3. සූචිලොම සූත්‍ර වර්ණනාව
තුන් වැන්නේ - ගයායං ගයා ගමේ, ගයාවට නො දුරේ පිහිටි ගමක් ඇසුරු කොට ගෙන යනු අර්ථ යි. ටඞ්කිත මඤ්චෙ දිග ඇඳෙක, කකුල් මැද විය ඇඳ වියළ ඇතුළු කරවා කරන ලද ඇඳෙහි, එහි මේ ඉහළ ය මේ පහළ ය යි නැත. හරවා අතුරන ලද්දේ වුව ද එලෙස ම වෙයි. එය දේවස්ථානයේ තබත්. ගල් හතරක් මත ගල් (ලෑල්ලක්) අතුරා කරන ලද ගෙය ද ‘ටඞ්කිත මඤ්ච” යි කියනු ලැබේ. සූචිලොමස්ස ඉදිකටු සමාන ලොම් ඇති. හේ කස්සප බුදුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි ව දුර ස්ථානයක සිට පැමිණියේ ඩාදිය මළ තැවරුණු සිරුරෙන් යුතු ව මැනවින් පනවන ලද සංඝික ඇඳෙහි අනාදරයෙන් ඇතිරිලි නො දමා හොත්තේ ය. පිරිසිදු සිල් ඇති ඔහුගේ ඒ ක්‍රියාව පිරිසිදු වස්ත්‍රයෙහි කළු ලපයක් මෙන් විය. හේ ඒ ආත්මභාවයෙහි විශේෂත්වයකට පත් වීමට නො හැකි වූයේ කාල ක්‍රියා කොට ගයා ගම්දොර කසළ දමන තැනක යකෙකු වී උපන්නේ ය. උපන් හැටියේ ම ඔහුගේ මුළු සිරුර ඉදිකටුවලින් විදින්නාක් මෙන් හට ගැනිණි.
ඉක්බිති දිනක් භාග්‍යවතුන් වහන්සේ පාන්දර ම ලෝකය අවලෝකනය කරන සේක් ඒ යක්ෂයා ප්‍රථම ආරව්ජනයෙහි ම අක්ෂිගෝචරයට පැමිණියා දැක “මොහු එක් බුද්ධාන්තරයක මහා දුකක් වින්දේ ය. කිම මා වෙත පැමිණ යහපතක් වන්නේ දැයි සිතා බලන සේක, පළමු මගට (සෝවාන් මගට) (ඇති) උපනිශ්‍රය දුටු සේක. ඉක්බිති ඔහුට සංග්‍රහ කරනු කැමති වූ සේක්, රතු දෙපටක් හැඳ සුගත මහාචීවරය පෙරවා දෙව් විමන සදිසි ගඳ කිළිය හැර, ඇත්-ගව-අස්-මිනිස්-බලු ආදීන්ගේ කුණප ගඳ සහිත කසළ ස්ථානයට ගොස් එහි මහ ගඳකිළියෙහි මෙන් වැඩ සිටි සේක. ඒ අරභයා “සූචිලොමස්ස යක්ඛස්ස භවනෙ” යි කියන ලදි.
ඛරො කිඹුල්පිටක් මෙන්, උළුවලින් විෂම (ලෙස) වැසූ වහලක් මෙන් ගොරෝසු ශරීර ඇත්තේ; හේ කාශ්‍යප සම්මා සම්බුදුන්ගේ කාලයෙහි ශීලසම්පන්න උපාසකයෙකි. එක් දිනක් විහාරයෙහි විසිතුරු ඇතිරිලි ආදිය අතුරන ලද බිමෙහි සංඝික ඇතිරිල්ලක තම උතුරු සළුව නො එළා හිඳ ගත්තේ ය. සංඝික තෙලක් බෙදා ගෙන තම අත්වලින් ශරීරයේ ගිල්වා ගත්තේ ය යි ද කියති. හේ (ඒ) කර්මය නිසා ස්වර්ගයේ ඉපදීමට නො හැකි වූයේ ඒ ගම් දොරෙහි ම කසළ යකෙක් වී උපනි. උපන් පමණින් ම ඔහුගේ ද සකළ ශරීරය කලින් කියන ලද පරිදි විය. ඒ දෙදෙනා ම යහළු බවට පත් වූවෝ ය. මෙසේ ඛරගේ ඛර බව (ගොරෝසු බව) දත යුත්තේ ය.
