10. සමිද්ධි සූත්ර වර්ණනාව
දස වැන්නෙහි ‘තපොදාරාමෙ’ ‘තපොද’ රත් වූ ජලය ඇති පොකුණ වශයෙන් මෙසේ නම් ලද ආරාමයෙහි, වේභාර පර්වතයෙන් පහත බූමාටු නාගයන්ගේ පන් සියයක් යොදුන් වූ දෙව් ලොවට සමාන මිණිමුවා තලයකින් ද ආරාම උද්යානවලින් ද සමන්විත වූ නාග භවනකි. එහි නාගයන්ගේ කෙළි බිමෙහි මහා විලකි. එහි තපෝදා නම් ගඟ රත් වූයේ උණු දිය ඇති ව ගලයි. එය එලෙස වූයේ කිම? රජගහ නුවර වට කොට මහා ප්රේත ලෝකය තිබේ. එහි මහ ලොහොකුඹු නිර දෙක අතරින් මේ තපෝදා (නදිය) පැමිණෙයි. එහෙයින් උණු වී ගලයි. එය ද කියන ලද්දේ වේ:
‘යතොයං භික්ඛවෙ තයොදා සන්දති සො රහදො අච්ඡොදකො සාතොදකො සීතදකො සුපතිත්ථො රමණීයො පහූතමච්ඡකච්ඡපො චක්කමත්තානි පදුමානි පුප්ඵන්ති, අපි චායං තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති, තෙනායං තපොදා කුථීතා සන්දති’ (මහණෙනි, මේ තපෝදා නදිය යම් තැනක සිට ගලයි ද, ඒ විල පිරිසිදු ජලය ඇත්තේ, ප්රසන්න දිය ඇත්තේ, සීත දිය ඇත්තේ, මනහර ඉවුරු ඇත්තේ රමණීය ය; බොහෝ මත්ස්යයන් ඉදිබුවන් සහිත ය. රිය සක තරම් මහත් වූ පියුම් පිපේ. එසේ වුව ද මේ තපෝදා නදිය මහා නිරය දෙකක් මැදින් එයි. එහෙයින් මේ තපෝදා නදිය උණු වී (රත් වී) ගලයි.)
මේ ආරාමයට අභිමුඛ ස්ථානයෙහි එයින් ම විලක් හට ගත්තේ ය. ඒ හේතුවෙන් මේ විහාරය තපෝදාරාමය යි කියනු ලැබේ
‘සමිද්ධි’ ඒ තෙරුන්ගේ ආත්ම භාවය සමෘද්ධි විය. මනරම් ය; ප්රසාද ජනක ය. එහෙයින් ‘සමිද්ධි’ යනුවෙන් ප්රසිද්ධියට පත් විය. ‘ගත්තානි පරිසඤ්චිතුං’ දැහැන් වඩන තෙරුන් වහන්සේ ඉතා උදයෙන් ම ආසනයෙන් නැගිට ශරීරය ඍතුවට ගන්වා (සිරුර දියෙන් පිවිතුරු කොට) බැහැර රියන් හැටක් පමණ වූ මහා සක්මනෙහි ඉහළ පහළ සක්මන් කොට ඩහදිය වැකුණු ගාත්රවලින් යුතු ව පරිහරණය කළොත් සේනාසනය කිළිටි වෙතැයි සිතන්නේ ගාත්රයන් පිරිසුදු කරනු පිණිස - ශරීර ධෝවනය කරනු පිණිස - පැමිණියේ ය. ‘එකචීවරො අට්ඨාසි’ හඳන සිවුර හැඳ බඳ පටියෙන් බැඳ සිවුර අතින් ගෙන සිටියේ ය.
