කිරීමේ බුද්ධිමත් බව යන අරුත යි. දිළිදු මිනිසුන්ගෙන් ලිපි (ගිවිසුම්) ගෙන තුන් වසරක් පොළී රහිත ව දහස දෙදහස පමණ ධනය දීම සම්මාපාස නමි. එය මැනවින් මිනිසුන් බැඳ තබයි. හදවතෙහි බැඳ තබා ගත්තාක් මෙන් තබයි. එහෙයින් ‘සම්මාපාස’ යි කියනු ලැබේ. තාත (පුත) ‘මාතුල’ (මාමාණනි) ආදී ක්‍රමයට මුදු වචන පැවසීම වාචපෙය්‍ය නමි. ප්‍රිය වචන ඇත්තේ යනු අරුත යි. මේ සතර සංග්‍රහ මගින් සංග්‍රහ කරන ලද රට සමෘද්ධිමත් වෙයි, පොහොසත් වෙයි, බොහෝ ආහාර පාන සහිත, ක්‍ෂේම වූ අර්බුද නොමැති මිනිස්සු සතුටු වූවාහු. ප්‍රීිති වූවාහු දරුවන් උරෙහි නටවමින් දොරවල් නො වැසුවෝ ම කල් යවති. ගේදොරවල අගුලු නොමැති බැවින් මෙය ‘නිරග්ගල’ යි කියනු ලැබේ. මෙය පෞරාණික සම්ප්‍රදාය යි.
පසු කලෙක ඔක්කාක රජ සමයේ බ්‍රාහ්මණයෝ මේ සතර සංග්‍රහ වස්තූත් මේ රාජ්‍ය සම්පත්තියත් පෙරළා දමා මුල් උදුරා දමා අශ්වමේධ, පුරුෂමේධ ආදී යාග පහ නම් කළහ. ඒවා අතර මෙහි අස්සං (අශ්වයා) “මෙධන්ති (නසත්) යි අස්සමෙධො; උසස් යාග දෙකකින් යාග කළ යුතු එක් විසි යාග ස්ථම්භයකට එක ම දවසක මද්දහනේ ගවයින් පස් දෙනෙකු මැරීමෙන් භීෂණය වූ, බිමත් මිනිසුනුත් හැර අවශේෂ සියලු සම්පත් පුදන යාගයට මෙය සමාන වචනයකි. පුරුෂයා මෙහි මරතියි = පුරිසමෙධ ය. භූමිය සහිත ව, උසස් යාග සතරකින් යාග කළයුතු, අශ්වමේධය පිළිබඳ ව කියන ලද ධනය පුදන යාගයට මෙය සමාන වචනයකි. සම්මං = යාග උපකරණ මෙහි බැඳ දමති යි (ගැට ගසති යි) සම්මාපාසො. දහවල් හි (ශම්‍යා) යාග උපකරණය වීසි කොට එය පතිත වූ ස්ථානයෙහි වේදිකාවක් තනා, එහා මෙහා ගෙන යා හැකි යාගස්ථම්භ ආදියෙන් (යුතු ව) සරස්වතී නදියෙහි එබී ලද ඉඩෙහි පටන් ප්‍රතිලෝම ලෙස (ආ පස්සට) යමින් යාග කළ යුතු යාගයට සමාන වචනයකි. වාජ (ශක්තිය) මෙහි පානය කරතියි = වාජපෙය්‍ය. එක් උසස් යාගයකින් (හා) සිවුපාවුන් දාහතකින් බෙලි කණුවක කෙරෙන පූජා දාහතක් යාග කළ යුතු යාගයට සමාන වචනයකි මෙය. මෙහි දොර අගුල් නැතැයි නිරග්ගලො. අශ්වමෙධ යාගයෙහි පවසන ලද භූමියත් මිනිසුනුත් සහිත ව උසස් යාග නවයකින් යාග කළ යුතු වූ ‘මේධ’ විකල්ප වූ සර්වමෙධ පර්යාය නාම වූ යාගයට සමාන වචනයකි. මහාරම්හා මහත් කෘත්‍ය, කළ යුතු මහත් දේ. සම්මග්ගතා මැනවින් පිළිපන් බුද්ධාදීහු: නිරාරම්හා ස්වල්පයෙහි පිහිටි - (හිරිහැර රහිත), අල්ප කෘත්‍ය; යජන්ති අනුකූලං කුලයක් පාසා යාග කරති. ආදි කාලීන පුරුෂයන් විසින් පිහිටුවන ලද නිතිපතා බත් දීම ආදි යමක් වේ ද එය අගමුල නො සිඳමින් මිනිස්සු දෙත් යනු අර්ථ යි.
නව වැනි සූත්‍රය යි.