3. ජටා සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි : ‘අන්තො ජටා’ යන ගාථාවෙහි අර්ථය මෙසේ ය: ‘ජටා’ යනු තෘෂ්ණාවට (ජාලිනී = තෘෂ්ණාව) සමාන වචනයකි. එය රූපාදී ආරම්මණවල ඉහළ පහළ වශයෙන් යළි යළිත් උපදවන බැවින් එකට කර මසන (ගොතන) ලද අර්ථයෙන් - උණ පඳුරු ආදියෙහි අතුවලින් ගෙතුණු දැලක් මෙන් යි = ජටා. ඒ (තෘෂ්ණා) තොමෝ ස්වකීය පරිෂ්කාරවල, අන්‍ය පරිෂ්කාරවල, ස්වකීය ආත්මභාවවල, අන්‍ය ආත්ම භාවවල, අධ්‍යාත්මික ආයතනවල, බාහිර ආයතනවල උපදවන බැවින් ‘අන්තො ජටා බහි ජටා’ යි කියනු ලැබේ. ඇය (තණ්හාව) විසින් උපදවනු ලබන දැලෙන් ප්‍රජාව වෙළී-පැටලී සිටියි. යම් සේ උණ ගස්වල අතු ඉති දැලෙන් උණ ගස් ආදිය (පැටලී ඇත්තා සේ) ඒ තෘෂ්ණා දැලෙන් මේ සියලු ම සත්ත්ව නිකාය සංඛ්‍යාත ප්‍රජාව ද පැටලී ඇත්තේ ය, වෙළන ලද්දේ ය, ගොතන ලද්දේ ය යන අර්ථ යි. යම් හෙයකින් මෙසේ වෙළී ඇත්තේ ද, ‘තං තං ගොතම පුච්ඡාමි’ එහෙයින් එය විමසමි. ‘ගොතම’ භාග්‍යවතුන් වහන්සේ ගෝත්‍ර නාමයෙන් ආමන්ත්‍රණය කරයි. ‘කො ඉමං විජටයෙ ජටං’ මෙසේ වෙළාගෙන සිටින තෙධාතුක වෙළුම - අවුල - කවරෙක් ලිහයි ද? නිරවුල් කිරීමට කවරෙක් සමත් වේ දැ යි විමසයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එහි අර්ථය පහදා දෙන සේක් ‘සීලෙ පතිට්ඨාය’ ආදිය වදාළ සේක. එහි ‘සීලෙ පතිට්ඨාය’ යනු චතුපාරිශුද්ධ ශීලයෙහි පිහිටා; මෙහි ද භාග්‍යවතුන් වහන්සේ දැල (අවුල) ලිහීම ගැන ප්‍රශ්න කරනු ලැබූ සේක් ශීලය ආරම්භ කරමින් එකක් අසන ලදුව වෙනෙකක් පවසතැයි නො දත යුතු ය. අවුල ලිහීමෙහි පදනම් අර්ථයෙන් ම ‘ශීලය’ වදාරන ලදි.
‘නරො’ සත්ත්වයා, ‘සපඤ්ඤො’ කර්මජ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ප්‍රඥාවෙන් ප්‍රඥාවන්ත වූ ‘චිත්තං පඤ්ඤඤ්ච භාවයං’ සමාධියත් විපස්සනාවත් වඩන්නේ; චිත්ත මාතෘකාවෙන් මෙහි අෂ්ට සමාපත්තිය දක්වන ලදි. ‘පඤ්ඤා’ නාමයෙන් ‘විදර්ශනාව’ (දක්වන ලදි). ‘ආතාපි’ වීර්යවන්ත වූ, වීර්යය වූ කලී කෙලෙස් තවන - දවන අර්ථයෙන් ‘ආතාපි’ යි කියනු ලැබේ. එය ඔහුට ඇතැයි ‘ආතාපි’ වේ. ‘නිපකො’ නෙපක්ක යනු ප්‍රඥාව ය; එයින් යුක්ත වූයේ ය යන අරුත යි. මේ පදයෙන් පාරිහාරිය ප්‍රඥාව පෙන්වා ලයි. ‘පාරිහාරිය ප්‍රඥාව’ නම්; මේ උද්දේසයට (බණ ඉගෙනීමට) සුදුසු කාලය යි. මේ ප්‍රශ්න විචාරීමට සුදුසු කාලය යි ආදී ක්‍රමයට සැම තන්හි කටයුතු කිරීමට සැකසුණු ආරක්ෂා කළ යුතු ප්‍රඥාව යි. මේ ප්‍රශ්න විසඳුමෙහි තෙවරක් ‘ප්‍රඥාව’ සඳහන් වූයේ වෙයි. එහි ප්‍රථමය ජාති පඤ්ඤා ය; දෙවැන්න විපස්සනා පඤ්ඤා ය; තෙවැන්න සබ්බකිච්ච පරිනායිකා පාරිහාරිය පඤ්ඤා ය.
