5. සානු සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - යක්‍ඛෙන ගහිතො හොති හේ ඒ උපාසිකාවගේ එක ම පුතා ය. ඉක්බිති ඇය ඔහු ළමා වයසේ දී ම මහණ කරවූවා ය. හේ පැවිදි වූ කල පටන් සිල්වත් වූයේ වතාවත් සහිත වූයේ ය. ආචාර්ය උපාධ්‍යාය ආගන්තුක ආදීනට වතාවත් කරන ලද්දේ ම වේ. මාසයේ දින අටක් පාන්දරින් ම අවදි වී දිය සැළියෙහි දිය පුරවා ධර්ම ශාලාව අතු ගා පහන් දල්වා මධුරස්වරයෙන් ධර්මශ්‍රවණ ඝෝෂාව කරයි. භික්ෂූහු ඔහුගේ ශක්තිය (හැකියාව) දැක “සාමණේරයනි, මිහිරි ලෙස ගාථා කීම කරන්න යි ඉල්ලා සිටිති. හේ “මගේ පපුව වාත අමාරුවකින් රිදෙයි, ශරීරය හෝ බාධා කරයි’ යනුවෙන් කිසිදු පසුබැස්මක් නො කොට ධර්මාසනයට නැග අහස් ගඟ ගලන්නාක් මෙන් මිහිරි ලෙස ගාථා කීම කර (අසුනින්) බසින්නේ මාගේ මව්පියන් හට ද මේ මිහිරි ගාථා කීමේ දී පිං පැමිණවීම් (වෙතැයි) කියයි. ඔහුගේ මව්පියෝ පිං පැමිණවීම කළ බැව් නො දනිති. පෙර ආත්ම භාවයෙහි ඔහුගේ මව යක්ෂණියක් වූවා ය. ඇය දේවතාවියන් සමග පැමිණියා ධර්මය අසා සාමණේරයන් විසින් දෙන ලද පින්, “පුත, අනුමෝදන් වෙමි” යි කියයි. ශීලසම්පන්න වූ භික්‍ෂූහු දෙවියන් සහිත ලෝකයාට ප්‍රිය වෙති’යි දේවතාවියෝ ඒ සාමණේරයන් කෙරෙහි ලජ්ජා සහිත වූවාහු ගෞරව සහිත වූවාහු මහා බ්‍රහ්මයා මෙන් ද, ගිනි කඳක් මෙන් ද ඔහු සළකති. සාමණේරයන් කෙරෙහි ඇති ගෞරවයෙන් ඒ යකිණිය ද ගරු කොට දකිති. ධර්ම ශ්‍රවණ යක්ෂ සමාගම ආදියෙහි දී ඇය පිළිගන්නා ලදැයි යකිණියට අග්‍රාසනය, අග්‍රොදකය, අග්‍ර පිණ්ඩය දෙති. මහේශාඛ්‍ය වූ යක්ෂයෝ ද ඒ දැක මගින් බසිති. අසුනින් නැගිටිත්,
ඉක්බිති ඒ සාමණේර තෙමේ තරුණ බවට පැමිණියේ ඉන්‍ද්‍රිය පරිපාකයට (පැසුණු බවට) ගියේ, අනභිරතියෙන් පීඩාවට පත් වූයේ අනභිරතිය නැසීමට නො හැකි වූයේ වැඩුණු කෙස්, නිය ඇත්තේ කිළිටි වූ හඳන පොරවන දෑ ඇත්තේ, කිසිවකුට හෝ නො දන්වා පා සිවුරු ගෙන හුදකලා ව මව් නිවසට ගියේ ය.
