8. සුදත්ත සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - කෙනචිදෙව කරණීයෙන වෙළෙඳ කටයුතු අදහස් කරන ලදි. අනේ පිඬු සිටුවරයාත් රජගහනුවර සිටුවරයාත් අන්‍යොන්‍ය වශයෙන් සොහොයුරියන්ගේ සැමියෝ වෙත්. යම් විටෙක රජගහ නුවර ආදායම් උපදවන බඩුවල මිල වැඩි වේ ද එවිට රජගහ නුවර සිටුවරයා එය ගෙන පන්සියයක් ගැල් සහිත ව සැවැත් නුවරට ගොස් යොදුනක් පමණ (ඈත) සිට තමා පැමිණි බව දන්වයි. අනේපිඬු සිටුතුමා පෙර ගමන් කොට ඔහුට මහත් සත්කාර කොට එක ම යානයකට නංවා සැවතට පිවිසෙයි. හේ, ඉදින් භාණ්ඩ වහා විකිණේ නම් විකුණයි; (එසේ) නො වේ නම් නැගණියගේ නිවසේ තබා නික්ම යයි. අනාථ පිණ්ඩික ද එසේ ම කරයි. හෙතෙමේ එකල්හි ද ඒ කාරණයෙන් ම ගියේ ය. ඒ අරභයා මෙය කියන ලදි.
එ දවස රජගහ නුවර සිටුවරයා යොදුනක් පමණ (ඈතින්) සිටි අනාථ පිණ්ඩික විසින් ආ බැව් හැඟවීම් යවන ලද හසුන් නො ඇසී ය. ධර්ම ශ්‍රවණය පිණිස විහාරයට ගියේ ය. හේ ධර්මකථාව අසා පසු දින බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට ආරාධනය කොට තමාගේ නිවසේ උදුන් කැනවීම් දර පැලීම් ආදිය කරවී ය. අනාථපිණ්ඩික ද මගේ පෙර ගමන දැන් කරයි දැන් කරයි කියා ගෙදොර දී පවා පෙරගමන් නො ලැබ ගෙතුළට ගොස් වැඩි පිළිසඳරක් පවා නො ලද්දේ ය. මහ සිටුවරය, කිම? දරුවන්ගේ සැප සනීප කොහොම ද? මග වෙහෙසකාරී නො වුණෙහි ද? පිළිසඳර එපමණක් විය.
හේ ඔහුගේ අධික වැඩකටයුතු දැක ‘කිම ගෘහපතියනි, ඔබට ආවාහයක් හෝ වන්නේ ද?” යි ඛන්‍ධකයෙහි ආ පිළිවෙලට කථා පවත්වා ඔහුගේ මුවෙන් බුද්ධ ශබ්දය අසා පස්වනක් ප්‍රීතිය ලැබී ය. එය (එම ප්‍රීතිය) ඔහුගේ හිසෙන් ඇරඹී පා තලය දක්වාත්, පා තලයේ සිට හිස දක්වාත් යයි. දෙපැත්තෙන් ම පැන නැගී මැද කිඳා බසියි. මැදින් ඇරඹී දෙපැත්තට යයි. හේ ප්‍රීතියෙන් නිරන්තරයෙන් ම ස්පර්ශ කරනු ලැබුයේ “ගෘහපතිය, ඔබ ‘බුද්ධ’ යි කියහි?” “ගෘහපතිය, මම ‘බුද්ධ’ යි කියමි” මෙසේ තෙවරක් ප්‍රශ්න කොට යම් මේ ‘බුද්ධ’ යන්නක් (වේද) ලෝකයෙහි මේ ඝෝෂාව ද දුර්ලභය යි කී ය. ඒ අරභයා කියන ලදි. “අස්සොසි ඛො අනාථපිණ්ඩිකො ගහපති බුද්ධො කිර ලොකෙ උප්පන්නො” යි.