අවිදූරෙ අතික්කමන්ති ගොදුරු සොයන්නාහු එක් වන තැනකට හෝ යන්නාහු ආසන්න ස්ථානවලට යත්. ඔවුන් අතරින් සූචිලෝම බුදුන් වහන්සේ නො දකී. ඛරලෝම පළමු කොට ම (බුදුන් වහන්සේ) දැක සූචිලෝම යක්ෂයාට මෙසේ කී ය. ‘එසො සමණො’ යහලුව, ඔබගේ භවනට පැමිණ සිටින මොහු එක් ශ්රමණයෙකි; නෙසො සමණො සමණකො එසො යමෙක් මා දැක බිය වී පලා යයි ද ඔහුට ‘සමණක’ යි කියනු ලැබේ. යමේක බිය නො වේ ද ඒ ‘ශ්රමණයෙකි.’ එහෙයින් මොහු මා දැක බිය පත් ව පලා යන්නේ ය යි සිතමින් මෙසේ කී ය.
කායං උපනාමෙසි ගොර බිරම් රූපයක් මවා මහත් වූ මුඛය විවර කොට මුළු ශරීරයෙහි ම ලොම් කෙළින් කරවා සමීප ව කය නැමුවේ ය. අපනාමෙසි මැණික් සියයකින් යුතු රන් ඇගෑවක් මෙන් කය මදක් ඉවත් කළ සේක. පාපකො පහත්, අමනෝඥ; හේ අසූචි ගොඩක් මෙන්, ගින්නක් මෙන්, කෘෂ්ණ සර්පයෙකු මෙන් ද වර්ජනය කළ යුත්තේ ය. මේ රන්වන් වූ ශරීරයෙන් නො පිළිගත යුත්තේ ය. මෙසේ කී කල්හි සූචිලෝම තෙමේ “මගේ ස්පර්ශය නීච ලු” යි කෝප වූයේ පඤ්හං තං සමණ ආදිය පැවසී ය. චිත්තං වා තෙ ඛිපිස්සාමි අමනුෂ්‍යයෝ යම් කෙනෙකුගේ සිත කළඹනු (තැති ගන්වනු) කැමැත්තාහු වෙත් ද ඔවුහු සුදු මුහුණ, කළු උදරය, තද රත් අත් පා, මහත හිස, දිළිසෙන ඇස් සහිත ගොර බිරම් ශරීරයක් මවා දක්වති. බියකරු ශබ්දයක් හෝ අස්වති, නැතහොත් කථා කරන්නවුන්ගේ මුඛයෙහි අත ඔබා හදවත පිරිමදිති. එයින් ඒ සත්ත්වයෝ වික්ෂිප්ත සිත් ඇති ව උමතු වෙති. ඒ අරභයා මෙසේ කී ය. පාරගංගාය දෙපයින් ගෙන තා විසි කොට යම් සේ යළි නො එන්නෙහි ද එලෙස ගඟෙන් එගොඩට හෙළමි යි කියයි. සදෙවකෙ ආදිය කියන ලද අර්ථ පරිදි ම ය. පුච්ඡ යදාකංඛසි යම් කිසිවක් කැමති වන්නෙහි ද ඒ සියල්ල අසව. ඉතිරි නො කොට විසඳන්නෙමි යි සර්වඥ උපවාරණයෙන් පැවරී ය. (ඇරයුම් කළේ ය.)
කුතො නිදානා කුමක් නිදාන කොට ඇත් ද? කුමක් ප්‍රත්‍ය කොට (හේතු කොට) ඇත් ද යන අර්ථයි. කුමාරකා ධංකමිවොස්සජන්ති යම් සේ ගම් දරුවෝ කපුටකු අල්ලා මුදා හරී ද, වීසි කරත් ද, එසේ ම පාප විතර්ක කොතැනින් හට ගැනී සිත (බැහැරට) ඇද දමත් දැයි ප්‍රශ්න කරයි.
ඉතොනිදානා මේ ආත්මභාවය ඒවාට නිදානය යි = ‘ඉතොනිදාන’ ය. ඉතොජා මේ ආත්මභාවයෙන් හට ගත්තාහු ය. ඉතො සමුට්ඨාය මනො විතක්කා යම් සේ දරුවෝ දිග නූලකින් දෙපා බැඳි කපුටකු ඒ නූල කෙළවර ඇඟිල්ලේ පටලවා ගෙන මුදා හරිත් ද, ඒ කපුටා දුරට ගොස් වුව ද යළිත් ඔවුන්ගේ පා ළඟ ම වැටෙයි ද, එසේ ම පාප සිතුවිලි මේ ආත්මභාවයෙන් ම හට ගැනී සිත ඇද දමයි.