උපාසිකාව පුතා දැක වැඳ (මෙසේ) කීවා ය: “පුතනුවනි, ඔබ මීට පෙර ආචාර්ය උපාධ්‍යායන් හෝ කුඩා සාමණේරවරුන් සමග මෙහි එන්නෙහි ය. කුමක් නිසා අද තනි ව ආයෙහි ද?” හේ උකටලී බව දැන්වී ය. ශ්‍රද්ධාව ඇති උපාසිකාව නානා ප්‍රකාරයෙන් ගිහිගෙහි ආදීනව දක්වා පුතුට අවවාද දෙන්නී වුව ද ඔහුට අවබෝධ කරවීමට නො හැකි වන්නී, සත්‍ය ලෙස ම තමාගේ ම අත් දැකීමෙන් අවබෝධ කර ගන්නේ යයි නො පොළඹවා ම, “පුත, ඉන්න, ඔබට කැඳ බත් හදමි, කැඳ බී, කෑම අනුභව කළ ඔබට කැමති වස්ත්‍ර ගෙනැවිත් දෙන්නෙමි’යි කියා ආසනයක් පනවා දුන්නා ය. සාමණේර තැන හිඳ ගත්තේ ය. ඉන් පසු “බත් උයමි” යි අසළ වාඩි වී සහල් සෝදන්නී ය. ඒ වේලාවෙහි ඒ යක්ෂණිය “සාමණේරවරයා කොහේ ද? කිසියම් අහරක් ලබයි ද නැද්ද?’ යි විමසන්නී, ඔහු සිවුරු හැරීමේ කැමැත්තෙන් සිටින බැව් දැන දේවතාවුන් අතර මට ලජ්ජා නො ඉපදවිය යුතු ය; යමි, ඔහුගේ සිවුරු හැරීමට බාධා කරමි යි පැමිණ සිරුරට ආවේශ ව බෙල්ල හරවා බිම හෙළුවා ය. හේ හැරවුණු ඇස්වලින් යුතු ව කෙළ වගුරවමින් බිම දඟලයි. එහෙයින් යක්‍ඛෙන ගහිතො හොති (යකෙකු විසින් ගන්නා ලද්දේ) යි කියන ලදි.
අභාසි උපාසිකාව පුතාගේ ඒ විප්‍රකාරය දැක වේගයෙන් ගොස් පුතා වැළඳ ගෙන කළවයෙහි හොවා ගත්තා ය. ගම්වාසී සියලු දෙනා පැමිණ බලි කර්ම ආදිය කරති. උපාසිකාව හඬා වැලපෙමින් මේ ගාථා පැවසුවා ය.
පාටිහාරියපක්‍ඛඤ්ච මිනිස්සු අටවක උපෝසථයට ඉදිරියෙනුත් පසුවත් කරන්නෙමු යි සත්වැනි දිනත් නව වැනි දිනත් උපෝසථ අංග සමාදන් වෙති. තුදුස්වක හා පසළොස්වක දිනවලත් පෙරත් පසුත් (උපෝසථ) කරන්නාහු දහතුන් වැනි දනිත්, පුරපස පළමු වන දිනත් සමාදන් වෙති. වස් විසීම අනුගමනය කරන්නමෝ යි පවාරණ දෙක අතරේ අඩමසක් නො කඩවවා පෙහෙවස් විසීම කරන්නාහු ය. මේ අරභයා ප්‍රාතිහාර්ය පක්ෂය යි කියන ලදි. අට්ඨඞ්ගසුසමාගතං අංග අටෙන් මැනවින් සමන්විත වූ, සම්ප්‍රයුක්ත වූ යන අර්ථ යි. බ්‍රහ්මචරියං ශ්‍රේෂ්ඨ චර්යාව; න තෙහි යක්‍ඛා කීළන්ති යක්ෂයෝ ඔවුන් සමග සෙල්ලම් නො කරත්.
