2. සත්තවත වර්ගය
1. දෙවා සත්තවතපද සූත්‍ර වර්ණනාව
දෙවන වර්ගයේ පළමු වැන්නේ - වතපදානි ව්‍රත කොටස්, සමත්තානි සම්පූර්ණ කරන ලද, සමාදින්නානි ගන්නා ලද, කුලෙජෙට්ඨාපචායී පවුලේ ජ්‍යෙෂ්ඨයන් - සීයා, ආච්චි, සුළු පියා, සුළු මව, මාමා, නැන්දා යනාදී ගරු කටයුතු වූවෝ, සණ්හවාචො ප්‍රිය මෘදු මධුර වචන ඇත්තේ, මුත්තචාගො ලිහන ලද ත්‍යාග ඇත්තේ, පයතපාණී දෙය්‍ය ධර්ම දීම පිණිස සෑම කල්හි සේදූ අත් ඇත්තේ, වොස්සග්ගරතො ත්‍යාග දීමෙහි ඇළුනේ, යාචයොගො අනුන් විසින් ඉල්ලනු ලැබීමට සුදුසු වූ, නැතහොත් යාචයෝගයෙන් ම යුක්ත වූ, දානසංවිභාගරතො දානයෙහිත් බෙදා දීමෙහිත් ඇළුනේ.
පළමු වැනි සූත්‍රය යි.
2. දෙවන දේවා සත්තවතපද සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - මනුස්සභූතො මගධ රටේ මචල ගමේ මිනිසෙකු වී ආවසථං අදාසි සිව් මං සල්හි මහජනයාට ආවාසයක් කරවා දුන්නේ ය. සහස්සම්පි අත්‍ථානං කරුණු දහසක් වුව ද, දහසක් මිනිසුන් විසින් හෝ දහසක් වචනවලින් හෝ විස්තර කළ කල්හි “මෙහි අර්ථය මෙය යි, මෙහි අර්ථය මෙය යි’ යනුවෙන් එක් වන ම විනිශ්චය කරයි.
දෙවැනි සූත්‍රය යි.
3. මහාලි සත්තවතපද සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - උපසංකමි “සක්කො” (ශක්‍රයා) දේවරාජා” යි කියත්. යම් කෙනකු විසින් හේ මීට පෙර දක්නා ලද්දේ ද, එබඳු ශක්‍ර නමැත්තෙක් සිටී ද? (ශක්‍රයා යි කියනු ලබන්නා මීට පෙර කිසිවකු දැක තිබේ ද?) යන මේ කාරණය බුදුන් වහන්සේගෙන් විමසන්නෙමි යි පැමිණියේ ය. තඤ්ච පජානාමි බහු වචනය වෙනුවට ඒක වචනය යි. ඒ ධර්ම ද දනිමි යන අරුත යි. ශක්‍රයා පෙර ආත්ම භාවයක මගධ රට මචල ගමේ ‘මඝ’ නම් මාණවක වී ය. පණ්ඩිත වූ ව්‍යක්ත වූ ඔහුගේ හැසිරීම බෝධිසත්ත්ව චර්යාව හා සමාන විය. හේ මිනිසුන් තිස් තුන් දෙනකු ගෙන යහපත් වැඩ කළේ ය. එක් දිනක් තමා ම නුවණින් පරීක්‍ෂා කොට ගම මැද මහජනයා රැස්වන තැන කසළ ගොඩක් දෙපසින් ම බැහැර කොට එය රමණීය ස්ථානයක් කළේ ය. යළි එහි ම මණ්ඩපයක් කළේ ය. පසු ව කල්යත් ම ශාලාවක් ඉදි කරවී ය. ගමින් ද නික්ම ගොස් ගව්වක් ද, අඩ යොදුනක් ද, ගව් තුනක් ද, යොදුනක් ද සැරිසරා එම සහායකයන් සමග විසම තැන් සම කළෝ ය. ඒ සියලු ම දෙනා ඒකච්ඡන්දයෙන් ම ඒ ඒ තැන පාලම් (දැමිය) යුතු තැන පාලම්, මණ්ඩප, ශාලා, පොකුණු, මල් ගස් වැල් ආදිය (කළ) යුතු තන්හි මණ්ඩප ආදිය කරන්නාහු බොහෝ පුණ්‍ය ක්‍රියා කළෝ ය. මඝ (මාණවක තෙමේ) සප්ත ව්‍රත පද පුරා මරණින් මතු සහායකයින් සමග තාවතිංස භවනයෙහි උපන්නේ ය. ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ දනිති. එහෙයින් කීහ. යෙසඤ්ච ධම්මානං සමාදින්නත්තා සක්කො සක්කත්තං අජ්ඣගා තඤ්ච පජානාමි (යම් දහමක් සමාදන් වූ බැවින් ශක්‍රයා ශක්‍ර බවට පැමිණියේ ද එය ද දනිමි.) මෙය ශක්‍රයාගේ ශක්‍රභාවය ලබා ගැනීම පිළිබඳ සාරාංශ කථාව යි. විස්තර සුමඞ්ගල විලාසිනී දීඝනිකායට්ඨ කථා වෙහි සක්කපඤ්හ සූත්‍ර වර්ණනාවෙහි කියන ලදි.
තුන් වැනි සූත්‍රය යි.
4. දළිද්ද සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - මනුස්සදළිද්දො මනුෂ්‍ය දුප්පතෙක්, මනුස්ස කපණො මිනිස් කරුණාවට පාත්‍ර වූවෙක්, මනුස්සවරාකො මිනිස් නිවටයෙක්, තත්‍ර එම ස්ථානයෙහි, ඒ ‘අතිරෝචනයෙහි’ (ඉක්මවා බැබලීමෙහි) හෝ, උජ්ඣායන්ති අවඥා කරත්, පහත් කොට සිතත්, ඛීයන්ති කථා කරත්. ප්‍රකාශ කරත්, විපාචෙන්ති ඒ ඒ තැන කථා කරත්, විස්තර කරත්, එසො ඛො මාරිස (පින්වත්නි, මෙ තෙමේ), එහි අනුපූර්ව කථාව මෙය යි -
හේ බුද්ධෝත්පාද නො වූ කාලයක කසී රට බරණැස් රජු වී ඔසවන ලද ධජ පතාක ආදි නානා අලංකාරවලින් මැනවින් අලංකාර කරන ලද නගරය පැදකුණු කළේ ය. තමාගේ සිරි සම්පතින් ආකර්ෂණය කරන ලද නෙතින් යුතු ජනකාය විසින් බලනු ලබමිනි. එ සමයෙහි ශාන්ත වූ ඉන්ද්‍රියයන් ඇති, ශාන්ත වූ මනස ඇති, උත්තම දමථයෙන් සමන්නාගත වූ එක් පසේබුදු වරයෙක් ගන්ධමාදන පර්වතයේ සිට පැමිණ එම නගරයෙහි පිඬු පිණිස හැසිරෙති. මහ ජනයා ද රජකුට දක්වන ගරු බුහුමන් හැර දමා පසේ බුදුන් දෙස ම බලා සිටියහ. රජතුමා දැන් මේ ජනකාය අතර එකෙකු හෝ මා දෙස නො බලයි. මේ කිමෙක් දැයි බලන්නේ පසේ බුදුවරයා දුටුවේ ය. උන්වහන්සේ ද පසේ බුදුවරයෙකි. මහලු කෙනෙක් වෙති, පශ්චිම වයසේ සිටින සේක. උන්වහන්සේගේ සිවුරු ද පරණ ය. තැනිත් තැනින් නූල් ගැලවෙයි. ශත සහස්‍රයකට අධික අසංඛ්‍ය දෙකක් පාරමී පිරූ පසේබුදුවරයන් වහන්සේ දැක රජුගේ සිතේ පැහැදීම් මාත්‍රයක් හෝ අත දිගු කර වැඳීම් මාත්‍රයක් හෝ නො වී ය. ඒ රජු පැවිද්දෙකි යි සිතමි. මොහු ඊර්ෂ්‍යාවෙන් මා දෙස නො බලති යි කිපී සිවුර