9. නමානකාම සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි ‘මානකාමස්ස’ මානය කැමති වන්නහුට, අපේක්ෂා කරන්නහුට, ‘දමො’ ඒ ආකාරයේ පුද්ගලයකුට සමාධි පාක්ෂික වූ දමයක් (සිතේ සන්සුන් පැවැත්මක්) නැතැයි කියයි. ‘සච්චෙන දන්තො දමසා උපෙතො වෙදන්තගූ වුසිතබ්‍රහ්මචරියො’ (යමෙක් (පරමාර්ථ) සත්‍යයෙන් දැමුනේ ද, ඉන්‍ද්‍රිය දමනයෙන් යුක්ත ද, සතර මඟ (නම් වූ) වේදයෙහි පරතෙරට ගියේ ද, වැස නිම වූ බඹසර ඇත්තේ ද) යන මෙහි ඉන්‍ද්‍රිය සංවරය ‘දම’ යි කියන ලදී. ‘යදි සච්චා දමා චාගා ඛන්ත්‍යා භිය්‍යො න විජ්ජති’ (සත්‍යයටත් ඉන්‍ද්‍රිය දමනයටත් ත්‍යාගයටත් ක්ෂාන්තියටත් අධික වූ (උසස්) යමක් නොමැත්තේ නම්) යන මෙහි ප්‍රඥාව යි. ‘දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන අත්‍ථි පුඤ්ඤං අත්‍ථි පුඤ්ඤස්ස ආගමො’ (දානයෙන්, ඉන්‍ද්‍රිය දමනයෙන්, සංයමයෙන්, සත්‍ය වචනයෙන්, පිනක් ඇත; පිනේ පැමිණීමක් ඇත) යන මෙහි උපෝසථ කර්මය යි. ‘සක්‍ඛිස්සසි ඛො ත්‍වං පුණ්ණ ඉමිනා දමුපසමෙන සමන්නාගතො සුනාපරන්තස්මිං ජනපදෙ විහරිතුං’ (පුණ්ණයෙනි, මේ දමනයෙන්, උපසමයෙන් යුක්ත වූ ඔබ සුනාපරන්තයෙහි විසීමට සමත් වන්නෙහි ය) යන මෙහි අධිවාසන ක්‍ෂාන්තිය යි. මේ සූත්‍රයෙහි ‘දමො’ යනු සමාධි පාක්‍ෂික ධර්මයන්ට නමකි. එහෙයින් ම කීය: ‘න මොනමත්‍ථි අසමාහිතස්ස’ එහි ‘මොනං’ සිවු මඟ නුවණ ය. එය ‘මුනාති’ (දැනගනී) යි ‘මොන’ (ප්‍රඥාව) වේ. චතුස්සත්‍ය ධර්මය දනී යන අර්ථ යි. ‘මච්චුධෙය්‍යස්ස’ තෙභූමක වට්ටයෙහි (සසර පැවැත්ම) එහි මාරයාගේ ප්‍රතිෂ්ඨාව වන හෙයින් ‘මච්චුධෙය්‍ය’ යි කියනු ලැබේ. ‘පාරං’ එහි පරතෙරට නිවනට, ‘තරෙය්‍ය’ ප්‍රතිවේධ කරන්නේ; පැමිණෙන්නේ හෝ වේ. මේ කියන ලද්දේ: අරණ්‍යයෙහි වාසය කරන එක් ප්‍රමාදී පුද්ගලයෙක් වූයේ සසරෙහි පරතෙර තරණය නො කරන්නේ ය, ප්‍රතිවේධ නො කරන්නේ ය, නො පැමිණෙන්නේ ය යනු යි.
