10. අරඤ්ඤ සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි ‘සන්තානං’ ශාන්ත වූ ක්ලේශයන්ගේ පණ්ඩිතයන්ගේ හෝ ‘සන්තො හවෙ සබ්භි පවෙදයන්ති, දූරෙ සන්තො පකාසෙති’ (ශාන්ත වූවෝ සත්පුරුෂයන් සමග කථා කරත් (ඔවුහු) දුර (සිටියත්) බබළත්) ආදියෙහි පණ්ඩිතයෝ ද ‘සන්තො’ යි දක්වන ලදහ. ‘බ්‍රහ්මචාරිනං’ ශ්‍රේෂ්ඨාචාරීන්ගේ; මාර්ගය වූ බ්‍රහ්මචර්ය වාසය කරන්නවුන්ගේ ‘කෙන වණ්ණො පසීදති’ කුමන කරුණකින් ඡවි වර්ණය (සමෙහි පාට) පැහැදේදැයි විමසයි. දේවතාවා කුමක් නිසා මෙසේ ප්‍රශ්න කරයි ද? මේ වනයෙහි වාසය කරන බූමාටු දේවතාවා, ආරණ්‍යවාසී භික්‍ෂූන් ආහාර අනුභවයෙන් පසු, පිණ්ඩපාතයෙන් අනතුරු ව, ආපසු පැමිණෙමින් ආරණ්‍යයට පිවිස රාත්‍රි ස්ථානවල, දිවා ස්ථානවල, මූල කර්මස්ථාන ගෙන සිටිනු දකියි. මෙසේ සිටින ඔවුන්ගේ බලවත් චිත්ත ඒකාග්‍රතාවක් හට ගනී. එයින් විසභාගසන්තති (අසමාන පැවතුම්) උපසමනය වෙයි; සභාගසන්තතිවලට (සමාන පැවැත්වීම්වලට) වැටේ. සිත පැහැදෙයි. සිත පැහැදුණු විට රුධිරය පැහැදෙයි. චිත්ත සමුට්ඨාන වූ (සිතෙන් හටගත්) උපාදා රූප පිරිසුදු වෙයි. නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියෙහි මෙන් මුහුණෙහි වර්ණය වෙයි. ඒ දැක දේවතාවා මෙසේ සිතී ය. ශරීර වර්ණය නම් වූ මෙය පැහැදෙන්නේ ප්‍රණීත වූ රසයෙන් යුක්ත වූ භෝජන ද සුඛ ස්පර්ශයෙන් යුතු අඳන හා පෙරවිලි සහිත මනා යහන් ද හොඳ ඍතුවල සැප ඇති තෙමහල් ආදී ප්‍රභේදවලින් යුතු ප්‍රාසාද ද මාලාගන්ධ විලේපන ද ලබන්නන්ගේ ය. මේ භික්‍ෂූහු වනාහි පිණ්ඩපාතයේ යෙදී මිශ්‍ර වූ බත් බුදිති. වේවැල් ඇඳේ හෝ ලෑල්ලේ හෝ ගල්තලාවල හෝ යහන් සකසා ගනිති. රුක්මුල් ආදියෙහි හෝ එළිමහනේ හෝ ජීවත් වෙති. කවර කරුණකින් මොවුන්ගේ වර්ණ පහදී ද? එහෙයින් විමසී ය.
ඉක්බිති, ඔහුට භාග්‍යවතුන් වහන්සේ කරුණු පවසන්නාහු, දෙවැනි ගාථාව වදාළහ. එහි ‘අතීතං’ අතීතයෙහි අසවල් නම් ඇති ධාර්මික රජෙක් වූයේ ය, හේ අපට ප්‍රණීත ප්‍රත්‍ය දුන්නේ ය, ආචාර්ය උපාධ්‍යායයන් ලැබුවෝ වූහ. ඉක්බිති අපි මේ ආකාරයේ භෝජන අනුභව කළෙමු, සිවුරු පෙරවූයෙමු, මෙසේ ප්‍රත්‍ය බහුල වශයෙන් ලැබූ සමහරුන් මෙන් මේ භික්‍ෂූහු අතීතය ගැන ශෝක නො කරති. ‘නප්පජප්පන්ති නාගතං’ අනාගතයෙහි ධාර්මික රජෙක් වන්නේ ය, ජනපද සම්පතින් පිරුණා වන්නේ ය, බොහෝ ගිතෙල්, වෙඬරු ආදිය උපදින්නේ ය, කව! බොව! යි ඒ ඒ තැන කියන්නෝ වෙත්, එවිට අපි මේ ආකාරයේ බොජුන් වළඳන්නෙමු, සිවුරු පෙරවන්නෙමු යි මෙසේ අනාගතය ප්‍රාර්ථනා නො කරති. ‘පච්චුප්පන්නෙන’ ඒ මොහොතේ ලැබෙන කුමන හෝ දෙයකින් ජීවත් වෙති. ‘තෙන’ ඒ ත්‍රිවිධ කරුණින්
මෙසේ වර්ණ සම්පත්තිය දක්වා දැන් ඒ වර්ණයෙහි ම විනාශය දක්වමින් ඊ ළඟ ගාථාව කීහ. එහි ‘අනාගතප්පජප්පාය’ අනාගත පැවතුම් සඳහා, ‘එතෙන’ මේ දෙකරුණ හේතුවෙන්, ‘නළොව හරිතො ලුතො’ යම්සේ කොළ පැහැති බට දණ්ඩක් කපා උණුසුම් ගල් තලාවක් මත දමා වියළවයි ද, එසේ වියළවන්නේ ය යනු යි.
