11. සක්ක සංයුත්තය
1. සුවීර වර්ගය
1. සුවීර සූත්‍ර වර්ණනාව
සක්කසංයුත්තයෙහි පළමු වැන්නේ - අභියංසු (ඉදිරියට පැමිණියාහු ය) කවදා පැමිණියාහු ද? යම් දවසක බලවත් වූවෝ එදා ය. එහි අනුපූර්ව කථාව මෙය යි:
ශක්‍රයා මගධ රට මචල ගමේ මඝ නම් මානවකයා වී පුරුෂයන් තිස් තුන් දෙනෙකු ගෙන යහපත් වැඩ කරන්නේ සප්ත ව්‍රත පද පුරා එහි කාලක්‍රියා කළේ දෙව්ලොව උපන්නේ ය. ඒ බලවත් කර්මානුභාවයෙන් සෙසු දේවතාවෝ දස කරුණකින් විශිෂ්ටත්වයට පත් වූ පිරිස සහිත ඔහු දැක ආගන්තුක දේවපුත්‍රයෝ පැමිණියෝ යි නේවාසිකයෝ ගණ්ඩපාණය සූදානම් කළහ. ශක්‍රයා සිය පිරිසට සංඥාවක් දුන්නේ ය. “පින්වත්නි, ගණ්ඩපාණය නො බොන්න. බොන ආකාරය පමණක් දක්වන්න. ඔවුහු එසේ කළාහු ය. දේවතාවෝ රන් ඔඩම්වලින් ගෙන්වන ලද ගණ්ඩපාණය ඇති තාක් පානය කොට, මත් වූවෝ, ඒ ඒ තැන රන් පොළවෙහි වැටී නිදන්ට වූහ. ශක්‍රයා ‘පුතා විසින් නසන ලද තැනැත්තියගේ දරුවන් ගනිවු” යි ඔවුන් පාවලින් ගෙන මහාමේරු පාමුලට විසි කරවී ය. ශක්‍රයාගේ පුණ්‍ය තේජසින් ඔවුන්ගෙන් පැවතෙන සියලු දෙනා ද එහි ම වැටුනාහ. ඔවුහු මහමෙර මැද කල්හි සිහිය ලැබ, පියවරුනි, (අපි) සුරා පානය නො කළෙමු යි කීහ. එතැන් පටන් ‘අසුර’ යි නම් ලැබූහ. ඉක්බිති ඔවුනට මහමෙරෙහි පහළ ම තලයෙහි කර්ම ප්‍රත්‍යය සෘතු සමුට්ඨාන සහිත දස දහසක් යොදුනැති අසුර භවන පහළ විණි. ශක්‍රයා ඔවුන් ආපසු හරවා යවා (යළි) නො ඒම පිණිස ආරක්ෂාව තැබී ය. ඒ අරභයා කියන ලදි:
“අන්තරා ද්වින්නං අයුජඣපුරානං
පඤ්චවිධා ඨපිතා අභිරක්‍ඛා
උරගකරොටි පයස්ස ච භාරී
මදනයුතා චතුරෝ ච මහන්තා”
පඤ්චවිධා ඨපිතා අභිරක්‍ඛා
උරගකරොටි පයස්ස ච භාරී
මදනයුතා චතුරෝ ච මහන්තා”
(අයෝධ්‍ය පුර දෙක අතර පඤ්චවිධ වූ ආරක්ෂාවක් තබන ලදි. උරග - කරෝටි - පයස්සභාරී - මදනයුතා - ශ්‍රේෂ්ඨ (රජවරු) සතර දෙනා යනුවෙනි)
නගර දෙක යුද්ධයෙන් (ජය) ගැනීමට නො හැකි වීම නිසා ‘අයුජ්ඣපුර’ (අයොධ්‍ය නගර) නම් වී ය: දේව නගරය හා අසුර නගරය (වශයෙනි), යම් කලෙක අසුරයෝ බලවත් වෙත් ද එවිට දෙවියන් පලා ගොස්, දේව නගරයට පිවිස දොර වසා ගත් කල්හි අසුරයන් ලක්ෂයකට වුව කිසිවක් කිරීමට නො හැකි වේ. යම් කලෙක දෙවියෝ බලවත් වෙත් ද, එවිට අසුරයන් පලා ගොස් අසුර නගරයෙහි දොර වසා ගත් කල්හි ශක්‍රයින් ලක්ෂයකට වුව කිසිවක් කිරීමට නො හැකි වේ. මෙසේ මේ නගර දෙක අයුජ්ඣ පුර නමි. ඒ දෙක අතර ඒ උරග ආදී පස් පොළක ශක්‍රයා විසින් ආරක්ෂාව තබන ලදි. එහි ‘උරග’ ශබ්දයෙන් නාගයෝ ගන්නා ලදහ. ඔවුහු ජලයෙහි බලවත් වෙති. එහෙයින් මහා මේරුයෙහි ප්‍රථම ආලින්දයෙහි ඔවුන්ගේ ආරක්ෂාව ය. ‘කරොටි’ ශබ්දයෙන් ගුරුළෝ ගන්නා ලදහ. ඔවුන්ගේ ‘කරොටි’ නම් සත්ත්ව භෝජනයකි. එයින් ඒ නම ලැබූහ. දෙවැනි ආලින්දයෙහි ඔවුන්ගේ ආරක්ෂාව ය. ‘පයස්සභාරි’ ශබ්දයෙන් කුම්භාණ්ඩයෝ ගන්නා ලදහ. ඔවුහු අසුර රාක්ෂසයෝ ය. තෙවැනි ආලින්දයෙහි ඔවුන්ගේ ආරක්ෂාව ය. “මදනයුත” ශබ්දයෙන් යක්ෂයෝ ගන්නා ලදහ. ඔවුහු විෂම ලෙස හැසිරෙන යුද්ධකාමීහු ය. සතර වැනි ආලින්දයෙහි ඔවුන්ගේ ආරක්ෂාව ය. “චතුරො මහන්තා” යන්නෙන් මහ රජවරු සතර දෙනා කියන ලදි. පස් වැනි ආලින්දයෙහි ඔවුන්ගේ ආරක්ෂාව ය. එහෙයින් ඉදින් අසුරයෝ කෝප වී කැළඹුණු සිත් ඇති ව දේව පුරයට ළං වෙත් ද යුධයෙහිදු කන්දෙහි යම් පළමු වටකිරීමක් වේ ද එය උරගයෝ වළක්වත්. ඉතිරි ඒවා පිළිබඳව ද මෙසේ ය.