‘මානං පහාය’ අර්හත් මාර්ගයෙන් නව විධ වූ මාන අත්හැර. ‘සුසමාහිතත්තො’ උපචාර, අර්පණා සමාධිවලින් මැනවින් සමාධිගත සිත් ඇත්තේ, ‘සුචෙතසො’ ඥාන සම්ප්‍රයුක්ත බැවින් සුන්දර සිත් ඇත්තේ, ඥාන විප්‍රයුක්ත චිත්තයෙන් ‘සුචෙතසො’ යි නො කියනු ලැබේ. එහෙයින් ඥාන සම්ප්‍රයුක්ත බැවින් මනා සිත් ඇත්තේ වී යනු අර්ථ යි. ‘සබ්බධි විප්පමුත්තො’ සියලු ස්කන්ධ, ආයතන ආදියෙන් මිදී; තරණය කරන්නේ ය යන මෙහි තෙභූමක වට්ටය සමතික්‍රමණය කරමින් නිර්වාණය ප්‍රතිවේධ කරමින් තරණය කරති යි ‘ප්‍රතිවේධ තරණය’ නමැයි කියන ලදී. මෙසේ මේ ගාථාවෙන් ශික්ෂා තුනක් පවසන ලද්දේ වෙයි. කෙසේ ද? මාන නම් වූ මෙය ශීල භේදන (සිල් බිදීම) වේ. එහෙයින්, ‘මානං පහාය’ යන මෙයින් අධිශීල ශික්ෂාව කියන ලදී. ‘සුසමාහිතත්තො’ යන මෙයින් අධිචිත ශික්ෂාව ය. ‘සුචෙතසො’ යන මෙයින් සිතෙන් ප්‍රඥාව දක්වන ලදී. එහෙයින් මෙයින් අධිප්‍රඥා ශික්ෂාව කියන ලදී. අධිශීලය, ශීලය ඇති කල්හි වේ. අධිචිත්තය සිත ඇති කල්හි ය. අධිප්‍රඥාව ප්‍රඥාව ඇති කල්හි ය. එහෙයින් මෙහි ශීල නම් පන්සිල් ද දශ සිල් ද වේ. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය අධිශීලය නමැයි දත යුතු ය. අෂ්ටසමාපත්තිය චිත්තය වේ. විදර්ශනා පාදක ධ්‍යානය අධිචිත්ත වේ. කර්මයාගේ කෘත ඥානය ප්‍රඥාව ය. විපස්සනාව අධි ප්‍රඥාව වේ. බුද්ධෝත්පාදයක් නො වූ කල්හි ද පවතීනුයි පංච ශීලය, දශ ශීලය ශීල ම වේ. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය බුද්ධෝත්පාද කාලයෙහි ම පවතීනුයි අධි ශීල වෙයි. චිත්ත (හා) ප්‍රඥාවෙහි ද මේ න්‍යය ම ය. තව ද නිවන පතන්නකු විසින් සමාදන් වූ පංච ශීලයත් දශ ශීලයත් අධි ශීලය ම ය. සපැමිණි අෂ්ට සමාපත්තිය ද අධි චිත්තය ම වේ. සියලු ම ලෞකික ශීල ශීල ම ය. ලෝක්කෝත්තර (ශීලය) අධි ශීලය යි. චිත්ත - ප්‍රඥා දෙක්හි ද මේ න්‍යාය ම ය. මෙසේ මේ ගාථාවෙහි සමෝධානයෙන් (එකට සම්බන්ධ කිරීමෙන්) ගෙන ත්‍රිශික්ෂාවත් සකල ශාසනයත් ප්‍රකාශිත වෙයි යනු යි.
නව වැනි සූත්‍රය යි.
