4. මනෝනිවාරණ සූත්ර වර්ණනාව
සිවු වැන්නෙහි : ‘යතො යතො’ පාපයෙන් හෝ යහපත් බවින් හෝ; මේ දේවතාවා වනාහි කුශලාකුශල ආදී ප්රභේද සහිත ලෞකික වූ හෝ ලෝකෝත්තර වූ යම් කිසි මනසක් වේ ද එය වැළැක්විය යුත්තේම ය, ඉපදවිය යුතු නො වන්නේ ය යන ලබ්ධිය ඇත්තෙකි. ‘ස සබ්බතො’ = සො සබ්බතො (ඔහු සියල්ලෙන්); ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ දේවතාවා අනීය්යානික (අනෛර්යානික) කථාවක් කරයි, සිත වැළැක්විය යුතු වූවක් ද වේ, වැඩිය යුත්තක් ද වේ, විභජනය කොට මැයට දක්වන්නෙමි යි සිතා දෙවැනි ගාථාව වදාළ සේක. එහි ‘මනො යතත්තමාගතං’ ‘න සබ්බතො මනො නිවාරයෙ’ (සියල්ලෙන් සිත නො වළකන්නේ ය) යි යමක් පවසන ලද ද සියල්ලෙන් නො වැළැක්විය යුත්තේ යම් සිතක් ද ඒ කවරක් ද? ‘මනො යතත්තමාගතං’ සංයත භාවයට පැමිණි යම් සිතක් - ‘දන් දෙන්නෙමි, සිල් රකින්නෙමි’ ආදී ක්රමයෙන් - උපන්නේ ද ඒ සිත නො වැළැක්විය යුත්තේ ය. ඒකාන්තයෙන් ම යළි යළිත් වැඩිය යුතු ය, ප්රවර්ධනය කළ යුතු ය. ‘යතො යතොව පාපකං’ යම් මේ ලෙසකින් අකුශලය උපදී ද ඒ ඒ දෙයින් එය (සිත) වැළැක්විය යුත්තේ ය.
සතර වැනි සූත්රය යි.
5. අරහන්ත සූත්ර වර්ණනාව
පස් වැන්නෙහි : ‘කතාවී’ මාර්ග සතරින් කරන ලද කෘත්යය ඇත්තේ ‘අහං වදාමි’ මේ දේවතාවිය වන ලැහැබ්හි වසන්නී ආරණ්යවාසී භික්ෂූන්ගේ ‘මම අනුභව කරමි, මම හිඳ ගනිමි, මගේ පාත්රය මගේ සිවුර’ ආදී කථා ව්යවහාරය අසා (මෙසේ) සිතුවා ය. ‘මම මේ භික්ෂූන් ක්ෂීණාශ්රවයන් හැටියට සළකමි. ක්ෂීණාශ්රවයන් හට මේ ආකාරයේ සත්ත්ව උපලබ්ධි නිඃශ්රිත කථාවක් වේ ද? නො වේ ද?’ එය දැන ගන්නා අටියෙන් ප්රශ්න කරයි.
‘සමඤ්ඤං’ ලෝක නිරුක්ති; ලෝක ව්යවහාරය; ‘කුසලො’ ස්කන්ධ ආදියෙහි දක්ෂ වූ; ‘වොහාරමත්තෙන’ උපලබ්ධි නිඃශ්රිත කථාව හැර දමා ව්යවහාරයේ වෙනසක් නො කරමින් ‘මම, මගේ’ යි කියයි ද, “ස්කන්ධයෝ අනුභව කරති, ස්කන්ධයෝ හිඳ ගනිති, ස්කන්ධයන්ගේ පාත්රය, ස්කන්ධයන්ගේ චීවරය” යි කී කල්හි ව්යවහාර වෙනසක් වෙයි. කිසිවෙක් තේරුම් ගන්නේ ද නැත. එහෙයින් එසේ නො කියා ලෝක ව්යවහාරයෙන් ව්යවහාර කරති.