පොරවා ගත් මේ කුෂ්ටයා කවුදැයි කෙළ ගසා පිට ව ගියේ ය. ඒ කර්මයේ විපාක වශයෙන් මහ නිරයේ ඉපදී විපාක ඉතිරියෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණෙමින් රජගහ නුවර ඉතා ම දිළිඳු ස්ත්‍රියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. (පිළිසිඳ) ගත් කල පටන් ඒ ස්ත්‍රිය කැඳක් පමණ වත් කුස පිරෙන ආහාරයක් නො ලැබුවා ය. කුසට පිවිසි ඔහුගේ කන් නාසා ගිලී ගියේ ය. හක් ගෙඩි මෙන් පැසුණු කුෂ්ඨ සහිත වී මව් කුසින් නික්මෙන්නේ; මවුපියෝ නම් ඉමහත් හිරිහැරයට පත් වන්නෝ වෙත්. එහෙයින් ඔහුගේ මව කබලක් ගෙන ඇවිදීමට නො හැකි තාක් කල් ඔහුට කැඳත් වතුරත් ගෙනැවිත් දුන්නා ය. කෑම සොයා යාමට හැකි කාලයෙහි ඔහුට කබලක් අතට දී තමාගේ ක්‍රියාවෙන් දැනගන්නෙහි’යි කියා ගියා ය.
ඉක්බිති එතැන් පටන් ඔහුගේ මුළු ශරීරයෙන් ම මස් සිඳී සිඳී වැටේ. ඉස්ම බේරෙයි, මහා වේදනා පවතී, යම් යම් වීදියක් ඇසුරු කොට නිදයි ද, මුළු රෑ මහ හඬින් හඬයි. ඔහුගේ කරුණා විලාප ශබ්දයෙන් මුළු වීදියේ මිනිස්සු රාත්‍රිය පුරා නින්දක් නො ලබති. ඔහුට එතැන් පටන් සැපට නිදා අවදිවෙතියි “සුප්පබුද්ධ” යනුවෙන් නමක් ඇති විය. ඉන් පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වැඩම කළ කල්හි නගර වැසියෝ උන්වහන්සේට ආරාධනය කොට නගරය මැද මණ්ඩපයක් තනා දන් දුන්හ. සුප්‍රබුද්ධ කුෂ්ඨයා ද ගොස් දන් දෙන මණ්ඩපය සමීපයේ හිඳගෙන සිටියේ ය.
නගර වැසියෝ බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සංග්‍රහ කරන්නාහු ඔහුට ද කැඳ බත් දුන්හ. ප්‍රණීත භෝජන අනුභවකළ කල්හි ම ඔහුගේ සිත එකඟ විය. බුදුන් වහන්සේ බත්කිස අවසානයේ අනුමෝදන් කොට චතුස්සත්‍යය විදහා දැක්වූහ. සුප්පබුද්ධ සිටි තැන්හි ම සිටියේ දේශනානුසාරයෙන් ඤාණය මෙහෙයවා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. බුදුන් වහන්සේ නැගිට විහාරයට වැඩියහ. ඔහු ද දරණුව නංවා කබල ගෙන හැරමිටියේ එල්බ ගෙන තමන් වසන තැනට යන්නේ දඩාවතේ යන එළදෙනක විසින් දිවි තොර කරන ලද්දේ මැටි පාත්‍රය බිඳ රන් පාත්‍රයක් ලබන්නාක් මෙන් දෙවැනි චිත්තවාරයෙහි දෙව් ලොවෙහි උපන්නේ තමන්ගේ පින නිසා අන් දෙවියන් ඉක්මවා බැබළුණේ ය. ඒ කාරණය දක්වමින් සක් දෙවිඳු “එසො ඛො මාරිස” ආදිය පැවසී ය.