10. අරඤ්ඤ සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි ‘සන්තානං’ ශාන්ත වූ ක්ලේශයන්ගේ පණ්ඩිතයන්ගේ හෝ ‘සන්තො හවෙ සබ්භි පවෙදයන්ති, දූරෙ සන්තො පකාසෙති’ (ශාන්ත වූවෝ සත්පුරුෂයන් සමග කථා කරත් (ඔවුහු) දුර (සිටියත්) බබළත්) ආදියෙහි පණ්ඩිතයෝ ද ‘සන්තො’ යි දක්වන ලදහ. ‘බ්‍රහ්මචාරිනං’ ශ්‍රේෂ්ඨාචාරීන්ගේ; මාර්ගය වූ බ්‍රහ්මචර්ය වාසය කරන්නවුන්ගේ ‘කෙන වණ්ණො පසීදති’ කුමන කරුණකින් ඡවි වර්ණය (සමෙහි පාට) පැහැදේදැයි විමසයි. දේවතාවා කුමක් නිසා මෙසේ ප්‍රශ්න කරයි ද? මේ වනයෙහි වාසය කරන බූමාටු දේවතාවා, ආරණ්‍යවාසී භික්‍ෂූන් ආහාර අනුභවයෙන් පසු, පිණ්ඩපාතයෙන් අනතුරු ව, ආපසු පැමිණෙමින් ආරණ්‍යයට පිවිස රාත්‍රි ස්ථානවල, දිවා ස්ථානවල, මූල කර්මස්ථාන ගෙන සිටිනු දකියි. මෙසේ සිටින ඔවුන්ගේ බලවත් චිත්ත ඒකාග්‍රතාවක් හට ගනී. එයින් විසභාගසන්තති (අසමාන පැවතුම්) උපසමනය වෙයි; සභාගසන්තතිවලට (සමාන පැවැත්වීම්වලට) වැටේ. සිත පැහැදෙයි. සිත පැහැදුණු විට රුධිරය පැහැදෙයි. චිත්ත සමුට්ඨාන වූ (සිතෙන් හටගත්) උපාදා රූප පිරිසුදු වෙයි. නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියෙහි මෙන් මුහුණෙහි වර්ණය වෙයි. ඒ දැක දේවතාවා මෙසේ සිතී ය. ශරීර වර්ණය නම් වූ මෙය පැහැදෙන්නේ ප්‍රණීත වූ රසයෙන් යුක්ත වූ භෝජන ද සුඛ ස්පර්ශයෙන් යුතු අඳන හා පෙරවිලි සහිත මනා යහන් ද හොඳ ඍතුවල සැප ඇති තෙමහල් ආදී ප්‍රභේදවලින් යුතු ප්‍රාසාද ද මාලාගන්ධ විලේපන ද ලබන්නන්ගේ ය. මේ භික්‍ෂූහු වනාහි පිණ්ඩපාතයේ යෙදී මිශ්‍ර වූ බත් බුදිති. වේවැල් ඇඳේ හෝ ලෑල්ලේ හෝ ගල්තලාවල හෝ යහන් සකසා ගනිති. රුක්මුල් ආදියෙහි හෝ එළිමහනේ හෝ ජීවත් වෙති. කවර කරුණකින් මොවුන්ගේ වර්ණ පහදී ද? එහෙයින් විමසී ය.
ඉක්බිති, ඔහුට භාග්‍යවතුන් වහන්සේ කරුණු පවසන්නාහු, දෙවැනි ගාථාව වදාළහ. එහි ‘අතීතං’ අතීතයෙහි අසවල් නම් ඇති ධාර්මික රජෙක් වූයේ ය, හේ අපට ප්‍රණීත ප්‍රත්‍ය දුන්නේ ය, ආචාර්ය උපාධ්‍යායයන් ලැබුවෝ වූහ. ඉක්බිති අපි මේ ආකාරයේ භෝජන අනුභව කළෙමු, සිවුරු පෙරවූයෙමු, මෙසේ ප්‍රත්‍ය බහුල වශයෙන් ලැබූ සමහරුන් මෙන් මේ භික්‍ෂූහු අතීතය ගැන ශෝක නො කරති. ‘නප්පජප්පන්ති නාගතං’ අනාගතයෙහි ධාර්මික රජෙක් වන්නේ ය, ජනපද සම්පතින් පිරුණා වන්නේ ය, බොහෝ ගිතෙල්, වෙඬරු ආදිය උපදින්නේ ය, කව! බොව! යි ඒ ඒ තැන කියන්නෝ වෙත්, එවිට අපි මේ ආකාරයේ බොජුන් වළඳන්නෙමු, සිවුරු පෙරවන්නෙමු යි මෙසේ අනාගතය ප්‍රාර්ථනා නො කරති. ‘පච්චුප්පන්නෙන’ ඒ මොහොතේ ලැබෙන කුමන හෝ දෙයකින් ජීවත් වෙති. ‘තෙන’ ඒ ත්‍රිවිධ කරුණින්