‘ගත්තානි පුබ්බාපයමානො’ ගාත්ර මුලින් තිබුණු ආකාරයට තෙත සිඳුවමින් සිටින්නේ; තෙත වූ ශරීරයෙහි පොරවන ලද සිවුර කිලිටි වෙයි, දුර්ගන්ධ වෙයි. එය ව්රතය ද නො වේ. තෙරුන් වහන්සේ ව්රත සමාදන් වූයේ එහෙයින් ව්රතයෙහි සිටිමින් ම ස්නානය කොට ඉන් ගොඩට පැමිණ සිටියේ ය. එහි ස්නානය කිරීමේ චාරිත්රය මෙය යි: නාන තොටුපොළට ගොස් ඒ ඒ තැන සිවුරු දමා, වේගයෙන් සිට ගෙන ම නො බැසිය යුතු ය. සැම පැත්ත ම බලා වෙන්වුණු (හුදෙකලා) බව දැන කණු ලැහැබ් වැල් ආදිය තීරණය කොට තෙවරක් කාරා මුණින් අතට සිට උතුරු සළු සිවුර ඉවත් කොට දිගහැරිය යුතු ය. බඳ පටිය ගලවා සිවුර මත ම තැබිය යුතු ය. ඉදින් නානකඩක් නොමැත්තේ නම් දිය කෙළවර උක්කුටික ව හිඳ අඳනය ගලවා නිම්න ස්ථානයක් (පහත් තැනක්) ඇත්නම් එහි දිග හැරිය යුතු ය. (එවැන්නක්) නොමැත්තේ නම් අකුළා තැබිය යුතු ය. දියට බසින්නහු විසින් නො පමා ව නාභි ප්රමාණයට පමණක් බැස රැලි නො නංවමින් හඬ නො නඟමින් ආපසු හැරී පැමිණි දෙසට මුහුණ ලා ගිලිය යුතු ය. මෙසේ (කළ විට) සිවුර ආරක්ෂා වන්නේ වේ. උඩට ඉල්පෙන්නේ වුව ද ශබ්ද නො කරමින් වහා ඉල්පී ස්නානය අවසානයේ දිය කෙළවර උක්කුටිකයෙන් හිඳ හඳනය ඇඳ නැගිට මනා සේ වට කොට හැඳ බඳ පටිය බැඳ සිවුර නො පොරවා ම සිටිය යුතු වේ.
තෙරුන් වහන්සේ ද එසේ ස්නානය කොට ගොඩට විත් වේලෙන දිය සහිත කය දෙස බලමින් සිටි සේක. ප්රකෘතියෙන් ම පැහැපත්, හිමිදිරි කාලයෙහි මනා සේ දිරවූ ආහාර ඇති, උණු දියෙන් ස්නානය කළ උන් වහන්සේගේ මුවෙහි පැහැය අතිශයින් බැබළිණි. නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියක් මෙන් ද ප්රභා සම්පන්න පූර්ණ චන්ද්රයා මෙන් ද විය. ඒ මොහොතේ පිබිදුණු පියුමක් මෙන් මුඛය සසිරිමත් විය. ශරීර වර්ණය ද පැහැපත් විය. ඒ අවස්ථාවේ වන ලැහැබේ අරක් ගත් බූමාටු දේවතාවිය පැහැ බරින් යුත් භික්ෂූන් වහන්සේ දෙස බලන්නී ශ්රමණයන් හට නිග්රහ කිරීමට අපොහොසත් වූවා, කාම පරිළාහයෙන් මැඬ පැවැත්වූවා. තෙරුන් පොළඹවා ගන්නෙමි යි තමාගේ ආත්ම භාවය (කය) ඉමහත් අලංකාරයෙන් අලංකාර කොට, සහස් වැටි පහනක් දල්වන්නාක් මෙන් ද චන්ද්රයා උදා කරවා ගෙන එන්නාක් මෙන් ද මුළු ආරාමය ම ඒකාලෝක කොට තෙරුන් වෙත පැමිණ නො වැඳ ම අහසේ සිටිමින් ගාථාවක් කීවා ය. එහෙයින් කියන ලදී. ‘අථඛො අඤ්ඤතරා දෙවතා -පෙ- අජ්ඣභාසි’ (ඉක්බිති එක්තරා දේවතාවියක් ..... පැවසුවා ය.)
