1. ඉන්දක වර්ගය
1. ඉන්දක සූත්‍ර වර්ණනාව
යක්‍ඛසංයුත්තයෙහි පළමු වැන්නේ ඉන්‍දකස්ස ඉන්ද්‍රකූට වැසි යකුගේ; යක්ෂයා නිසා කූටයෙනුත් කූටය නිසා යක්ෂයාගෙනුත් නම ලැබිණි. න ජීවන්ති වදන්ති ඉදින් බුදුවරු රූපය ජීවය යි නො කියත් ද, ඉදින් රූපය සත්ත්වයෙකි, පුද්ගලයෙකි යි මෙසේ නො කියති යනු අර්ථ යි. කථනන්වයං ‘කථං නු අයං’ කෙසේ නම් මෙතෙමේ; කුතස්ස අට්ඨි යකපිණ්ඩමෙති මේ සත්ත්වයාගේ ඇට හා අක්මා පිඬ කොහෙන් එයි ද? මෙහි ද ‘අට්ඨි’ (ඇට) ගැනීමෙන් ඇට තුන් සියය ද ‘යක පිණ්ඩ’ (අක්මා පිඬ) ගැනීමෙන් මාංශ පේශී නව සියය ද ගන්නා ලදි. ඉදින් රූපය ජීවය නො වේ නම් ඔහුගේ මේ ඇටත් මේ මාංශ පේශීත් කොහෙන් එත්දැයි ප්‍රශ්න කරයි. කථනන්වයං මජ්ජති ගබ්භරස්මිං කුමන කරුණකින් මේ සත්ත්වයා මව් කුසෙහි සැදෙයි ද, ලැගෙයි ද, සිටියි ද යනු යි. මේ යක්ෂයා පුද්ගලවාදියෙකි. සත්ත්වයා එක පැහැර මව්කුස තුළ බිහි වෙති යි ගෙන ගැබෙහි නිදන සත්ත්වයාගේ මව මත්ස්‍යමාංශ කයි. සියල්ල ම එක රැයක වාසයෙන් පැස (දිරවා) පෙන (දිය බුබුලක්) මෙන් වියැකී යයි. ඉදින් රූපය සත්ත්වයා නො වන්නේ නම් මෙසේ වැනසී යයි” යන ලබ්ධියෙන් මෙසේ කී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට “එක පැහැර ම මව්කුසෙහි නො උපදී. අනුපිළිවෙලින් වැඩෙයි” යි දක්වන සේක් පඨමං කලලං හොති ආදිය පැවසූ සේක. එහි පඨමං පළමු ප්‍රතිසන්‍ධි විඤ්ඤාණය සමග තිස්ස හෝ ඵුස්ස යි නමක් නැත. ඉක්බිති තුන් පුළුන් රොදකින් තැනූ නූලක වන් තෙල් බිඳුවක් පමණ වූ කලලං හොති (කලලයක් වෙයි), ඒ අරභයා කියන ලදි:
තිලතෙලස්ස යථා බින්‍දු සප්පිමණ්ඩො අනාවිලො
එවං වණ්ණපටිභාගං කලලං සම්පවුච්චති
(තලතෙල් බිඳුවක් - පිරිසිදු ගිතෙල් බිඳක් - යම් සේ වේ ද එබඳු වර්ණයක් සහිත වූයේ ඊට ‘කලල’ යි කියනු ලැබේ.)
කලලා හොති අබ්බුදං ඒ කලලයෙන් සත් දිනකට පසු මස් සේදු වතුරෙහි පාට ඇති ‘අබ්බුද නම් වේ. ‘කලල’ යන නාමය අතුරුදහන් වේ. එය ද කියන ලදි:
සත්තාහං කලලං හොති පරිපක්කං සමූහතං
විවට්ටමානං තං භාවං අබ්බුදං නාම ජායති”
(කලලය, දින හතක් වැඩුණු එකක් (වේ), පෙරළෙමින් පවත්නා ඒ තත්ත්වයට ‘අබ්බුද යන නම ඇති වේ.)
