12. ආළවක සූත්‍ර වර්ණනාව
දොළොස් වැන්නේ - ආළවියං ආළවි යනු ඒ රටත් නගරයත් (වේ); ඒ භවනය නගරයට නො දුරේ ගව්වක් පමණ වූ තැන පිහිටියේ භාග්‍යවතුන් වහන්සේ එහි වසන සේක. ඒ නගරය ඇසුරු කොට ගෙන ආළවියෙහි වසති යි කියන ලදි. ආළවකස්ස යක්ඛස්ස භවනෙ මෙහි අනුපූර්ව කථාව මෙය යි:
ආලවක රජතුමා නොයෙක් නෘත්‍ය සම්පත් හැර දමා සොරුන් වැළැක්වීම පිණිසත්, විරුද්ධ රජවරුන් වැළැක්වීම පිණිසත් ව්‍යායාම කිරීම පිණිසත්, සත් වැනි සත් වැනි දවස්වල මුව දඩයමේ යන්නේ, එක් දිනක් සේනාව සමග කථිකාවක් කර ගත්තේ ය. යම් කෙනෙකුගේ පැත්තෙන් මුවා පැන යයි ද ඔහුට ම එය භාර ය. ඉක්බිති ඔහුගේ ම පැත්තෙන් මුවා පැන දිවී ය. රජතුමා ජවසම්පන්න වූයේ දුන්න ගෙන පයින් ම යොදුන් තුන්ක ඒ මුවා ලුහු බැන්දේ ය. ඒණි මුවෝ ද යොදුන් තුනක් (දක්වා වූ) වේග ඇත්තෝ ය. ඉක්බිති පිරිහුණු ජවය ඇති, ජලය ඇති තැනකට පැමිණ සිටි ඒ මුවා මරා දෙකට කපා, මසින් තමාට වැඩක් නොමැති වුවත්, මුවා ගෙන ඒමට නො හැකි විය යන අපවාදයෙන් මිදීම පිණිස කදකින් ගෙන පැමිණෙන්නේ නගරය ආසන්නයේ බොහෝ පත්‍රවලින් සමන්විත මහත් නුග ගසක් දැක වෙහෙස නිවා ගැනීම පිණිස එහි මුලට පැමිණියේ ය. ඒ නුග ගසේ ආළවක යක්ෂයා මහරජු සමීපයෙහි භවනක් ලැබ මද්දහන වේලාවෙහි ඒ රුක් සෙවනෙහි පහස ලත් තැනට පැමිණි සතුන් අනුභව කරමින් වාසය කරයි. හේ ඔහු (රජතුමා) දැක කෑමට ළඟට පැමිණියේ ය. රජතුමා ඔහු හා කථිකාවක් කරගත්තේ ය. “මා මුදව, මම තොපට දවස දවස මිනිසෙකුත් සැළි බතකුත් එවන්නෙමි” යක්ෂයා, “ඔබ රජ සැපතින් ප්‍රමාද වූයේ සිහි නො කරන්නෙහි. මම භවනයට නො පැමිණි හා අනුමතිය නො ලත් කිසිවෙකුත් කෑමට නො ලබමි. ඒ මම ඔබ ද අත් හරින්නෙමි’යි මුදා නො හළේ ය. රජතුමා, ‘යම් දවසක නො එවන්නෙම් ද ඒ දවස මා අනුභව කරවයි තමා අනුදැන ඔහු විසින් මුදා හරින ලද්දේ නගරාභිමුඛ ව ගියේ ය.
