යළි චාතුද්දසිං මේ ගාථාවෙන් සාමණේරයන්ගේ කයෙහි ආරූඪ වුණු යක්ෂණිය පැවසුවා ය. ආවි වා යදි වා රහො කිසිවෙකුගේ ඉදිරියේ හෝ අනභිමුඛයේ (රහසෙන්) පමුත්ත්‍යත්‍ථි පමුත්ති අත්‍ති (මිදීමක් (නොම) ඇත.) උප්පච්චාපි (අහසට) නැගී වුවද; ඉදින් පක්ෂියකු මෙන් අහසට නැගී පලා යන්නෙහි ද එසේ වුව ද ඔබට මිදීමක් නැත”යි කියයි. මෙසේ ද කියා සාමණේරවරයා මුදා හැරියා ය. සාමණේරවරයා ඇස් ඇරියේ ය. මව කෙස් විහිදුවා හුස්ම ගනිමින් හෙළමින් හඬයි. හේ අමනුෂ්‍යයකු විසින් ග්‍රහණය කරන ලද්දෙමැයි නො දනී. විමසා බලන්නේ, මම පෙර පීඨයෙහි සිටියෙමි. මව ද අසළ හිඳ හාල් සෝදයි. දැන් මම බිම වැටී සිටිමි. මගේ මව ද හුස්ම ඉහළ පහළ ගනිමින් හඬන්නී ය. මුළු ගම්වාසීහු ද පැමිණ සිටිති. මේ කිම දැයි වැටී සිටිමින් මා මතං වා අම්ම යන ගාථාව කී ය.
කාමෙ චජිත්‍වාන දෙවැදෑරුම් වූ කාමය ම හැර දමා, පුනරාගච්ඡතෙ සිවුරු හැරීම් වශයෙන් පැමිණෙයි. පුන ජීවං මතො හි සො උපැවිදි ව යළි ජීවත් වන්නේ වුව ද හේ මළාක් මෙනි. එහෙයින් ඔහු ගැන ද හඬතියි කියයි.
දැන් ඔහුට ගිහිගෙහි ආදීනව පෙන්වන්නී කුක්කුලා ආදිය පැවසුවා ය. එහි කුක්කුලා ගිහි ගෙය උෂ්ණ අර්ථයෙන් ‘කුක්කුලා’ (උණු අළු) නම් වේ. කස්ස උජ්ඣාපයාමසෙ වහා යනු මැනව. ඔබට හොඳක් ම වේවා යි මෙසේ කියා ඔබ සිවුරු හැරීමට කැමැත්තේ වුව ද යක්ෂයා විසින් පාපිත වූයේ මේ විප්‍රකාරය ගැන අපි කවරකු හට දොස් පවරමු ද, වරද පමුණුවමු දන්වමු ද? යි පවසයි. පුන ඩය්හිතුමිච්ඡසි පිළිස්සෙන නිවසකින් බැහැර කළ භාණ්ඩ මෙන් නිවසින් එළියට විත් බුදු සසුනේ පැවිදි ව යලි මහත් ව පිළිස්සුමක් හා සමාන ගිහිගෙහි පිළිස්සීමට කැමැත්තෙහි ද යනු අර්ථ යි. හේ මව (මෙසේ) පවසත් පවසත් ම කල්පනා කොට ලජ්ජා බය යළි ලැබ ගිහි බවින් මට වැඩක් නැත’ යි කී ය. ඉක්බිති ඔහුගේ මව ‘හොඳමයි පුත’ යි සතුටු වූවා ප්‍රණීත භෝජන වළඳවා ‘පුත, වස් කීය දැයි විමසුවා ය. උපාසිකාවනි,’ වසරක් සම්පූර්ණ කෙළෙමි’යි. එසේ නම් පුත, උපසම්පදාව කරනු මැනවි: තුන් සිවුරු රෙදි දුන්නා ය. හේ තුන් සිවුර කරවා උපසපන් ව බුද්ධවචනය ඉගෙන ගත්තේ ත්‍රිපිටකධාරී වී ශීලාදියට පැමිණි තන්හි ඒ ඒ දේ පුරන්නේ නො බෝ කලකින් ම අර්හත්වයට පත් ව මහා ධර්මකථිකයකු වී වර්ෂ එකසිය විස්සක් සිට මුළු දඹදිව බබුළුවා පිරිනිවන් පෑයේ ය.
පස් වැනි සූත්‍රය යි.