අබ්බුදා ජායතෙ පෙසී ඒ අබ්බුදයෙන් ද සත් දිනකට පසු උණු ඊයම් සමාන පේශී නම් වූ දේ හට ගනී. එය මිරිස් පැණියෙන් (යුෂයෙන්) පැහැදිලි කළ යුත්තේ ය. ගම්දරුවෝ හොඳින් පැසුණු මිරිස් ගෙන රෙදි පොටක පොට්ටනියක් කොට පොඩි කර මණ්ඩිය ගෙන කබලේ බහා අව්වේ තබත්. එය වියළෙන්නට වියළෙන්නට හැම කොටසක්ම කැටි ගැසේ. පේශීය ඒ ආකාර වේ. ‘අබ්බුද’ යන නාමය අතුරුදහන් වෙයි. එය ද කියන ලදි.
සත්තාහං අබ්බුදං හොති පරිපක්කං සමූහතං
විවට්ටමානං තං භාවං පෙසි නාම ච ජායතී”
(අබ්බුදය දින හතක් වැඩුණු මේරුණු එකක් (වේ.) පෙරළෙමින් පවත්නා ඒ තත්ත්වයට පේශී යන නම ද හට ගනී.)
පෙසි නිබ්බත්තතී ඝනො, ඒ පේශියෙන් සත් දිනක් ඇවෑමෙන් කිකිළි බිජුවක සලකුණු ඇති ‘ඝන’ නම් මස් පිඬුවක් හට ගනී. පේශි යන නාමය අතුරුදහන් වේ. එය ද කියන ලදි.
“සත්තාහ පෙසී භවති පරිපක්කං සමූහතං
විවට්ටමානං තං භාවං ඝනොති නාම ජායති
යථා කුක්කටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං
එවං ඝනස්ස සණ්ඨානං නිබ්බත්තං කම්මපච්චයා”
(පේශී සත් දිනක් වැඩුණු මේරුණු එකක් වේ. පෙරළෙමින් පවත්නා ඒ තත්ත්වයට ‘ඝන’ යන නම හට ගනී. කිකිළි බිජු වටක් යම් සේ හාත්පසින් වටකුරුව සිටී ද එසේ ‘ඝනයෙහි’ සටහනක් කර්ම හේතුවෙන් ඇති විණි)
ඝනා පසාඛා ජායන්ති පස් වන සතියේ අත් පා යුගල දෙකත් සිරසත් උදෙසා බුබුළු පහක් හට ගනී. ඒ අරභයා මෙය කියන ලදි. “මහණෙනි, පස් වැනි සතියේ බුබුළු පහක් කර්මය හේතු කොට ගෙන පිහිටයි.”
ඉන් පසුව හය හත සති ආදිය ඉක්මවා, දේශනාව සංක්‍ෂෙප කොට, හතළිස් දෙවැනි සතියේ මේරුණු කාලය ගෙන දක්වන සේක්, කෙසා ආදිය පැවසූහ. එහි කෙසා ලොමා නඛානි ච හතළිස් දෙවැනි සතියේ ඒවා හට ගනී.
තෙන සො තත්‍ථ යාපෙති ඔහුගේ නාභියෙන් උඩට ආ නාළය මවගේ උදර පටලයෙන් ඒකාබද්ධ වේ. එය නෙළුම් දඬුවක් මෙන් සිදුරු (සහිත) ය. එයින් ආහාර රසය සංසරණය වී ආහාර හේතු කොට ගෙන වැඩෙන රූපයක් ඇති කරයි. මෙසේ හේ දස මසක් යැපෙයි. මාතුකුච්ඡිගතො නරො මවගේ කුසෙහි හරස් අතට සිටියේ, කුසෙහි ඇතුළත සිටියේ යන අරුත යි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ‘යක්ෂය, මෙසේ මේ සත්ත්වයා අනුපිළිවෙලින් මව් කුසෙහි වැඩේ. එක පැහැර පහළ නො වෙති යි දක්වන සේක.
පළමු වැනි සූත්‍රය යි.