4. මණිභද්ද සූත්‍ර වර්ණනාව
සතර වැන්නේ - සුඛමෙධති සුවය ලබයි. සුවෙ සෙය්‍යො හෙට හෙට ශ්‍රේෂ්ඨ ය. සැමදා ම ශ්‍රේෂ්ඨ යන අර්ථ යි. වෙරා න පරිමුච්චති මම සිහියෙන් යුක්තයෙමි යි එපමණකින් වෛරයෙන් නො මිදෙයි; යස්ස මේ රහත් කෙනෙකුන්ගේ අහිංසාය කරුණාවේ මෙන් ම කරුණා පූර්වභාගයෙහි ද, මෙත්තං සො හේ මෛත්‍රිය ද මෛත්‍රී පූර්වභාගය ද වඩන්නේ ය. නැතහොත් ‘අංස’ යනු ‘කොටස’ යයි කියනු ලැබේ. ‘මෙත්තා අංසො එතස්ස’ (ඔහුට මෛත්‍රිය අංශයකි) යි = ‘මෙත්තංසො’ කියන ලද්දේ මෙය යි: “යක්ෂයා, යම් රහත් කෙනෙකුන්ගේ මනස මුළු කාලය තුළ කරුණාවෙහි ඇළුනේ ද, යමෙකුට සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය කොටසක් වේ ද ඔහුට කිසිදු පුද්ගලයකු සමග වෛරයක් නම් නැත්තේ ය.”
සිවු වැනි සූත්‍රය යි.
5. සානු සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - යක්‍ඛෙන ගහිතො හොති හේ ඒ උපාසිකාවගේ එක ම පුතා ය. ඉක්බිති ඇය ඔහු ළමා වයසේ දී ම මහණ කරවූවා ය. හේ පැවිදි වූ කල පටන් සිල්වත් වූයේ වතාවත් සහිත වූයේ ය. ආචාර්ය උපාධ්‍යාය ආගන්තුක ආදීනට වතාවත් කරන ලද්දේ ම වේ. මාසයේ දින අටක් පාන්දරින් ම අවදි වී දිය සැළියෙහි දිය පුරවා ධර්ම ශාලාව අතු ගා පහන් දල්වා මධුරස්වරයෙන් ධර්මශ්‍රවණ ඝෝෂාව කරයි. භික්ෂූහු ඔහුගේ ශක්තිය (හැකියාව) දැක “සාමණේරයනි, මිහිරි ලෙස ගාථා කීම කරන්න යි ඉල්ලා සිටිති. හේ “මගේ පපුව වාත අමාරුවකින් රිදෙයි, ශරීරය හෝ බාධා කරයි’ යනුවෙන් කිසිදු පසුබැස්මක් නො කොට ධර්මාසනයට නැග අහස් ගඟ ගලන්නාක් මෙන් මිහිරි ලෙස ගාථා කීම කර (අසුනින්) බසින්නේ මාගේ මව්පියන් හට ද මේ මිහිරි ගාථා කීමේ දී පිං පැමිණවීම් (වෙතැයි) කියයි. ඔහුගේ මව්පියෝ පිං පැමිණවීම කළ බැව් නො දනිති. පෙර ආත්ම භාවයෙහි ඔහුගේ මව යක්ෂණියක් වූවා ය. ඇය දේවතාවියන් සමග පැමිණියා ධර්මය අසා සාමණේරයන් විසින් දෙන ලද පින්, “පුත, අනුමෝදන් වෙමි” යි කියයි. ශීලසම්පන්න වූ භික්‍ෂූහු දෙවියන් සහිත ලෝකයාට ප්‍රිය වෙති’යි දේවතාවියෝ ඒ සාමණේරයන් කෙරෙහි ලජ්ජා සහිත වූවාහු ගෞරව සහිත වූවාහු මහා බ්‍රහ්මයා මෙන් ද, ගිනි කඳක් මෙන් ද ඔහු සළකති. සාමණේරයන් කෙරෙහි ඇති ගෞරවයෙන් ඒ යකිණිය ද ගරු කොට දකිති. ධර්ම ශ්‍රවණ යක්ෂ සමාගම ආදියෙහි දී ඇය පිළිගන්නා ලදැයි යකිණියට අග්‍රාසනය, අග්‍රොදකය, අග්‍ර පිණ්ඩය දෙති. මහේශාඛ්‍ය වූ යක්ෂයෝ ද ඒ දැක මගින් බසිති. අසුනින් නැගිටිත්,
ඉක්බිති ඒ සාමණේර තෙමේ තරුණ බවට පැමිණියේ ඉන්‍ද්‍රිය පරිපාකයට (පැසුණු බවට) ගියේ, අනභිරතියෙන් පීඩාවට පත් වූයේ අනභිරතිය නැසීමට නො හැකි වූයේ වැඩුණු කෙස්, නිය ඇත්තේ කිළිටි වූ හඳන පොරවන දෑ ඇත්තේ, කිසිවකුට හෝ නො දන්වා පා සිවුරු ගෙන හුදකලා ව මව් නිවසට ගියේ ය.
උපාසිකාව පුතා දැක වැඳ (මෙසේ) කීවා ය: “පුතනුවනි, ඔබ මීට පෙර ආචාර්ය උපාධ්‍යායන් හෝ කුඩා සාමණේරවරුන් සමග මෙහි එන්නෙහි ය. කුමක් නිසා අද තනි ව ආයෙහි ද?” හේ උකටලී බව දැන්වී ය. ශ්‍රද්ධාව ඇති උපාසිකාව නානා ප්‍රකාරයෙන් ගිහිගෙහි ආදීනව දක්වා පුතුට අවවාද දෙන්නී වුව ද ඔහුට අවබෝධ කරවීමට නො හැකි වන්නී, සත්‍ය ලෙස ම තමාගේ ම අත් දැකීමෙන් අවබෝධ කර ගන්නේ යයි නො පොළඹවා ම, “පුත, ඉන්න, ඔබට කැඳ බත් හදමි, කැඳ බී, කෑම අනුභව කළ ඔබට කැමති වස්ත්‍ර ගෙනැවිත් දෙන්නෙමි’යි කියා ආසනයක් පනවා දුන්නා ය. සාමණේර තැන හිඳ ගත්තේ ය. ඉන් පසු “බත් උයමි” යි අසළ වාඩි වී සහල් සෝදන්නී ය. ඒ වේලාවෙහි ඒ යක්ෂණිය “සාමණේරවරයා කොහේ ද? කිසියම් අහරක් ලබයි ද නැද්ද?’ යි විමසන්නී, ඔහු සිවුරු හැරීමේ කැමැත්තෙන් සිටින බැව් දැන දේවතාවුන් අතර මට ලජ්ජා නො ඉපදවිය යුතු ය; යමි, ඔහුගේ සිවුරු හැරීමට බාධා කරමි යි පැමිණ සිරුරට ආවේශ ව බෙල්ල හරවා බිම හෙළුවා ය. හේ හැරවුණු ඇස්වලින් යුතු ව කෙළ වගුරවමින් බිම දඟලයි. එහෙයින් යක්‍ඛෙන ගහිතො හොති (යකෙකු විසින් ගන්නා ලද්දේ) යි කියන ලදි.