‘පරිඤ්ඤාය’ ‘ඤාත පරිඤ්ඤා’, ‘තීරණ පරිඤ්ඤා, ‘ප්රහාණ පරිඤ්ඤා’ යන මේ පරිඤ්ඤා තුනෙන් දැන. ‘තත්ථ කතමා ඤාතපරිඤ්ඤා? පඤ්චක්ඛන්ධෙ පරිජානාති අයං රූපක්ඛන්ධා -පෙ- අයං විඤ්ඤාණක්ඛන්ධො ඉමානි තෙසං ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානානීති අයං ඤාතපරිඤ්ඤා, කතමා තීරණ පරිඤ්ඤා? එවං ඤාතං කත්වා පඤ්චක්ඛන්ධෙ තීරෙති අනිච්චතො දුක්ඛතා රොගතොති ද්වාචත්තාළීසාය ආකාරෙහි අයං තීරණ පරිඤ්ඤා, කතමා පහාණ පරිඤ්ඤා? එවං තීරයිත්වා අග්ගමග්ගෙන පඤ්චසු ඛන්ධෙසු ඡන්දරාගං පජහති, අයං පහාණපරිඤ්ඤා’ (එහි ‘ඤාත පරිඤ්ඤා කුමක් ද? මෙය රූපස්කන්ධය යි; .... මේ විඤ්ඤාණ ස්කන්ධය ය. මේ ඒවාහි ලක්ෂණ රස පච්චුප්පට්ඨාන පදට්ඨාන යි, ආදි වශයෙන් පඤ්ච ස්කන්ධය පිරිසිඳ දනී. මෙය ‘ඤාත පරිඤ්ඤා’ වේ. ‘තීරණ පරිඤ්ඤා’ කවරේ ද? මෙසේ (පඤ්ච ස්කන්ධය) දැන අනාත්ම වශයෙන්, දුඃඛ වශයෙන්, රෝග වශයෙන් යැයි දෙසාළිස් අයුරකින් තීරණය කරයි. එය ‘තීරණ පරිඤ්ඤා’ වේ. ‘ප්රහාණ පරිඤ්ඤා’ කුමක් ද? මෙසේ තීරණය කොට අග්ර වූ මාර්ගයෙන් පඤ්ච ස්කන්ධය කෙරෙහි ඡන්දරාගය පහ කරයි. මෙය ‘ප්රහාණ පරිඤ්ඤා’ වේ).
‘අක්ඛාතාරං න මඤ්ඤති’ මෙසේ පරිඤ්ඤා තුනකින් පඤ්ච ස්කන්ධය පිරිසිඳ දැන ක්ෂීණාශ්රව භික්ෂුව ‘අක්ඛාතාරං’ (සත්ත්ව පුද්ගලාදී ලෙස) පුද්ගලයකු නො හඟී (නො සළකයි). ‘අක්ඛාතාරං’ කර්ම වශයෙන් කාරණය (හේතුව) දත යුතු ය. ‘අක්ඛාතබ්බං’ (ආඛ්යාන කළ යුතු) කිව යුතු පුද්ගලයකු ලෙස නො සළකයි, නො දකියි යනු අර්ථ යි. ආඛ්යාන කළ යුතු වන්නේ කුමක් ද? තිස්ස හෝ ඵුස්ස හෝ ලෙස ය. මෙසේ කිසියම් නමකින් හෝ ගෝත්රයකින් ප්රකාශ කළ යුත්තේ ය. ‘තඤ්හි තස්ස න හොති’ එය ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේට නැත. ‘යෙන නං වජ්ජා’ යම් කරුණකින් ඔහු රාගයෙන් රත් වූයේ යැයි ද ද්වේෂයෙන් දුෂ්ට වූයේ යයි ද, මෝහයෙන් මුළා වූයේ යයි ද කිසිවෙක් කියයි ද එබඳු කාරණයක් ක්ෂීණාශ්රවයන් වහන්සේට නැත.
‘සචෙ විජානාසි වදෙහි යක්ඛ’ ඉදින් එබඳු ආකාරයේ ක්ෂීණාශ්රව කෙනෙකු දනිහි නම් ‘දනිමි’ යි කියනු; නො දන්නෙහි නම් එවිට ‘නො දනිමි’ යි කියනු. ‘යක්ඛ’ යනු දේවතාවිය ආමන්ත්රණය කරමින් කී සේක. මෙසේ මේ ගාථාවෙන් සන්දිට්ඨික වූ ලෝකෝත්තර ධර්මය පවසන ලදි. ‘සාධු’ ආයාචනය කිරීම් අර්ථයෙහි නිපාතයකි.
‘යො මඤ්ඤති’ යමෙක් තමා මම ‘සමො’ යයි ‘විසේසි’ යයි ‘නිහීනො’ යයි හෝ සළකයි ද එයින් ‘මම උසස් අයෙක්මි’ ආදී මාන (මිනුම්) ගන්නා ලදි. ඒ (මානය) ගත් කල මාන නවයක් ගත්තා නම් වන්නේ ය. ‘සො විවදෙථ තෙන’ ඒ පුද්ගලයා ඒ මානයෙන් ම කිසියම් පුද්ගලයකු සමග ‘ඔබ කුමක් නිසා මා වෙත ආයෙහි ද? කිම උත්පත්තියෙන් පැමිණියෙහි ද? නැතහොත් ගෝත්රයෙන් ද? කුල ප්රදේශයෙන් ද? උසස් කුලයෙන් ද? බහුශ්රැත භාවයෙන් හෝ ධුතංග බලයෙන් ද? මෙසේ විවාද කරහි ද? මෙසේ මේ ගාථා අර්ධයෙන් ද කාලික වූ කාමය ගැන පවසන ලදි.
‘තීසු විධාසු’ මාන තුනෙහි ‘එකවිධෙන රූපසංගහො’ (රූප සංග්රහය එක් කොටසකින්) ආදියෙහි ‘කොට්ඨාස’ (කොටස) ‘විධා’ යි කියන ලදි. ‘කථං විධං සීලවන්තං වදන්ති කථං විධං පඤ්ඤවන්තං වදන්ති’ (කවර ආකාරයේ (කෙනෙකු) සිල්වත් ය යි කියත් ද, කවර ආකාරයේ කෙනෙකු ප්රඥාවන්ත යයි කියත් ද) යනාදී තැන්වල ‘විධා’ ‘ආකාර’ වේ. ‘තිස්සො ඉමා භික්ඛවෙ විධා කතමා තිස්සො? සෙය්යොහමස්මීති විධා සදිසොහමස්මීති විධා හීනොහමස්මීති විධා’ (මහණෙනි, මේ මානය ත්රිවිධ ය. ඒ තුන කවරේද? මම උසස් මි යි මානයකි. මම සමාන මි යි මානයකි. මම මහත් මි යි මානයකි) ආදී තැන්වල මානය ‘විධා’ යි දක්වන ලදි. මෙහි ද මානය ම වේ. එහෙයින් කියන ලදි. ‘තීසු විධාසු’ මාන තුනෙහි ය. ‘අවිකම්පමානො’ පුද්ගලයා සංක්ෂේපයෙන් මේ (මාන) තුනෙහි - විස්තර වශයෙන් මාන නවයෙහි - කම්පා නොවෙයි. නො සැලෙයි. ‘සමො විසෙසීති න තස්ස හොතී’ මානය ප්රහීණ කළ ක්ෂීණාශ්රව තැනැත්තාට මම සමාන වෙමි යි හෝ උසස් වෙමි යි හෝ පහත් වෙමි යි හෝ (මානයක්) නො තිබේ යි දක්වයි. අවසන් පාදය ද කියන ලද පරිදි ම ය. මේ ගාථා අර්ධයෙන් ද නව විධ වූ සන්දිට්ඨික ලෝකෝත්තර ධර්මය පවසන ලදි.
‘පහාසි සංඛං’ ‘පටිසංඛායොනිසො ආහාරං ආහාරන්ති’ (ප්රඥාවන්ත මනසිකාරයෙන් ආහාරය ආහාරය යි) ආදී තැන්වල ප්රඥාව ‘සංඛා’ යි යෙදුනේ වෙයි. ‘අත්ථි පන කොචි ගණකො වා මුද්දිකො වා සංඛායිකො වා යො පහොති ගංගාය වාලිකං ගණෙතුං’ (ගංගා නදියෙහි වැලි ගණනය කිරීමට කිසියම් ගණකාධිකාරීවරයෙක් ගණන් තබන්නෙක් සංඛ්යාලේඛනඥයෙක් හෝ සමත් වේද ?) යන මෙහි ගණනය කිරීමෙහි ය. ‘සඤ්ඤා නිදානා හි පපඤ්චසංඛා’ (ප්රපඤ්ච කොට්ඨාශයෙහි සංඥාව නිදානය කොට ඇත්තේ වේ) යන ආදියෙහි ‘කොටස’ වේ. ‘යා තෙසං තෙසං ධම්මානං සඞ්ඛා සමඤ්ඤා’ (ඒ ඒ ධර්මයන්ගේ යම් ප්රඥප්තියක් - පිළිගැනීමක්) යන මෙහි ප්රඥප්තිය ‘සංඛා’ වශයෙන් පැමිණියේ වේ. මෙහි ද එය ම (ප්රඥප්තිය ම) අදහස් කෙරේ. ‘පහාසි සංඛං’ යන පදයේ අර්ථය මෙය ම ය. ඇළුණේ, දුෂ්ට වූයේ (ද්වේෂ සහගත බවට පත් වූයේ), මුළා වූයේ යන මේ ප්රඥප්තිය ක්ෂීණාශ්රව පුද්ගලයා ‘පහාසි’ බැහැර කළේ ය. දුරු කළේ ය.