ඒ අසුරයෝ ආයු - වර්ණ - යස - ඓශ්වර්ය සම්පත්වලින් තාවතිංසය හා සම වේ ම ය. එහෙයින් තමන්ගේ ඇතුළත නො දැන, පාටලි (පළොල්) මල් පිපුණු ගෙයින් මෙය දේව නගරයක් නො වේ, එහි පරසතු මල්පිපේ, මෙහි වූ කලී චිත්‍ර පාටලීය. මහලු ශක්‍රයා විසින් සුරා පොවා අපි රවටන ලද්දමෝ වෙමු. අපගේ දේව නගරය ද ගන්නා ලදි. යමු, ඔහු සමග යුද කරන්නෙමු යි ඇත් අස් රථවලට නැග රන්රිදී මිණි පළඟ ගෙන යුද්ධයට සැරසුනාහු අසුර බෙර වාදනය කරන්නාහු මහා සමුද්‍රයෙහි ජලය දෙකට බෙදා නැගී සිටිති. ඔවුහු වැසි වට කල්හි මෙරු තුඹසට නගින්නාක් මෙන් මහාමේරුවට නැගීමට පටන් ගනිති. ඉක්බිති ඔවුනට පළමු ව නාගයින් සමග යුද්ධය වේ. ඒ යුද්ධයෙහි කිසිවකුගේ සිවිය හෝ සම හෝ නො සිඳේ. ලේ ද නො උපදී. හුදෙක් දරුවන්ගේ ලී බැටළු යුද්ධයක් මෙන් උනුනුන්ට සන්ත්‍රාසය ගෙනෙන්නක් පමණක් වේ. කෝටි සියයක් කෝටි දහසක් හෝ නාගයෝ ඔවුන් හා යුද කොට ඔවුන් අසුර පුරයට ම ඇතුළු කරවා (යවා) නවතිත්.
ඉදින් අසුරයෝ බලවත් වෙත් නම් නාගයෝ පසු බැස දෙවැනි ආලින්දයෙහි ගුරුළන් සමග එක් ව යුද කරති. ගුරුළු ආදීන් අතර ද මේ ක්‍රමය ම ය. යම් දවසක අසුරයෝ ඒ පස් තැන ම මර්දනය කරත් නම් එවිට සම්පිණ්ඩිත වූ (කැටි වූ) ඒ පඤ්ච බලය පසු බසී. ඉක්බිති මහරජවරු සතර දෙනා ගොස් ශක්‍රයාට එ පවත් දන්වති. ශක්‍රයා ඔවුන්ගේ වචන අසා යොදුන් එකසිය පනහක් වූ වෛජයන්ත රථයට නැග තමා ම හෝ යයි. එක් පුතෙකු හෝ යවයි. මේ අවස්ථාවේ පුත්‍රයා යවනු කැමැත්තේ ‘තාත, සුවීර’ ආදි ය පැවසී ය.
එවං භද්දන්තවාති ඛො = ‘එවං හොතු භද්දං තව ඉති ඛො’ “එසේ වේවා! ඔබට යහපත් වේවා” පමාදං ආපාදෙසි ප්‍රමාද කළේ ය. අප්සරා ගණයා විසින් පිරිවරන ලද්දේ පළලින් සැට යොදුන් වූ රුවන් මහ වීදියට බැස නැකැත් කෙළි කෙළිමින් නඳුන් වන ආදියෙහි සැරිසරයි යනු අර්ථයි.
අනුට්ඨහං උත්සාහ නො කරමින්, අවායාමං වෑයම් නො කරමින් අලසස්ස ‘අලසො අස්ස’ - අලස වන්නේ ය. න ච කිච්චානි කාරයෙ කිසිදු වැඩක් නම් නො කරන්නේ ය. සබ්බකාමසමිද්ධස්ස සියලු කාමයන්ගෙන් සමෘද්ධ වන්නේ නම්, තං මෙ සක්ක වරං දිස ශක්‍රය, දේවශ්‍රේෂ්ඨය, මට ඒ ‘වරං’ - උතුම් ස්ථානය - අවකාශය - දක්වනු මැනවි, පවසනු මැනවි, කියනු මැනවි’ යි කියයි. නිබ්බාණස්ස හි සො මග්ගො කර්ම නො කොට ජීවිත පැවැත්ම නිර්වාණයට මග ය.
පළමු වැනි සූත්‍රය යි.