ඉක්බිති දේවතාවිය ස්වකීය දෘෂ්ටිය වශයෙන් කියයි ද මාන වශයෙන් පවසයි ද යි සිතා යළිත් ‘යො හොති’ යි විචාළා ය. එහි ‘මානං නු ඛො’ ඒ භික්ෂුව මානයට පැමිණ මාන වශයෙන් පවසන්නේ නො වේද? ඉක්බිති, භාග්යවතුන් වහන්සේ මේ දේවතාවිය ක්ෂීණාශ්රවයන් හා සමාන බවක් කරති යි සිතා ක්ෂීණාශ්රවයන්ගේ නව විධ වූ මානය ද ප්රහීණ වී ඇතැයි දක්වන්නාහු යළි ගාථාවක් වදාළ සේක. එහි ‘විධූපිතා’ නසන ලද්දේ ය. ‘මානගන්ථස්ස’ ‘මානා ච ගන්ථා ච අස්ස’ (මානයත් ගැටත් වේ.) මාන - මඤ්ඤනා; ත්රිවිධ වූ තෘෂ්ණා දෘෂ්ටි මාන යනාදිය මඤ්ඤනා ය. හේ ඒවා ඉක්ම වූයේ ය, අතික්රාන්ත වූයේ ය යන අරුත යි. සෙස්ස පෙර කියන ලද පරිදි ම ය.
පස් වැනි සූත්රය යි.
6. පජ්ජොත සූත්ර වර්ණනාව
සය වැන්නෙහි : ‘පුට්ඨුං’ ප්රශ්න කිරීමට; ‘කථං ජානෙමු’ කෙසේ දැන ගනිමු ද? ‘දිවාරත්තිං’ දවල් ද රෑ ද ‘තත්ථ තත්ථ’ යම් යම් තැනක බබළන ලද ද ඒ ඒ තැන්වල ‘එසා ආභා’ ඒ බුද්ධාලෝකය; එය කුමක් ද? ඤාණාලෝකය හෝ වෙයි; ප්රීති ආලෝකය හෝ (වෙයි); ප්රසාද ආලෝකය හෝ (වෙයි); ධර්ම කථා ආලෝකය හෝ (වෙයි); මේ සියල්ල බුදුන් වහන්සේලාගේ පහළ වීමත් සමග උපන් ආලෝකය ‘බුද්ධාභා’ නමි. මෙය ‘අනුත්තරා’ සර්ව ශ්රේෂ්ඨ වූ අසදෘශ වූ යනු යි.
සය වැනි සූත්රය යි.
7. සර සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි : ‘කුතො සරා නිවත්තන්ති’ මේ සංසාර විල් (ප්රවාහයෝ) කොහි නවතිත් ද? කුමකට පැමිණ (ඉන් ඔබ්බට) නො පවතිත් ද? යනු අර්ථය යි. ‘න ගාධති’ නො පිහිටයි. ‘අතො’ නිර්වාණයෙන් අනතුරුව සෙස්ස කියන ලද අර්ථ පරිදි ය.
සත් වැනි සූත්රය යි.
8. මහද්ධන සූත්ර වර්ණනාව
අටවැන්නෙහි: නිධන්ගත වූ මුතුහර ආදි මහත් ධනය මොවුනට ඇතැයි මහද්ධනා. රන් රිදී බඳුන් ආදී මහාභෝග මොවුනට ඇතැයි මහාභෝගා ‘අඤ්ඤමඤ්ඤාභිගිජ්ඣන්ති’ ‘අඤ්ඤමඤ්ඤං’ ඔවුනොවුන් ‘අභිගිජ්ඣන්ති’ පතති, කැමති වෙති. ‘අනලඞ්කතා’ තෘප්තියට පත් නො වූවාහු, සෑහීමට පත් නො වූවාහු ‘උස්සුක්කජාතෙසු’ නානා විධ ක්රියා හටගත් කල්හි; නූපන් රූප ආදිය ඉපදවීම පිණිස, උපන් ඒවා පරිභෝග කිරීම පිණිස උත්සාහවන්ත වූ කල්හි; ‘භවසොතානුසාරිසු’ සසර නමැති සැඩ පහර අනුව ගමන් කරන කල්හි ‘අනුස්සුකා’ උත්සාහ රහිත වූ ‘අගාරං’ ගැහැණිය සමග ගෘහය ‘විරාජිය’ හැර දමා (නසා) සෙස්ස කියන ලද පරිදි ම ය.
අට වැනි සූත්රය යි.