දස වැනි සූත්‍රය යි.
ප්‍රථම නළ වර්ගය යි.
2. නන්දන වර්ගය
1. නන්දන සූත්‍ර වර්ණනාව
නන්‍දන වර්ගයේ පළමු වැන්නෙහි ‘තත්‍ර’ ඒ ආරාමයෙහි ‘ඛො’ ව්‍යංජන සිලිටි බව උදෙසා වූ නිපාත මාත්‍රයකි. ‘හික්‍ඛූ ආමන්තෙසි’ පිරිස අතර ජ්‍යෙෂ්ඨයන් වූ භික්‍ෂූන්ට දැන්වූ සේක. ‘භික්‍ඛවො’ ඔවුන් ආමන්ත්‍රණය කරන ආකාරය දැක්වීම යි. ‘හදන්තෙ’ පිළිවදන් දීම යි. ‘තෙ භික්‍ඛු’ එහි සම්මුඛ ව සිටි ධර්මය පිළිගන්නා භික්‍ෂූහු ‘භගවතො පච්චස්සොසුං’ භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනයට (‘පති අස්සොසුං’) පිළිවදන් දුන්හ, අභිමුඛයෙහි සිට ඇසූහ, පිළිගත්හ යන අරුත යි. ‘එතදවොච’ මෙය දැන් කිව යුතු, පෙර සිදු වූවකි ආදි වචන කී ය. එහි ‘තාවතිංසකායිකා’ තාවතිංස (තව්තිසා) කායෙහි උපන්; ‘තාවතිංසකාය’ නම් දෙවන දෙව් ලොව යි කියනු ලැබේ. මඝ මාණවකයා සමග මචල ග්‍රාමයෙහි කාල ක්‍රියා කොට එහි උපන් තෙතිස් දේව පුත්‍රයන් හේතු කොට ගෙන මේ දෙව් ලොවට මේ නම උපනැයි කියත්. යම් හෙයකින් සෙසු සක්වළෙහි ද කාමාවචර දේව ලෝක හයක් වේ ද, එය (මෙසේ) පවසන ලදී: ‘චාතුර්මහා රාජික දහසක්, තාවතිංස දහසක්’ යි. එහෙයින් ඒ දෙව් ලොවට මේ නම් පටබැඳීම වී යයි දත යුතු ය. මෙසේ නිර්දේශ පදයක් වේ.
‘නන්‍දනෙ වනෙ’ මෙහි ඒ වනයට පිවිසි පිවිසි අය ආනන්දයට පත් කරති යි, සන්තෝෂයට පත් කරති යි නන්දන වේ. මරණ නිමිති පහ හටගත් කල්හි සම්පත් හැර දමා චුත වන්නෙමු, චුත වන්නෙමු යි වැළපෙන දෙවියන්ට ශක්‍ර දේවේන්ද්‍රයා, “නො වැළපෙනු, නො බිඳෙන ස්වභාව ඇති සංස්කාරයක් නම් නැත” යි අවවාද දී එහි ඇතුළු කරවා ලයි. ඔවුන්ගෙන් සමහර දේවතාවන් විසින් අතින් අල්ලා ගෙන ඇතුළු කරවනු ලැබුව ද එහි සම්පත් දැක ම මරණ ශෝකය සමනය වෙයි. ප්‍රීති ප්‍රමුදිත භාවය ම උපදියි. ඉක්බිති එහි කෙළි සෙල්ලමෙහි යෙදෙන්නාහු ම, උෂ්ණයෙන් උණු වුණු හිම පිඬක් මෙන් දිය වී යත්. වාතයෙන් නිවී ගිය පහන් දැල්ලක් මෙන් නිවී යත්. මෙසේ ඇතුළට පිවිසි කෙනෙකු ආනන්දයට පත් කරවති යි සන්තෝෂයට පත් කරවති යි නන්දන නමි. ඒ නන්දන වනයෙහි; ‘අච්ඡරාසංඝපරිවුතො’ ‘අච්ඡරා’ (අප්සරා) යනු දෙව් දියණියන්ට නමකි. ඔවුන් සමූහයක් විසින් පිරිවරන ලද,