9. පඨමසුක්කා සූත්ර වර්ණනාව
නව වැන්නේ - රථීකාය රථීකං එක් වීදියකින් තව වීදියකට යන්නේ “රථීකාය රථීකං උපංසකන්තො” නම් වේ. සිංඝාටක (මං සන්ධිය) පිළිබඳ ව ද මේ පිළිවෙල ය. මෙහි රථීකා වීදිය, සිංඝාටකං සිවු මංසල.
කිං මෙ කතා “කිං ඉමෙ කතා”? කුමක් මොවුහු කළාහු ද? කුමක් කරත් ද යනු අර්ථ යි. මධුපීතාව සෙය්යරෙ සුරා පානය කළාහු මෙන් නිදත්, සුරා පානය කළ තැනැත්තේ හිස එසවීමට නො හැකි වෙයි, විසඥව නිදන්නේ ම ය. එහෙයින් මෙසේ කී ය.
තං ච පන අප්පටිවානීයං ඒ නො වැළැක්විය යුතු (ඇසීමෙන් තෘප්තියට නො එන) ධර්මය දෙසයි. බාහිර වූ සුමධුර භෝජනයක් වුව යළි යළිත් වළඳන්නෙකුට නො රුස්නේ ය. ගෙන යව, මෙයින් කිම? යි ඉවත් කළ යුතු වෙයි, බැහැර කළ යුතු වෙයි. මේ ධර්මය එසේ නො වේ. පණ්ඩිතයෝ මේ ධර්මය වර්ෂ සියයක්, දහසක් වුව අසන්නාහු තෘප්තියකට නො පැමිණෙත්, එහෙයින් ‘අප්පටිවානීයං’ යි කියන ලදි. අසෙචනකමොජවං නො ඉසින ලද්දා වූ (නො තැවරුණු), ඔදවත් වූ, යම් සේ බාහිර වූ අමිශ්ර කිරිබත් ආදිය වුව ද ගිතෙල් මී පැණි සකුරුවලින් ඉසින ලද්දේ ම - යොදන ලද්දේ ම - මිහිරි හා ඔදවත් වෙයි. මේ ධර්මය එසේ නො වේ. මෙය තමා ස්වභාවයෙන් මධුර වූයේත් ඔදවත් වූයේත් වේ. වෙනත් දෙයකින් මිශ්ර වී නො මැත. එහෙයින් අසෙචනකමොජවං යි කියන ලදි. පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤා පණ්ඩිත පුරුෂයන් බොන්නාක් මෙන් වලාහකාමිවද්ධගු වළාකුළුවලින් නික්මුණු දිය ග්රීෂ්මයෙන් රත් වුණු මගීන් මෙන්.
නව වැනි සූත්රය යි.
10. දුතියසුක්කා සූත්ර වර්ණනාව
දස වැන්නේ - පුඤ්ඤං වත පසවි බහුං ‘බහුං වත පුඤ්ඤං පසවි’ (බොහෝ ම පින් රැස් කළේ ය.)
දස වැනි සූත්රය යි.
11. චීරා සූත්ර වර්ණනාව
එකොළොස් වැන්න කියන ලද්දේ ම ය.
එකොළොස් වැනි සූත්රය යි.
12. ආළවක සූත්ර වර්ණනාව
දොළොස් වැන්නේ - ආළවියං ආළවි යනු ඒ රටත් නගරයත් (වේ); ඒ භවනය නගරයට නො දුරේ ගව්වක් පමණ වූ තැන පිහිටියේ භාග්යවතුන් වහන්සේ එහි වසන සේක. ඒ නගරය ඇසුරු කොට ගෙන ආළවියෙහි වසති යි කියන ලදි. ආළවකස්ස යක්ඛස්ස භවනෙ මෙහි අනුපූර්ව කථාව මෙය යි:
ආලවක රජතුමා නොයෙක් නෘත්ය සම්පත් හැර දමා සොරුන් වැළැක්වීම පිණිසත්, විරුද්ධ රජවරුන් වැළැක්වීම පිණිසත් ව්යායාම කිරීම පිණිසත්, සත් වැනි සත් වැනි දවස්වල මුව දඩයමේ යන්නේ, එක් දිනක් සේනාව සමග කථිකාවක් කර ගත්තේ ය. යම් කෙනෙකුගේ පැත්තෙන් මුවා පැන යයි ද ඔහුට ම එය භාර ය. ඉක්බිති ඔහුගේ ම පැත්තෙන් මුවා පැන දිවී ය. රජතුමා ජවසම්පන්න වූයේ දුන්න ගෙන පයින් ම යොදුන් තුන්ක ඒ මුවා ලුහු බැන්දේ ය. ඒණි මුවෝ ද යොදුන් තුනක් (දක්වා වූ) වේග ඇත්තෝ ය. ඉක්බිති පිරිහුණු ජවය ඇති, ජලය ඇති තැනකට පැමිණ සිටි ඒ මුවා මරා දෙකට කපා, මසින් තමාට වැඩක් නොමැති වුවත්, මුවා ගෙන ඒමට නො හැකි විය යන අපවාදයෙන් මිදීම පිණිස කදකින් ගෙන පැමිණෙන්නේ නගරය ආසන්නයේ බොහෝ පත්රවලින් සමන්විත මහත් නුග ගසක් දැක වෙහෙස නිවා ගැනීම පිණිස එහි මුලට පැමිණියේ ය. ඒ නුග ගසේ ආළවක යක්ෂයා මහරජු සමීපයෙහි භවනක් ලැබ මද්දහන වේලාවෙහි ඒ රුක් සෙවනෙහි පහස ලත් තැනට පැමිණි සතුන් අනුභව කරමින් වාසය කරයි. හේ ඔහු (රජතුමා) දැක කෑමට ළඟට පැමිණියේ ය. රජතුමා ඔහු හා කථිකාවක් කරගත්තේ ය. “මා මුදව, මම තොපට දවස දවස මිනිසෙකුත් සැළි බතකුත් එවන්නෙමි” යක්ෂයා, “ඔබ රජ සැපතින් ප්රමාද වූයේ සිහි නො කරන්නෙහි. මම භවනයට නො පැමිණි හා අනුමතිය නො ලත් කිසිවෙකුත් කෑමට නො ලබමි. ඒ මම ඔබ ද අත් හරින්නෙමි’යි මුදා නො හළේ ය. රජතුමා, ‘යම් දවසක නො එවන්නෙම් ද ඒ දවස මා අනුභව කරවයි තමා අනුදැන ඔහු විසින් මුදා හරින ලද්දේ නගරාභිමුඛ ව ගියේ ය.
බල සේනාව මග කඳවුරු බැඳ සිටියාහු රජතුමා දැක, ‘කිම මහරජ’ හුදු අයශ (අපකීර්ති) බයින් මෙසේ වෙහෙස වන්නාහු දැයි කියමින් ඉදිරියට ගොස් පිළිගත්හ. රජතුමා එපවත් නො දක්වා නගරයට ගොස් උදය බත අනුභව කොට නගරාරක්ෂකයා කැඳවා මේ කරුණ පැවසී ය. නගරාරක්ෂකයා, “කිම රජතුමනි, කාලපරිච්ඡේදයක් වෙන් කරන ලද දැයි විමසී ය. නො කරන ලදැයි කියයි. නුසුදුස්සක් කර ඇත. මහරජ, අමනුෂ්යයෝ හුදු වෙන් කරනු ලැබූවක් ම ලබත්; වෙන් නො කළ කල්හි ජනපදයට හිරිහැර වන්නේ ය. ‘දේවයිනි. වේවා! අල්පෝත්සුක වී එසේ කළේ වුව ද ඔබ වහන්සේ රජ සැප විඳිනු මැනවි. මම මෙහි දී කළ යුත්ත කරන්නෙමි’ හේ කල් ඇති ව නැගිට, බන්ධනාගාර දොරටුවෙන් සිට යමයෙම් කෙෙනක් මරණ දඬුවම ලැබිය යුත්තෙක් වෙත් ද, ඒ ඒ අයට “යමෙක් ජීවත් වීමට කැමැත්තේ නම් එළියට එවු” යි කියයි. කිසිවෙක් පළමු ව පිට වේ නම් ඔහු නිවසට ගෙන ගොස් නාවා කන්නට දී, “මේ බත් හැළිය යකුට දෙව” යි (කියා) යවයි. ඔහු රුක් මුලට පිවිසි සැණින් ම යක්ෂයා බිරම් සිරුරක් මවා අලයක් මෙන් (ඔහු) කා දමයි. යක්ෂානුභාවයෙන් මනුෂ්යයන්ගේ කෙස් ආදිය නිසා මුළු ශරීරය ම වෙඬරු පිඩක් මෙන් වෙයි. යකුට බත් රැගෙන ගිය මිනිස්සු එය දැක බියට පත් වූවෝ ඒ බැව් මිතුරනට දැන්වූහ. එතැන් පටන්, රජතුමා සොරුන් ගෙන යකුට දෙති යි මිනිස්සු සොරකමින් වැළකුණහ. එයින් පසු කලක අළුත් සොරුන් නො මැති බැවිනුත් පෙර සොරුන් අඩුවීම නිසාත් බන්ධනාගාර හිස් විය.