‘අභූත්වා’ පඤ්ච කාම ගුණය පරිභෝජනය නො කොට; ‘භික්ඛසි’ පිඬු පිණිස හැසිරෙන්නෙහි. ‘මා තං කාලො උපච්චගා’ මෙහි ‘කාලො’ නම් පඤ්ච කාම ගුණය සේවනය කිරීමට සමත් යොවුන් විය ය. ජරා ජීර්ණ වූ, කුදු ගැසුණු, සැරමිටි වාරුව ඇති, වෙවුළන, කාසයෙන් මැඩ පැවැත්වුණු තැනැත්තකු විසින් කාමයන්හි රස විඳීමට නො හැක්කේ ය. මෙසේ මේ කාලය අරභයා දේවතාවිය ‘මා තං කාලො උපච්චගා’ යි කීවා ය. එහි ‘මා උපච්චගා’ ඉක්ම නො යාවා
‘කාලං වොහං න ජානාමි’ එහි ‘වො’ යනු නිපාත මාත්රයකි. ‘කාලය නො දනිමි’ යි මරණ කාලය දක්වනු පිණිස කියයි. සත්ත්වයන්ගේ වනාහි:
“ජීවිතං ව්යාධි කාලො ච දෙහනික්ඛෙපනං ගති
පඤ්චෙතෙ ජීවලොකස්මිං අනිමිත්තා න ඤායරෙ”
පඤ්චෙතෙ ජීවලොකස්මිං අනිමිත්තා න ඤායරෙ”
(ජීවිතය, ව්යාධිය, (මැරෙන) කාලය, මරණය, (මරණින්) මතු යන තැන යන මේ පහ ජීව ලෝකයෙහි නිමිති නොමැති ඒවා ය. නො දත හැක්කේ ය.)
එහි ජිවිතය “මෙතෙක් පමණි. මින් ඉදිරියට නැතැයි නියම කළ නො හැකි බැවින් අනිමිත්ත’ ය. කලල කාලයෙහි ද සත්ත්වයෝ මැරෙති, අර්බුද, පෙශි, ඝන, මාසය, දෙමස, තුන් මස, සිව් මස, පස් මස, දස මස කාලයෙහි ද, කුසෙන් බිහිවන කාලයෙහි ද ඉන් පසු වසර සියයක් ඇතුළත හෝ ඉන් අනතුරු ව ද මැරෙත් ම ය. ව්යාධිය ද “මේ ව්යාධියෙන් (පමණක්) ම සත්ත්වයෝ මැරෙති, වෙනෙකකින් නො වේ” යි නියම කළ නො හැකි බැවින් ‘අනිමිත්ත’ වේ. ඇස් රෝගවලින් ද සත්ත්වයෝ මැරෙති, කන් රෝග ආදියෙන් හෝ මැරෙති; කාලය ද “මේ කාලයෙහි ම මළ යුතු ය, වෙනත් කාලයක නො වේ” යි මෙසේ නියම කළ නො හැකි බැවින් ‘අනිමිත්ත’ වේ. පෙරවරුයෙහි දී ද සත්ත්වයෝ මැරෙති, මද්දහන, සවස් ආදී වෙනත් අවස්ථාවක දී ද මැරෙති. මිය යාම ද “මෙහි ම මිය යන්නවුන්ගේ දේහය බහා ලිය යුතු ය, වෙනත් හැටියකට නො වේ” යි මෙසේ නියම කළ නො හැකි බැවින් ‘අනිමිත්ත’ වේ. ගම ඇතුළත උපන්නවුන්ගේ ආත්ම භාවය (සිරුර) ගමෙන් බැහැර ව ඇද වැටෙයි, ගමෙන් පිට උපන්නවුන්ගේ (ආත්ම භාවය) ගම තුළ වැටේ. එසේ ම ගොඩ බිමේ උපන්නවුන් ජලයෙහි ද, ජලයෙහි උපන්නවුන් ගොඩ බිමෙහි ද යනුවෙන් අනේක ප්රකාර ලෙස විස්තර කළ යුතු ය. “ගති’ (යන තැන) ද මෙයින් චුත ව මෙහි ඉපදිය යුතු ය යනුවෙන් මෙසේ නියම කළ නො හැකි බැවින් ‘අනිමිත්ත’ වේ. දෙව් ලොවින් චුත වූවෝ මිනිසුන් අතර ද පහළ වෙති, මිනිස් ලොවින් චුත වූවෝ දෙව් ලොව ආදී කොතැනක හෝ පහළ වෙති. මෙසේ යන්ත්රයෙහි යෙදූ ගොනා මෙන් ගති පංචක ලෝකය පරිවර්තනය වෙයි. එසේ පරිවර්තනය වන බැවින් “මෙනම් කාලයෙහි මරණය වන්නේ ය” යි මැරෙන කාලය මම නො දනිමි.