10. ඉසයොසමුද්දක සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - සමුද්දතීරෙ පණ්ණකුටීසු සක්වළ මහ සමුදුර පිටියෙහි රිදීපටක් වන් වැලිතලාවේ, කියන ලද ආකාර පන්සල්හි වසත්. සියාපි නො විය හැක්කේ ය. අපට; අභයදක්‍ඛිණං යාචෙය්‍යාම අභය දානය ඉල්ලන්නෙමු. බොහෝ වශයෙන් දේවාසුර සංග්‍රාමය මහසමුදුර පිටියෙහි වේ. අසුරයනට සැම කල්හි ජය නො වේ. බොහෝ වාරයන්හි පරාජය ම වේ. ඔවුහු දෙවියන් විසින් පරාජය කරනු ලැබුවාහු පලා යමින් සෘෂිවරුන්ගේ ආශ්‍රමපදය දෙසින් යන්නාහු ශක්‍රයා මොවුන් සමග සාකච්ඡා කොට අප නසයි, දරුවන් නැසූ තැනැත්තියගේ පුතුන් ගනිව් යයි කුපිත වූවාහු ආශ්‍රමපදයෙහි පැන් කළ, සක්මන් ශාලා ආදිය විනාශ කරති. සෘෂිවරු ආරණ්‍යයෙන් පලාපල ගෙන පැමිණියාහු, ඒ දැක යළිත් දුකෙන් පිළිසකර කරත්. ඔවුහු යළි යළිත් එසේ ම විනාශ කරත්. එහෙයින් දැන් එවුන් සංග්‍රාමයට සූදානම් වෙති යි අසා ද මෙසේ සිතූහ.
කාමඞ්කරො කැමැත්තක් කරන්නේ. භයස්ස අභයස්ස වා භය හෝ අභය හෝ; කියන ලද්දේ මෙයයි: ඉදින් ඔබ අභය දීමට කැමැත්තෙහි නම් අභය දීමට සමත් වෙහි. ඉදින් භය ඇති කිරීමට කැමැත්තෙහි නම් භය ඇති කිරීමට සමත් වන්නෙහි. අපට අභය දානය දෙනු මැනවි. දුට්ඨානං විරුද්ධවූවන්ගේ පවුත්තං කුඹුරෙහි තබන ලද (වපුරන ලද)
තික්‍ඛත්තුං උබ්බිජ්ජති සවස් කාලයෙහි බත් කා යහනට නැග වැද හොත්තේ නින්දට වැටුණු සැණින් හාත්පස සිට ආයුධ සියයකින් පහර දෙන ලද්දාක් මෙන් කෑගසමින් නැගිටියි. යොදුන් දස දහසක් වූ අසුරභවනය මේ කිම් දැයි කැලඹිල්ලට පත් වෙයි. ඉක්බිති ඔහු වෙත පැමිණ මේ කිම් දැයි විමසත්. හේ ‘කිසිවක් නැහැ’ යි කියයි. දෙවැනි යාම ආදියෙහි ද මේ පරිදි ය. මෙසේ ‘මහරජ, බිය නො වනු මැනවි’ යි ඔහු අස්වසන්නාහු අසුරයනට අරුණ උදා වේ. මෙසේ ඔහුට එවක් පටන් ගිලන් බව හට ගැනිණි. චිත්තං (සිත) වෙපති, එහෙයින් ම ඔහුට වෙපචිත්ති යි වෙනත් නමක් ඇති විණි.
දස වැනි සූත්‍රය යි.
ප්‍රථම වර්ගය යි.
2. සත්තවත වර්ගය
1. දෙවා සත්තවතපද සූත්‍ර වර්ණනාව
දෙවන වර්ගයේ පළමු වැන්නේ - වතපදානි ව්‍රත කොටස්, සමත්තානි සම්පූර්ණ කරන ලද, සමාදින්නානි ගන්නා ලද, කුලෙජෙට්ඨාපචායී පවුලේ ජ්‍යෙෂ්ඨයන් - සීයා, ආච්චි, සුළු පියා, සුළු මව, මාමා, නැන්දා යනාදී ගරු කටයුතු වූවෝ, සණ්හවාචො ප්‍රිය මෘදු මධුර වචන ඇත්තේ, මුත්තචාගො ලිහන ලද ත්‍යාග ඇත්තේ, පයතපාණී දෙය්‍ය ධර්ම දීම පිණිස සෑම කල්හි සේදූ අත් ඇත්තේ, වොස්සග්ගරතො ත්‍යාග දීමෙහි ඇළුනේ, යාචයොගො අනුන් විසින් ඉල්ලනු ලැබීමට සුදුසු වූ, නැතහොත් යාචයෝගයෙන් ම යුක්ත වූ, දානසංවිභාගරතො දානයෙහිත් බෙදා දීමෙහිත් ඇළුනේ.
