2. නිමොක්ඛ සූත්‍ර වර්ණනාව
දැන් දෙවැනි සූත්‍රයේ පටන් මුලින් පැමිණි (සඳහන් කළ) දෑ ද, පවසන ලද අර්ථයන් ද අත්හැර නො කියන ලද යමක් වේ ද, ඒ ඒ දෙය ම විස්තර කරන්නෙමු. ‘ජානාසි නො’ දන්නෙහි නො වේ ද? ‘නිමොක්‍ඛං’ ආදිය මාර්ගාදියට නමි. (ආර්ය) මාර්ගයෙන් ම සත්ත්වයෝ කෙළෙස් බැමිවලින් මිදෙත්. එහෙයින් මාර්ගය සත්ත්වයන්ගේ ‘නිමොක්‍ඛො’ යි පවසන ලදී. (මාර්ග) ඵල ලබන ක්‍ෂණයෙහි ඔවුහු කෙළෙස් බැඳුම්වලින් මිදෙති. එහෙයින් ඵලය සත්ත්වයන්ගේ ‘පමොක්ඛො’ යි කියන ලදී. නිවනට පත් ව සත්ත්වයන්ගේ සියලු දුකෙන් මිදීම වෙයි. එහෙයින් නිර්වාණය ‘විවෙක’ (වෙන්වීම) යි කියන ලදී. මේ සියල්ල නිවනට ම නම් ය. නිර්වාණයට පැමිණ සත්ත්වයෝ සියලු දුක්වලින් ගැලවෙති; මිදෙති; වෙන් වෙති, එහෙයින් එය ම ‘නිමොක්‍ඛ’ ‘පමොක්‍ඛ’ ‘විවෙක’ යි කියන ලදී. ‘ජානාමි ඛ්වාහං’ ජානාමි ඛො අහං’ (මම දනිමි.) මෙහි, ‘ඛො’ අවධාරණාර්ථයෙහි වේ. මම සත්ත්වයන්ගේ නිමොක්‍ඛය දන්නෙම් වෙමි. අවබෝධ කර ගැනීම පිණිස ම මා විසින් සමතිස් පෙරුම් පුරා සර්වඥතා ඥානය ලබා ගන්නා ලදැයි මම දනිමි යි සිංහ නාද පවත්වයි. මේ සූත්‍රය බුද්ධ සීහනාද නමි.
නන්‍දිභව පරික්‍ඛයා නන්‍දිමූලක (තණ්හාව මුල් කොට ඇති) කර්ම භවය අවසාන වීමෙන්, නන්දියේත් (තණ්හාවේත්) භවයේත් යනුවෙන් (ගනු) ද වටී. එහි මුලින් කී ආකාරයට නන්දි භවයෙන් ත්‍රිවිධ කර්ම අහිසංස්කාර වශයෙන් සංස්කාර ස්කන්‍ධය ගන්නා ලදී. සඤ්ඤාවිඤ්ඤාණයෙන් ඒ හා සම්ප්‍රයුක්ත ස්කන්ධ දෙක ගන්නා ලදී. ඒ ස්කන්ධ තුනෙන් යුක්ත වූ වේදනාව, ඒවා ගැනීමෙන් ගන්නා ලදැ යැ යි ද අනුපාදින්න අරූපස්කන්ධ සතරෙහි පැවැත්ම වශයෙන් සඋපාදිශේෂ නිර්වාණය කියන ලදී. ‘වෙදනානං නිරොධා උපසමාති’ උපාදින්නක වේදනාවන්ගේ නිරෝධයෙන් ද උපසමයෙන් ද; එහි ‘වේදනා’ ගැනීමෙන් ඒ හා බැඳුණු ස්කන්ධ තුන ද ගන්නා ලද්දේ ම ය. ඒවාහි වස්තු ආරම්මණ වශයෙන් රූප ස්කන්ධය යි මෙසේ මේ උපාදින්නක වූ ස්කන්ධ පහේ නො පැවැත්ම හේතුවෙන් අනුපාදිශේෂ නිර්වාණය යි පවසන ලදී. දෙවැනි ක්‍රමයට අනුව ‘නන්දී’ ගැනීමෙන් සංස්කාර ස්කන්ධය ගන්නා ලදී. ‘භව’ ගැනීමෙන් උත්පත්ති භව සංඛ්‍යාත වූ රූප ස්කන්ධය ද සඤ්ඤා ආදියෙන් සමාන රූපී වූ ස්කන්ධ තුන ද ගන්නා ලදී. මෙසේ පඤ්ච ස්කන්ධයන්ගේ නො පැවැත්ම වශයෙන් නිර්වාණය දක්වන ලද්දේ ය යි දත යුත්තේ ය. මේ ක්‍රමය ම චතු නිකායික භණ්ඩික තෙරුන් වහන්සේ රුචි කරති. මෙසේ නිර්වාණ වශයෙන් ම භාග්‍යවතුන් වහන්සේ දේශනය අවසන් කළ සේක යනු යි.
ද්විතීය සූත්‍රය යි.