‘සො ඉමං විජටයෙ ජටං’ මේ ශීලාදියෙන් සමන්විත වූ භික්‍ෂුව, යම් සේ පුරුෂයෙක් පොළවෙහි සිට ගෙන මනා කොට මුවහත් කළ ආයුධයක් ඔසවා මහත් උණ පඳුරක වෙළු හරින්නේ ද එලෙස ශීලයෙහි පිහිටා සමාධි තලයෙහි නියුතු මුවහත ඇති විදර්ශනා ප්‍රඥා නමැති ආයුධය වීර්යය බලයෙන් දැඩි ලෙස අල්ලා ගත් පාරිහාරිය ප්‍රඥා හස්තයෙන් ඔසවා තම සන්තානයෙහි ඇති සියලු තණ්හා වෙළු හරී, මැනවින් කපා හරී, දෙපළු කරයි.
මෙපමණකින් සේඛ භූමිය (රහත් ඵලය හැර ඉතිරි මග පල) විස්තර කොට, දැන් වෙළු (අවුල්) නිරවුල් කර සිටින මහා ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ දක්වන සේක්, ‘යෙසං’ ආදිය වදාළසේක. මෙසේ අවුල් නිරවුල් කොට සිටි ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ දක්වා යළි අවුලෙහි නිරවුල් වන අවස්ථාව දක්වන්නෝ ‘යත්‍ථ නාමඤ්ච’ ආදිය වදාළ සේක. එහි ‘නාමං’ අරූපි ස්කන්ධ සතර ය. ‘පටිඝං රූපසඤ්ඤා’ මෙහි ප්‍රතිඝ සංඥා වශයෙන් කාම භවය ගන්නා ලදි. රූප සංඥා වශයෙන් රූප භවය යි. ඒ දෙක ගත් කල්හි භව සංක්‍ෂේපයෙන් අරූප භවය ගන්නා ලද්දේ ම ය. ‘එත්‍ථෙසා ඡිජ්ජතෙ ජටා’ මෙහි තෙභූමක සංසාරය අවසන් කරන තන්හි ජටා (දැල) සිඳියි. නිවනට පැමිණ සිඳ ලයි නිරුද්ධ වෙයි යන මේ අර්ථය දක්වන ලද්දේ වෙයි.
තුන් වැනි සූත්‍රය යි.
4. මනෝනිවාරණ සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි : ‘යතො යතො’ පාපයෙන් හෝ යහපත් බවින් හෝ; මේ දේවතාවා වනාහි කුශලාකුශල ආදී ප්‍රභේද සහිත ලෞකික වූ හෝ ලෝකෝත්තර වූ යම් කිසි මනසක් වේ ද එය වැළැක්විය යුත්තේම ය, ඉපදවිය යුතු නො වන්නේ ය යන ලබ්ධිය ඇත්තෙකි. ‘ස සබ්බතො’ = සො සබ්බතො (ඔහු සියල්ලෙන්); ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ දේවතාවා අනීය්‍යානික (අනෛර්යානික) කථාවක් කරයි, සිත වැළැක්විය යුතු වූවක් ද වේ, වැඩිය යුත්තක් ද වේ, විභජනය කොට මැයට දක්වන්නෙමි යි සිතා දෙවැනි ගාථාව වදාළ සේක. එහි ‘මනො යතත්තමාගතං’ ‘න සබ්බතො මනො නිවාරයෙ’ (සියල්ලෙන් සිත නො වළකන්නේ ය) යි යමක් පවසන ලද ද සියල්ලෙන් නො වැළැක්විය යුත්තේ යම් සිතක් ද ඒ කවරක් ද? ‘මනො යතත්තමාගතං’ සංයත භාවයට පැමිණි යම් සිතක් - ‘දන් දෙන්නෙමි, සිල් රකින්නෙමි’ ආදී ක්‍රමයෙන් - උපන්නේ ද ඒ සිත නො වැළැක්විය යුත්තේ ය. ඒකාන්තයෙන් ම යළි යළිත් වැඩිය යුතු ය, ප්‍රවර්ධනය කළ යුතු ය. ‘යතො යතොව පාපකං’ යම් මේ ලෙසකින් අකුශලය උපදී ද ඒ ඒ දෙයින් එය (සිත) වැළැක්විය යුත්තේ ය.
සතර වැනි සූත්‍රය යි.
5. අරහන්ත සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි : ‘කතාවී’ මාර්ග සතරින් කරන ලද කෘත්‍යය ඇත්තේ ‘අහං වදාමි’ මේ දේවතාවිය වන ලැහැබ්හි වසන්නී ආරණ්‍යවාසී භික්‍ෂූන්ගේ ‘මම අනුභව කරමි, මම හිඳ ගනිමි, මගේ පාත්‍රය මගේ සිවුර’ ආදී කථා ව්‍යවහාරය අසා (මෙසේ) සිතුවා ය. ‘මම මේ භික්‍ෂූන් ක්‍ෂීණාශ්‍රවයන් හැටියට සළකමි. ක්‍ෂීණාශ්‍රවයන් හට මේ ආකාරයේ සත්ත්ව උපලබ්ධි නිඃශ්‍රිත කථාවක් වේ ද? නො වේ ද?’ එය දැන ගන්නා අටියෙන් ප්‍රශ්න කරයි.