එතදහොසි, අකාලෙ ඛො අජ්ජ හේ සිටුවරයා විමසී ය: ‘ගෘහපතිය, බුදුන් වහන්සේ කොහි වසත් ද? එවිට ඔහු, බුදුන් වහන්සේලා ළං වීමට නො හැක්කෝ ය; සර්පයන් හා සමාන වූවෝ වෙති. බුදුන්වහන්සේ ශීත වනයෙහි වසති. ඔබ වැන්නවුන් විසින් මේ වේලාවට යාමට නො හැකි ය යි ප්‍රකාශ කළේ ය. එවිට ඔහුට මෙසේ සිතුණි. බුද්ධගතාය සතියා නිපජ්ජති ඒ දවසේ ඔහුට භාණ්ඩ (ගෙන ආ) කරත්ත ගැන හෝ උපස්ථායකයන් ගැන හෝ සිතක් පවා ඇති නො වී ය. රාත්‍රී ආහාර ගැනීමක් ද නො වී ය. මහල් සතකින් යුතු ප්‍රාසාදයට නැග මැනවින් පනවන ලද උතුම් අසුනෙහි ‘බුද්ධො’ යි සජ්ඣායනය කරමින් ම හෙව නින්දට වැටුනේය. එහෙයින් “බුද්ධගතාය සතියා නිපජ්ජි” (බුදුන් කෙරෙහි ගිය සිහියෙන් හෝනේ ය) යි කියන ලදි.
රත්තියා සුදං තික්‍ඛත්තුං උට්ඨාසි පභාතන්ති මඤ්ඤමානො ප්‍රථම යාමට යන්තම් අවසන් වුණු විට නැගිට බුදුන් වහන්සේ සිහි කළේ ය. එවිට ඔහුට බලවත් ප්‍රසාදයක් ඇති විය. ප්‍රීතියෙන් හටගත් ආලෝකයක් ඇති විය. සියලු අඳුරු දුරු විය. පහන් දහසක් දැල්වෙන්නාක් මෙන් ද සඳ නැගීම හිරු නැගීම මෙන් ද විය. ප්‍රීතියෙන් හටගත් ආලෝකයක් ඇති විය. හේ මම පමා වුනෙමි, රැවටුනෙමි, හිරු නැගුණි යි නැගිට අහස් තලයෙහි සිටියේ සඳ දෙස බලා එක යාමයක් පමණක් ඉක්ම ගොසිනි, තවත් දෙකක් ඇතැයි යළි පිවිස නිදා ගත්තේ ය. මේ අයුරින් මධ්‍යම යාම අවසානයෙහි ද පශ්චිම යාමය අවසානයෙහි දැයි තෙවරක් නැගිට්ටේ ය. පැසුළු යම අවසානයේ ඉතා උදයෙන් ම නැගිට අහස්තලයට ගොස්, මහ දොරටුවට මුහුණ ලා සිටියේ ය. සත් මහලේ දොර ඉබේ ම විවෘත වුණි. හේ ප්‍රාසාදයෙන් බැස වීදිය තුළට බැස්සේ ය.
විවරිංසු මේ මහා සිටුවරයා බුද්ධ උපස්ථායනයට යන්නෙමැයි නික්මියේ, ප්‍රථම දර්ශනයෙන් ම සෝවාන් ඵලයෙහි පිහිටා රත්නත්‍රයේ අග්‍ර උපස්ථායකයා වී අසමාන වූ සංඝාරාමයක් කරවා සිවු දෙස ආර්ය ගණයාට නො වැසූ දොර ඇත්තේ වන්නේ ය. ඔහුට දොර වැසීම නො වටනේ යයි සිතා විවෘත කළහ. අන්තරධායි රජගහ නුවර ජනාකීර්ණ ය, ඇතුලු නුවර නව කෝටියකි, බැහැරි නුවර නව (කෝටි)යකි යි එය ඇසුරු කොට දහ අට කෝටියක් මිනිස්සු වසත්. අවේලාවෙහි මළ මිනිසුන් බැහැර ගෙන යාමට නො හැකි වන්නාහු අටල්ලක තබා බිහිදොර දමත්, ‘මහ සිටුවරයා නුවරින් පිටත නික්මුණු සැණින් ම තෙත සිරුර පයින් පෑගිණ; තවෙකකුට පිටි පතුලෙන් ගැසී ය. මැස්සෝ ඉගිලී විසිරෙති. දුර්ගන්ධය නාසා පුටය කඩාගෙන ගියේ ය. බුදුන් කෙරේ වූ ප්‍රසාදය තුනී විය. එයින් ඔහුගේ ආලෝකය අතුරුදහන් විය. අඳුර පහළ විය. සද්දමනුස්සාවෙසි සිටුවරයාට උත්සාහය ජනිත කරවන්නෙමියි රන් ගෙජ්ජි ගැටෙන්නාක් මෙන් මිහිරි හඬින් ශබ්දය ඇසෙන්නට සැලැස්වී ය.