බල සේනාව මග කඳවුරු බැඳ සිටියාහු රජතුමා දැක, ‘කිම මහරජ’ හුදු අයශ (අපකීර්ති) බයින් මෙසේ වෙහෙස වන්නාහු දැයි කියමින් ඉදිරියට ගොස් පිළිගත්හ. රජතුමා එපවත් නො දක්වා නගරයට ගොස් උදය බත අනුභව කොට නගරාරක්ෂකයා කැඳවා මේ කරුණ පැවසී ය. නගරාරක්ෂකයා, “කිම රජතුමනි, කාලපරිච්ඡේදයක් වෙන් කරන ලද දැයි විමසී ය. නො කරන ලදැයි කියයි. නුසුදුස්සක් කර ඇත. මහරජ, අමනුෂ්‍යයෝ හුදු වෙන් කරනු ලැබූවක් ම ලබත්; වෙන් නො කළ කල්හි ජනපදයට හිරිහැර වන්නේ ය. ‘දේවයිනි. වේවා! අල්පෝත්සුක වී එසේ කළේ වුව ද ඔබ වහන්සේ රජ සැප විඳිනු මැනවි. මම මෙහි දී කළ යුත්ත කරන්නෙමි’ හේ කල් ඇති ව නැගිට, බන්ධනාගාර දොරටුවෙන් සිට යමයෙම් කෙෙනක් මරණ දඬුවම ලැබිය යුත්තෙක් වෙත් ද, ඒ ඒ අයට “යමෙක් ජීවත් වීමට කැමැත්තේ නම් එළියට එවු” යි කියයි. කිසිවෙක් පළමු ව පිට වේ නම් ඔහු නිවසට ගෙන ගොස් නාවා කන්නට දී, “මේ බත් හැළිය යකුට දෙව” යි (කියා) යවයි. ඔහු රුක් මුලට පිවිසි සැණින් ම යක්ෂයා බිරම් සිරුරක් මවා අලයක් මෙන් (ඔහු) කා දමයි. යක්ෂානුභාවයෙන් මනුෂ්‍යයන්ගේ කෙස් ආදිය නිසා මුළු ශරීරය ම වෙඬරු පිඩක් මෙන් වෙයි. යකුට බත් රැගෙන ගිය මිනිස්සු එය දැක බියට පත් වූවෝ ඒ බැව් මිතුරනට දැන්වූහ. එතැන් පටන්, රජතුමා සොරුන් ගෙන යකුට දෙති යි මිනිස්සු සොරකමින් වැළකුණහ. එයින් පසු කලක අළුත් සොරුන් නො මැති බැවිනුත් පෙර සොරුන් අඩුවීම නිසාත් බන්ධනාගාර හිස් විය.
ඉක්බිති නගරාරක්ෂකයා රජුට මේ බැව් දැන්වී ය. රජු තම ධනය නගරයේ වීදිවල දැම්මවී ය.” (කැමැති) කෙනෙකු ලෝභයෙන් ගත හොත් මැනවි,” කිසිවෙක් පයින් වත් ගැසුවේ නැත. හේ සොරුන් නො ලබන්නේ ඇමතිවරුනට දැන්වී ය. අමාත්‍යවරු “පවුල් පිළිවෙලින් එක් එක් මහල්ලෙකු යවමු. ඔහු ස්වභාවයෙන් ම මරණ මාවතේ සිටින්නෙකි’ යි කීහ. රජතුමා, “අපේ පියා අපේ සීයා යවතියි මිනිස්සු කලබල කරන්නාහු ය, එය නො රුස්සව’ යි වැළැක්වී ය. එසේ නම් දේවයන් වහන්ස, උඩුකුරු ව නිදන ළදරුවකු යවමු. එබන්දකු හට මගේ මව, මගේ පියා යි ස්නේහයක් නැත’යි කීහ. රජතුමා අනුමැතිය දුන්නේ ය. ඔවුහු එසේ කළහ. නගරයෙහි දරුවන් ගෙන දරු මව්වරු ද ගර්භිනීහු ද පැන ගොස් වෙනත් ජනපදවල දරුවන් සාදාගෙන එත්. මෙසේ දොළොස් වසක් ගෙවිණි.