6. පියඞ්කර සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - ජෙතවනෙ ජේතවනයෙහි පසල් දනව්වක ‘කොසම්බකුටිකා’ නම් තැනක් ඇත. එහි වසයි. ධම්මපදානි මෙහි වෙන් වෙන් ම සංග්‍රහ කරන ලද ෂඩ්වීසති වර්ග පෙළ (ධම්මපදය) අදහස් කරන ලදි. එහි තෙරුන් වහන්සේ ඒ අවස්ථාවෙහි විහාර ඇතුළත සිටිමින් මධුර ස්වරයෙන් ගාථා කියා අප්පමාදවග්ගය කියයි. එවං තොසෙසි (මෙසේ නැළවුවා ය). ඈ පියංකර (නම් වූ) පුතා ඇකයෙන් ගෙන ජේතවනයෙහි බටහිර පැත්තේ සිට අහර සොයන්නී පිළිවෙලින් නගරය දෙසට හැරී මළමුත්‍ර - කෙළ - සොටු ආදී දුෂ්කර බොජුන් සොයන්නී තෙරුන් වසන ස්ථානයට පැමිණ මධුර ස්වරය ඇසුවා ය. ඒ ශබ්දය ඇගේ සම ආදිය සිඳ ඇට මිදුලු ගටා හෘදයංගමනීය විය. ඉක්බිති ඈට ගොදුරු සෙවීමේ සිතක් හෝ නො උපතිණි. කන් යොමා ගෙන ධර්මය ම අසමින් සිටින්නී ය. යක් දරුවාගේ ළමාකම හේතුවෙන් ධර්ම ශ්‍රවණයෙහි සිතකුදු නො උපනි. ඔහු බඩ සයින් පෙලුන බැවින් “මෑණියනි, ගිය ගිය තැන කණුවක් මෙන් සිටින්නේ කුමක් නිසා ද? මට කන්නට හෝ බොන්නට කිසිවක් නො සොයන්නෙහි ද?” යි යළි යළිත් මවට දොස් පවරයි. ඇය මගේ ධර්මශ්‍රවණයට බාධාවක් කරතියි මා සද්දං කරි පියඞ්කර, ශබ්ද නොකරන්න” යි මෙසේ නැළවූවා ය. එහි මා සද්දං කරි ‘සද්දං මා කරි’ (ශබ්ද නො කරන්න)
පාණෙසු ච යන ගාථාවෙන් ඈ තමාගේ යෝග්‍යතාව අනුව සමාදන් වූ පඤ්චශීලය දක්වයි. එහි සංයමාමසෙ සංයම වෙමු. සංයත වූවෝ වෙමු. මෙයින් පාණාතිපාතයෙන් වැළකීම ගන්නා ලදි. දෙවන පදයෙන් මුසාවාද විරතිය, තෙවන පදයෙන් ඉතිරි විරති තුන (ගන්නා ලදි) අපි මුඤ්චෙම පිසාචයොනියා දරුවා යක්ෂ ලෝකයෙහි උපන් නමුත් මේ වෛර පහ හැර දමා සිහියෙන් යුතු ව පිළිපැද මේ කුසගිනි දුබික් සහිත පිශාච යක්ෂ යෝනියෙන් මිදෙමු’යි කී ය.
සය වැනි සූත්‍රය යි.
7. පුනබ්බසු සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - තෙන ඛො පන සමයෙන හිරු බැස ගිය කල්හි, එදා භාග්‍යවතුන් වහන්සේ දිවාභෝජනයෙන් පසු ව මහජනයාට දහම් දෙසා මහජනයා උද්යෝගිමත් කරවා ස්නානය කරන කුටියෙහි ස්නානය කොට, ගඳකිළි කාමරයෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි පෙර දිග ලෝකධාතුව බලමින් සිටි සේක. ඉක්බිති ඒකචාරික (තනි තනි ව හැසිරෙන) ද්විචාරික ආදි පංශුකුලික - පිණ්ඩපාතික - භික්‍ෂූහු තම තමන් වසන තැන්වලින් නික්මී පැමිණ බුදුන් වහන්සේ වැඳ, රතු කඩතුරාවලින් වට කරනු ලබන්නාක් මෙන් වාඩි වූහ. ඉක්බිති ඔවුන්ගේ අදහස දැන බුදුන් වහන්සේ නිර්වාණය අඩංගු ධර්ම කථාවක් පැවැත්වූ සේක.