‘න විමානමජ්ඣගා’ නව ආකාර (නැතහොත්) ත්රිවිධ මානයට නො පැමිණියේ වෙයි. ‘නිවාස’ අර්ථයෙන් හෝ මව් කුස ‘විමානය’ යි කියනු ලැබේ. එය මතු ප්රතිසන්ධි වශයෙන් නො පැමිණෙන්නේ ය යනු අර්ථ වේ. අනාගතාර්ථයෙහි අතීත වචනය යි. ‘අච්ඡෙච්ඡි’ සිඳ ලී ය. ‘ඡින්නගන්ථං’ ග්රන්ථ (ගැට) සතර සිඳලා සිටි; ‘අනීඝං’ නිදුක්; ‘නිරාසං’ තෘෂ්ණා රහිත, ‘පරියෙසමානා’ සොයමින් ‘නාජ්ඣගමුං’ නො ලබත්. නො විඳිත් නො දකිත්. වර්තමානාර්ථයෙහි අතීත වචන යි. ‘ඉධ වා හුරං වා’ මෙලොවෙහි හෝ පරලොවෙහි හෝ ‘සබ්බනිවෙසනෙසු’ භව තුන, යෝනි සතර, ගති පහ, විඤ්ඤාණ ස්ථිති සත, සත්තාවාස නවය යන මේ සියලු සත්ත්ව නිවේසනවල මරණින් මතු මේ ආකාරයේ ක්ෂීණාශ්රව වූ පුද්ගලයකු උපදින හෝ ඉපදුණු බවක් නො දක්නේ ය යනු අර්ථ යි. මේ ගාථාවෙන් සංදිට්ඨික ලෝකෝත්තර ධර්මය ම පැවසීය.
මේ ගාථාවත් අසා ඒ දේවතාවිය ද අර්ථය අවබෝධ කොට ගත්තා ය. ඒ කරුණින් ම ‘ඉමස්ස ඛො අහං භන්තෙ’ යනාදිය කීවා ය. එහි ‘පාපං න කයිරා’ යන ගාථාවෙන් දශ කුශල කර්ම පථ වශයෙනුත් අෂ්ටාංගික මාර්ග වශයෙනුත් පැවසීමට වටනේ ය. දශ කුශල කර්ම පථ වශයෙන්, ‘වචසා’ චතුර්විධ වචී සුචරිතය ගන්නා ලදි. ‘මනසා’ ත්රිවිධ මනෝ සුචරිතය ගන්නා ලදි. ‘කායෙන වා කිඤ්චනං සබ්බලොකෙ’ ත්රිවිධ කාය සුචරිතය ගන්නා ලදි. මේවා දශ කුශල කර්ම පථ ධර්මයෝ වෙත්. ‘කාමෙ පහාය’ මෙයින් කාමසුඛල්ලිකානුයෝගය ප්රතික්ෂේප කරන ලදි. ‘සතිමා සම්පජානො’ මෙයින් දශ කුශල කර්ම පථ කාරණ වූ සති සම්පජඤ්ඤය ගන්නා ලදි. ‘දුක්ඛං න සෙවෙථ අනත්ථසංහිතං’ මෙයින් අත්තකිලමථානුයෝගය වළක්වන ලදි. මෙසේ දේවතාවිය ‘භාග්යවතුන් වහන්ස, අන්ත දෙක හැර සති සම්පජඤ්ඤය සමග ඔබ වහන්සේ දේශනා කළ දශ කුශල කර්ම පථ ධර්ම දනිමි’ යි පවසයි.