පළමු වැනි සූත්‍රය යි.
2. දෙවන දේවා සත්තවතපද සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - මනුස්සභූතො මගධ රටේ මචල ගමේ මිනිසෙකු වී ආවසථං අදාසි සිව් මං සල්හි මහජනයාට ආවාසයක් කරවා දුන්නේ ය. සහස්සම්පි අත්‍ථානං කරුණු දහසක් වුව ද, දහසක් මිනිසුන් විසින් හෝ දහසක් වචනවලින් හෝ විස්තර කළ කල්හි “මෙහි අර්ථය මෙය යි, මෙහි අර්ථය මෙය යි’ යනුවෙන් එක් වන ම විනිශ්චය කරයි.
දෙවැනි සූත්‍රය යි.
3. මහාලි සත්තවතපද සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - උපසංකමි “සක්කො” (ශක්‍රයා) දේවරාජා” යි කියත්. යම් කෙනකු විසින් හේ මීට පෙර දක්නා ලද්දේ ද, එබඳු ශක්‍ර නමැත්තෙක් සිටී ද? (ශක්‍රයා යි කියනු ලබන්නා මීට පෙර කිසිවකු දැක තිබේ ද?) යන මේ කාරණය බුදුන් වහන්සේගෙන් විමසන්නෙමි යි පැමිණියේ ය. තඤ්ච පජානාමි බහු වචනය වෙනුවට ඒක වචනය යි. ඒ ධර්ම ද දනිමි යන අරුත යි. ශක්‍රයා පෙර ආත්ම භාවයක මගධ රට මචල ගමේ ‘මඝ’ නම් මාණවක වී ය. පණ්ඩිත වූ ව්‍යක්ත වූ ඔහුගේ හැසිරීම බෝධිසත්ත්ව චර්යාව හා සමාන විය. හේ මිනිසුන් තිස් තුන් දෙනකු ගෙන යහපත් වැඩ කළේ ය. එක් දිනක් තමා ම නුවණින් පරීක්‍ෂා කොට ගම මැද මහජනයා රැස්වන තැන කසළ ගොඩක් දෙපසින් ම බැහැර කොට එය රමණීය ස්ථානයක් කළේ ය. යළි එහි ම මණ්ඩපයක් කළේ ය. පසු ව කල්යත් ම ශාලාවක් ඉදි කරවී ය. ගමින් ද නික්ම ගොස් ගව්වක් ද, අඩ යොදුනක් ද, ගව් තුනක් ද, යොදුනක් ද සැරිසරා එම සහායකයන් සමග විසම තැන් සම කළෝ ය. ඒ සියලු ම දෙනා ඒකච්ඡන්දයෙන් ම ඒ ඒ තැන පාලම් (දැමිය) යුතු තැන පාලම්, මණ්ඩප, ශාලා, පොකුණු, මල් ගස් වැල් ආදිය (කළ) යුතු තන්හි මණ්ඩප ආදිය කරන්නාහු බොහෝ පුණ්‍ය ක්‍රියා කළෝ ය. මඝ (මාණවක තෙමේ) සප්ත ව්‍රත පද පුරා මරණින් මතු සහායකයින් සමග තාවතිංස භවනයෙහි උපන්නේ ය. ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ දනිති. එහෙයින් කීහ. යෙසඤ්ච ධම්මානං සමාදින්නත්තා සක්කො සක්කත්තං අජ්ඣගා තඤ්ච පජානාමි (යම් දහමක් සමාදන් වූ බැවින් ශක්‍රයා ශක්‍ර බවට පැමිණියේ ද එය ද දනිමි.) මෙය ශක්‍රයාගේ ශක්‍රභාවය ලබා ගැනීම පිළිබඳ සාරාංශ කථාව යි. විස්තර සුමඞ්ගල විලාසිනී දීඝනිකායට්ඨ කථා වෙහි සක්කපඤ්හ සූත්‍ර වර්ණනාවෙහි කියන ලදි.
තුන් වැනි සූත්‍රය යි.