යළි චාතුද්දසිං මේ ගාථාවෙන් සාමණේරයන්ගේ කයෙහි ආරූඪ වුණු යක්ෂණිය පැවසුවා ය. ආවි වා යදි වා රහො කිසිවෙකුගේ ඉදිරියේ හෝ අනභිමුඛයේ (රහසෙන්) පමුත්ත්‍යත්‍ථි පමුත්ති අත්‍ති (මිදීමක් (නොම) ඇත.) උප්පච්චාපි (අහසට) නැගී වුවද; ඉදින් පක්ෂියකු මෙන් අහසට නැගී පලා යන්නෙහි ද එසේ වුව ද ඔබට මිදීමක් නැත”යි කියයි. මෙසේ ද කියා සාමණේරවරයා මුදා හැරියා ය. සාමණේරවරයා ඇස් ඇරියේ ය. මව කෙස් විහිදුවා හුස්ම ගනිමින් හෙළමින් හඬයි. හේ අමනුෂ්‍යයකු විසින් ග්‍රහණය කරන ලද්දෙමැයි නො දනී. විමසා බලන්නේ, මම පෙර පීඨයෙහි සිටියෙමි. මව ද අසළ හිඳ හාල් සෝදයි. දැන් මම බිම වැටී සිටිමි. මගේ මව ද හුස්ම ඉහළ පහළ ගනිමින් හඬන්නී ය. මුළු ගම්වාසීහු ද පැමිණ සිටිති. මේ කිම දැයි වැටී සිටිමින් මා මතං වා අම්ම යන ගාථාව කී ය.
කාමෙ චජිත්‍වාන දෙවැදෑරුම් වූ කාමය ම හැර දමා, පුනරාගච්ඡතෙ සිවුරු හැරීම් වශයෙන් පැමිණෙයි. පුන ජීවං මතො හි සො උපැවිදි ව යළි ජීවත් වන්නේ වුව ද හේ මළාක් මෙනි. එහෙයින් ඔහු ගැන ද හඬතියි කියයි.
දැන් ඔහුට ගිහිගෙහි ආදීනව පෙන්වන්නී කුක්කුලා ආදිය පැවසුවා ය. එහි කුක්කුලා ගිහි ගෙය උෂ්ණ අර්ථයෙන් ‘කුක්කුලා’ (උණු අළු) නම් වේ. කස්ස උජ්ඣාපයාමසෙ වහා යනු මැනව. ඔබට හොඳක් ම වේවා යි මෙසේ කියා ඔබ සිවුරු හැරීමට කැමැත්තේ වුව ද යක්ෂයා විසින් පාපිත වූයේ මේ විප්‍රකාරය ගැන අපි කවරකු හට දොස් පවරමු ද, වරද පමුණුවමු දන්වමු ද? යි පවසයි. පුන ඩය්හිතුමිච්ඡසි පිළිස්සෙන නිවසකින් බැහැර කළ භාණ්ඩ මෙන් නිවසින් එළියට විත් බුදු සසුනේ පැවිදි ව යලි මහත් ව පිළිස්සුමක් හා සමාන ගිහිගෙහි පිළිස්සීමට කැමැත්තෙහි ද යනු අර්ථ යි. හේ මව (මෙසේ) පවසත් පවසත් ම කල්පනා කොට ලජ්ජා බය යළි ලැබ ගිහි බවින් මට වැඩක් නැත’ යි කී ය. ඉක්බිති ඔහුගේ මව ‘හොඳමයි පුත’ යි සතුටු වූවා ප්‍රණීත භෝජන වළඳවා ‘පුත, වස් කීය දැයි විමසුවා ය. උපාසිකාවනි,’ වසරක් සම්පූර්ණ කෙළෙමි’යි. එසේ නම් පුත, උපසම්පදාව කරනු මැනවි: තුන් සිවුරු රෙදි දුන්නා ය. හේ තුන් සිවුර කරවා උපසපන් ව බුද්ධවචනය ඉගෙන ගත්තේ ත්‍රිපිටකධාරී වී ශීලාදියට පැමිණි තන්හි ඒ ඒ දේ පුරන්නේ නො බෝ කලකින් ම අර්හත්වයට පත් ව මහා ධර්මකථිකයකු වී වර්ෂ එකසිය විස්සක් සිට මුළු දඹදිව බබුළුවා පිරිනිවන් පෑයේ ය.
පස් වැනි සූත්‍රය යි.