3. විත්ත සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - සද්ධීධ විත්තං යම් හේතුවකින් ශ්‍රද්ධාවෙන් මුතු මැණික් ආදියත් ධනයත් ලබයි ද, කුලසම්ප්‍රදායන් තුන ද, කාමස්වර්ග හය ද, නව බ්‍රහ්ම ලෝකයට ද පැමිණ, අවසානයේ අමෘත මහා නිර්වාණ දර්ශනය ද ලබයි ද, එබැවින් මිණි මුතු ආදි ධනයෙන් ශ්‍රද්ධා ධනය ම ශ්‍රේෂ්ට වෙයි. ධම්මො දශකුශල කර්ම පථය යි. සුඛමාවහාති සාසව අනාසව (කිළිටි නො කිළිටි) සියලු ම සැප ගෙන එයි. සාදුතරං ලෝකයෙහි ලුණු ඇඹුල් ආදි සියලු රසවලින් සත්‍යය ම වඩා මිහිරි ය. සත්‍යයෙහි පිහිටියෝ ශීඝ්‍රවේගය ඇති ගඟ ද නවතා ලත්, විෂ ද යටපත් කරත්. ගිනි ද වළක්වත්, වැසි ද වස්වත්, එහෙයින් එය සියලු රසයන් අතර මධුරතර ය යි කියන ලදි. පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨං යම් නුවණින් ජීවත් වන්නෙක් ගිහියෙකු ව සිටින්නේ පංච ශීලයෙහි පිහිටා, සලාක බත් (කුසපත් ඇදීමෙන් බෙදන ආහාර) ආදියෙහි පිහිටා ප්‍රඥාවෙන් ජීවත් වෙයි ද? පැවිදි වූයේ හෝ දැහැමින් ලත් ප්‍රත්‍යය මෙය අර්ථය (ධනය) යි මෙනෙහි කොට වළඳන්නේ කර්මස්ථානයක් ගෙන විදර්ශනාවෙහි පිහිටා ආර්ය ඵල ලැබීම් වශයෙන් ප්‍රඥාවෙන් ජීවත් වෙයි ද, ඒ ප්‍රඥාවෙන් ජීවත් වන පුද්ගලයා ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරති යි කීහ.
තුන් වන සූත්‍රය යි.
4. වුට්ඨි සූත්‍ර වර්ණනාව
සතර වැන්නෙහි - බීජං (පොළවෙන්) ඉහළට මතුවන දෑ අතුරින් සප්තවිධ වූ ධාන්‍ය බීජ ශ්‍රේෂ්ඨ ය. එය මතු වූ කල්හි ජනපදය ක්‍ෂේම වෙයි. සුභික්ෂ වෙයි. නිපත්තං පහළට වැටෙන දෑ අතරින් වැස්ස ශ්‍රේෂ්ඨ ය. පවජමානානං ජංගම වූ පයින් ඇවිදින්නන් අතර ගාවො (ගවයෝ) ශ්‍රේෂ්ඨ ය. ඔවුන් හේතු කොට ගෙන මිනිස්සු පස්ගෝ රස පරිභෝජනය කරමින් සැපසේ ජීවත් වෙති. පවදතං රජ පවුල මධ්‍යයේ ආදි තැන්වල කථා කරන්නන් අතර පුත්තො පුත්‍රයා උතුම් ය. හේ මව්පියන්ට අනර්ථයක් ගෙන දෙන දෙයක් නො කියයි.
විජ්ජා උප්පත්තං සෙට්ඨො මුලින් ආ ප්‍රශ්න අසා අසළ සිටි එක් දේවතාවෙක් “දේවතාවනි, ඔබ කුමක් නිසා මේ ප්‍රශ්නය බුදුන්ගෙන් විමසන්නෙහි ද? මම ඔබට කියා දෙන්නෙමි යි තමාගේ ලබ්ධියෙන් ප්‍රශ්නය විසඳී ය. ඉක්බිති අනික් දේවතාවා ඔහුට මෙසේ පැවසී ය. දේවතාවනි, නැසෙන්නක් කියහි, මුඛරිබවක් කුමට ද? මම ම භාග්‍යවත් බුදුන් වහන්සේගෙන් විමසමි. ඔබ කුමක් නිසා මා වෙනුවෙන් කථා කරන්නෙහි දැයි නවත්වා ඒ ප්‍රශ්නය ම බුදුන් වහන්සේගෙන් විමසුවේ ය. එය ඔහුට විසඳමින් ශාස්තෲන් වහන්සේ විජ්ජා උප්පත්තං යනාදිය පැවසූ සේක. එහි විජ්ජා යනු මාර්ග සතර පිළිබඳ විද්‍යාව යි. එය ඉහළ නැගෙන්නේ සියලු අකුසල ධර්මයන් මුලිනුපුටා දමයි. එහෙයින් උප්පත්තං සෙට්ඨා (නැග එන්නන් අතර ශ්‍රේෂ්ඨ ය) යි කියන ලදි. අවිජ්ජා සංසාර (වට්ට) මූලක වූ මහා අවිද්‍යාව, එය පහත වැටෙන්නන්, කිඳා බසින්නන් අතර වරා (උතුම් ය). පවජමානානං පයින් ඇවිදින්නන් අතර ජංගමවූවන් අතර පුණ්‍යක්‍ෂේත්‍රභූත වූ මහා සංඝයා උතුම් ය. උන්වහන්සේ ඒ ඒ තැන දැක පහන් සිත් (ඇති කර) ගත් සත්ත්වයෝ සැපයට පැමිණෙත්. බුද්ධො කවර ආකාරයේ පුතකු හෝ අන්‍යයෙකු හෝ වේවා කථා කරන අය අතුරින් බුදුන් වහන්සේ වරො (ශ්‍රේෂ්ඨ ය), උන්වහන්සේගේ ධර්ම දේශනාවට පැමිණ නොයෙක් දහස් ගණන් ප්‍රාණීන් හට බැඳුම්වලින් මිදීම (නිවන) වන්නේ ය.
සිවු වැනි සූත්‍රය යි.
5. භීත සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - කිංසුධ භීතා කුමට බිය වූවාහු ද? මග්ගො ච නෙකායතනං පවුත්තො අටතිස් අරමුණු වශයෙන් නොයෙක් කරුණුවලින් (මාර්ගය) ප්‍රකාශ කරන ලදි. එසේ තිබියදී කුමට බිය වී මේ ජනතාව දෙසැටක් දෘෂ්ටි ගත්තාහු දැයි පවසයි. භූරිපඤ්ඤ බහු පඤ්ඤ (බොහෝ ප්‍රඥා ඇත්තාණනි,) දස්සන පඤ්ඤ (දර්ශන ප්‍රඥා ඇත්තාණනි), උස්සන්නපඤ්ඤ (උත්සන්න වූ ප්‍රඥා ඇත්තාණනි), පරලොකං න භායෙ මේ ලොවින් පරලොව යාමට බිය නො විය යුත්තේ ය. පණිධාය පිහිටුවා බහ්වන්නපානං ඝරමාවසන්තො අනේපිඬු සිටු ආදීන් මෙන් බොහෝ ආහාර පාන ඇති ගෙවල වසන්නෝ, සංවිභාගී දෑඟිලි තුඩුවලින් ගත් දේ පවා නියෙන් පලා අනුන්ට දී අනුභව කරන. වදඤ්ඤු කියන ලද අර්ථය ම ය.