3. උපනීයති සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි ‘උපනීයති’ ක්‍ෂය කරයි, නිරුද්ධ වෙයි, ළං වෙයි හෝ; පිළිවෙළින් මරණයට ළං කරවයි යන අරුත යි. යම් සේ ගොපල්ලා විසින් ගව රැළ දක්කාගෙන යනු ලැබේ ද, එසේ ම ජරාව විසින් මරණය අසළට ගෙන යනු ලැබේ යන අරුත යි. ‘ජීවිතං’ ජීවිතේන්‍ද්‍රිය යි. ‘අප්පං’ සීමිත වූ, ටික වූ; එහි දෙයාකාරයකින් සීමාවීම දත යුත්තේ ය. සරසපරිත්තතා හා ඛණපරිත්තතා යනුවෙනි. සරසපරිත්තතාව අනුව ‘යො භික්‍ඛවෙ චිරං ජීවති සො වස්සසතං අප්පං වා භිය්‍යො’ (මහණෙනි, යම් කිසිවෙක් බොහෝ කලක් ජීවත් වෙයි ද වර්ෂ සියයක් (ජිවත් වෙයි.) බොහෝ වේ නම්, අල්පයකි) යි වචනයෙන් සීමා දැක්වීම ය. ඛණපරිත්තතාව අනුව පරමාර්ථ වශයෙන් සත්ත්වයන්ගේ ජීවිත ක්‍ෂණය අති සීමිත ය. එක් චිත්ත ප්‍රවෘත්ති මාත්‍රයක් පමණක් වන්නේ ය. යම් සේ රථ චක්‍රය කැරකෙනුයේ නමුදු නිම් වළල්ලක එක තැනකින් ම කැරකේ ද, (නැවතී) සිටින විටත් එක ම තැනකින් සිටියි ද, එලෙස ම, සත්ත්වයන්ගේ ජීවිතය ද ඒකචිත්තක්‍ෂණික වේ. ඒ සිත නිරුද්ධ වූ විට ම සත්ත්වයා මළේ ය, නිරුද්ධ වූයේ ය යි කියනු ලැබේ. එහෙයින් කීහ. “අතීත චිත්තක්‍ෂණයෙහි ජීවත් විය. ජීවත් නො වේ. ජීවත් නො වන්නේ ය. අනාගත චිත්තක්‍ෂණයෙහි ජීවත් නො වූයේ ය. ජීවත් නො වේ. ජීවත් වන්නේ ය. වර්තමාන චිත්තක්‍ෂණයෙහි ජීවත් නො වී ය. ජීවත් වෙයි. ජීවත් නො වන්නේ ය.”
“ජීවිතං අත්තභාවො ච සුඛදුක්‍ඛා ච කෙවලා,
එකචිත්තසමායුත්තා ලහුසො වත්තතෙ ඛණො”
“යෙ නිරුද්ධා මරන්තස්ස තිට්ඨමානස්ස වා ඉධ,
සබ්බෙපි සදිසා ඛන්‍ධා ගතා අප්පටිසන්‍ධියා”
“අනිබ්බත්තෙන න ජාතො පච්චුප්පන්නෙන ජීවති,
චිත්තභඞ්ගා මතො ලොකො පඤ්ඤත්ති පරමත්‍ථියා”
(ජීවිතයත් ආත්ම භාවයත් සුඛ දුක්‍ඛයත් හුදෙක් එක් චිත්තයකින් සමන්විත ය. ක්‍ෂණය ශීඝ්‍රයෙන් කැරකේ.)
‘ජරූපනීතස්ස’ ජරාවට පැමිණියහුගේ, ජරාවෙන් මරණය ළගට ගෙන එන ලද්දහුගේ හෝ; ‘න සන්ති තාණා’ ත්‍රාණ (ආරක්ෂාව), ලෙණ (රැකවරණ), සරණ වීමට සමත් කිසිවකු නම් නැත. ‘එතං භයං’ මේ ජිවිතින්‍ද්‍රියට මරණය පැමිණීම, ආයු සීමා වීම, ජරාවට පමුණුවන ලද්දහුගේ ත්‍රාණය නොමැති වීම, යනුවෙන් ත්‍රිවිධ භයකි. භය වස්තු, භයකාරණය යනු අර්ථ යි. ‘පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි’ නැණවත් පුරුෂයා සුඛාවහ වූ - සුවය ගෙන එන - පින් කරන්නේ ය. මෙසේ දේවතාවා රූපාවචර ධ්‍යානය අරභයා පූර්ව චේතනාව, අපර චේතනාව හා මුඤ්චන චේතනාව ගෙන බහුවචන වශයෙන් ‘පුඤ්ඤානි’ යි කී ය. ධ්‍යාන ආස්වාදය, ධ්‍යාන තෘෂ්ණාව, ධ්‍යාන සුඛය ද ගෙන ‘සුඛාවහානි’ (සුවය ගෙන දෙන) යි කී ය. තමා දිර්ඝායුෂ ස්ථානයක් වූ බ්‍රහ්ම ලෝකයෙහි උපන් හෙයින්, පහතින් ඇති සීමිත ආයුෂ සහිත ස්ථානයෙහි සිටින කාමාවචර දෙවියන් අතර චුත වන හා උපදින - විශාල දිය බිඳු සහිත වර්ෂාපතනයක් හා සමාන - සත්ත්වයන් දැක ඒ දේවතාවාට මෙබඳු සිතක් ඇති විය. ‘අහෝ! මේ සත්ත්වයෝ දැහැන් වඩා නො පිරිහුණු දැහැනින් කළුරිය කොට බ්‍රහ්ම ලෝකයක එක් කපක්, දෙකෙක්, සිවු කපක්, අට කපක්, සොළොස් කපක්, දෙතිස් කපක්, සූසැට කපක් පමණ දිගු කාලයක් රැදී සිටිත් නම් යෙහෙකි.’ එහෙයින් මෙසේ කී ය.