ඉන්පසු දිනක් මුළු නගරය ම පරීක්ෂා කොට එක ම දරුවකු හෝ නො ලැබ රජුට දැන්වූහ. දේවයිනි, ඇතුළු නුවර ඔබ වහන්සේගේ පුත් ආළවක කුමාරයා හැර වෙනත් දරුවෙකු නැත. රජතුමා “යම් සේ මගේ පුත්‍රයා ප්‍රිය වේ ද එසේ ම සියලු ලෝකයාට තමාට වැඩි ප්‍රියයකු නැත. යව්, ඔහු හෝ දී මගේ ජීවිතය ආරක්ෂාව කරවු” යි (කී ය).
ඒ වේලාවෙහි ආළවක කුමාරයාගේ මව පුතා නාවා සරසා රෙදි දරණුවේ ඔතා ඇකයෙහි නිදි කරවා සිටින්නී ය. රාජ පුරුෂයෝ රජුගේ අණින් එහි ගොස් දොළොස් දහසක් දේවීන්ගේ කිරි මව් ද සමග වැළපෙන ඇගෙන් ඔහු රැගෙන, හෙට යක්ෂයාගේ ආහාරය වන්නේ යයි පිටත් ව ගියහ.
එදින භාග්‍යවතුන් වහන්සේ උදෑසන අවදිව ජේතවන විහාරයෙහි මහ ගඳ කිළියෙහි මහා කරුණා සමාපත්තියට සම වැද බුදු ඇසින් ලොව බලන සේක්, ආළවක කුමාරයාගේ අනාගාමි ඵලයට පැමිණීමේ හා යක්ෂයාගේ සෝවාන් ඵලයෙහි පිහිටීමේ හේතුවාසනාවත්, දේශනාවසානයේ අසූ හාර දහසක් ප්‍රාණීන්ගේ ධර්ම චක්ෂු ප්‍රතිලාභයත් දුටු සේක. උන් වහන්සේ රැය පහන් වීමෙන් පසු ව පෙර බත් කිස නිමවා මැනවින් නිමවන ලද පසු බත් කිස ද ඇති සේක, කළුවර පස උපවස් දිනයෙහි හිරු බැස ගිය කල්හි. හුදෙකලා ව ම දෙවැන්නෙකු රහිත ව ම - පා-සිවුරු ගෙන පා ගමනින් ම සැවැත් නුවරින් තිස් යොදුනක් ගොස් ඒ යකුගේ භවනයට පිවිසි සේක. එහෙයින් ආළවකස්ස යක්ඛස්ස භවනෙ’යි කියන ලදි.
කිම, ආළවක යක්ෂයාගේ භවනය යම් නුග රුකක වී ද? භාග්‍යවතුන් වහන්සේ එහි මුල වැඩ සිටි සේක් ද? නැතහොත් (යක්ෂ) භවනයෙහි ම ද? භවනයෙහි ම ය. යම් සේ යක්ෂයෝ තම භවන දකිද්ද භාග්‍යවතුන් වහන්සේ ද එලෙස (සිටි සේක). උන් වහන්සේ එහි ගොස් භවන දොරටුවෙහි සිට ගත්හ. එකල්හි ආළවක හිමවතෙහි යක්ෂ සමාගමට ගියේ වේ. ඉක්බිති ආළවකගේ දොරටු පාල ‘ගද්‍රභ’ නම් යක්ෂයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, තමා අවේලාවේ පැමිණියහු දැයි විමසී ය. “ගද්‍රභය, ඔව් පැමිණියෙමි. ඉදින් ඔබට බරක් නො වන්නේ නම් ආලවකගේ භවනයෙහි එක් රැයක් වසන්නෙම් ද?” “ස්වාමීනි, මට බරක් නැත. එසේ වුවත් ඒ යක්ෂයා කර්කෂය, පරුෂය, මව් පියාදීන්ට වත් වැඳීම් ආදියක් නො කරයි. භාග්‍යවතුන් වහන්සේට මෙහි වාසය රුචි නො වේවා” “ගද්‍රභය, ඔහුගේ ස්වභාවය දනිමි. මට කිසි අනතුරක් නො වන්නේ ය. ඉදින් ඔබට බරක් නො වන්නේ නම් එක් රැයක් හිඳින්නෙමි’යි.