3. උපනීයති සූත්ර වර්ණනාව
තුන් වැන්නෙහි ‘උපනීයති’ ක්ෂය කරයි, නිරුද්ධ වෙයි, ළං වෙයි හෝ; පිළිවෙළින් මරණයට ළං කරවයි යන අරුත යි. යම් සේ ගොපල්ලා විසින් ගව රැළ දක්කාගෙන යනු ලැබේ ද, එසේ ම ජරාව විසින් මරණය අසළට ගෙන යනු ලැබේ යන අරුත යි. ‘ජීවිතං’ ජීවිතේන්ද්රිය යි. ‘අප්පං’ සීමිත වූ, ටික වූ; එහි දෙයාකාරයකින් සීමාවීම දත යුත්තේ ය. සරසපරිත්තතා හා ඛණපරිත්තතා යනුවෙනි. සරසපරිත්තතාව අනුව ‘යො භික්ඛවෙ චිරං ජීවති සො වස්සසතං අප්පං වා භිය්යො’ (මහණෙනි, යම් කිසිවෙක් බොහෝ කලක් ජීවත් වෙයි ද වර්ෂ සියයක් (ජිවත් වෙයි.) බොහෝ වේ නම්, අල්පයකි) යි වචනයෙන් සීමා දැක්වීම ය. ඛණපරිත්තතාව අනුව පරමාර්ථ වශයෙන් සත්ත්වයන්ගේ ජීවිත ක්ෂණය අති සීමිත ය. එක් චිත්ත ප්රවෘත්ති මාත්රයක් පමණක් වන්නේ ය. යම් සේ රථ චක්රය කැරකෙනුයේ නමුදු නිම් වළල්ලක එක තැනකින් ම කැරකේ ද, (නැවතී) සිටින විටත් එක ම තැනකින් සිටියි ද, එලෙස ම, සත්ත්වයන්ගේ ජීවිතය ද ඒකචිත්තක්ෂණික වේ. ඒ සිත නිරුද්ධ වූ විට ම සත්ත්වයා මළේ ය, නිරුද්ධ වූයේ ය යි කියනු ලැබේ. එහෙයින් කීහ. “අතීත චිත්තක්ෂණයෙහි ජීවත් විය. ජීවත් නො වේ. ජීවත් නො වන්නේ ය. අනාගත චිත්තක්ෂණයෙහි ජීවත් නො වූයේ ය. ජීවත් නො වේ. ජීවත් වන්නේ ය. වර්තමාන චිත්තක්ෂණයෙහි ජීවත් නො වී ය. ජීවත් වෙයි. ජීවත් නො වන්නේ ය.”
“ජීවිතං අත්තභාවො ච සුඛදුක්ඛා ච කෙවලා,
එකචිත්තසමායුත්තා ලහුසො වත්තතෙ ඛණො”
එකචිත්තසමායුත්තා ලහුසො වත්තතෙ ඛණො”
“යෙ නිරුද්ධා මරන්තස්ස තිට්ඨමානස්ස වා ඉධ,
සබ්බෙපි සදිසා ඛන්ධා ගතා අප්පටිසන්ධියා”
සබ්බෙපි සදිසා ඛන්ධා ගතා අප්පටිසන්ධියා”
“අනිබ්බත්තෙන න ජාතො පච්චුප්පන්නෙන ජීවති,
චිත්තභඞ්ගා මතො ලොකො පඤ්ඤත්ති පරමත්ථියා”
චිත්තභඞ්ගා මතො ලොකො පඤ්ඤත්ති පරමත්ථියා”
(ජීවිතයත් ආත්ම භාවයත් සුඛ දුක්ඛයත් හුදෙක් එක් චිත්තයකින් සමන්විත ය. ක්ෂණය ශීඝ්රයෙන් කැරකේ.)
‘ජරූපනීතස්ස’ ජරාවට පැමිණියහුගේ, ජරාවෙන් මරණය ළගට ගෙන එන ලද්දහුගේ හෝ; ‘න සන්ති තාණා’ ත්රාණ (ආරක්ෂාව), ලෙණ (රැකවරණ), සරණ වීමට සමත් කිසිවකු නම් නැත. ‘එතං භයං’ මේ ජිවිතින්ද්රියට මරණය පැමිණීම, ආයු සීමා වීම, ජරාවට පමුණුවන ලද්දහුගේ ත්රාණය නොමැති වීම, යනුවෙන් ත්රිවිධ භයකි. භය වස්තු, භයකාරණය යනු අර්ථ යි. ‘පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි’ නැණවත් පුරුෂයා සුඛාවහ වූ - සුවය ගෙන එන - පින් කරන්නේ ය. මෙසේ දේවතාවා රූපාවචර ධ්යානය අරභයා පූර්ව චේතනාව, අපර චේතනාව හා මුඤ්චන චේතනාව ගෙන බහුවචන වශයෙන් ‘පුඤ්ඤානි’ යි කී ය. ධ්යාන ආස්වාදය, ධ්යාන තෘෂ්ණාව, ධ්යාන සුඛය ද ගෙන ‘සුඛාවහානි’ (සුවය ගෙන දෙන) යි කී ය. තමා දිර්ඝායුෂ ස්ථානයක් වූ බ්රහ්ම ලෝකයෙහි උපන් හෙයින්, පහතින් ඇති සීමිත ආයුෂ සහිත ස්ථානයෙහි සිටින කාමාවචර දෙවියන් අතර චුත වන හා උපදින - විශාල දිය බිඳු සහිත වර්ෂාපතනයක් හා සමාන - සත්ත්වයන් දැක ඒ දේවතාවාට මෙබඳු සිතක් ඇති විය. ‘අහෝ! මේ සත්ත්වයෝ දැහැන් වඩා නො පිරිහුණු දැහැනින් කළුරිය කොට බ්රහ්ම ලෝකයක එක් කපක්, දෙකෙක්, සිවු කපක්, අට කපක්, සොළොස් කපක්, දෙතිස් කපක්, සූසැට කපක් පමණ දිගු කාලයක් රැදී සිටිත් නම් යෙහෙකි.’ එහෙයින් මෙසේ කී ය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ, මේ දේවතාවා නෛර්යාණික නො වූ සංසාර කථාවක් පවසතැයි ඔහුට නිවන පෙන්වා දෙමින් දෙවැනි ගාථාව වදාළ සේක. එහි ‘ලොකාමිසං’ ලෝකාමිසය - ‘පරියාය’, ‘නිප්පරියාය’ වශයෙන් දෙකකි. ‘පරියාය’ වශයෙන්: ‘තෙභූමකවට්ට’ (කම්මවට්ට, කිලෙසවට්ට, විපාකවට්ට) ලෝකාමිෂ වේ. නිප්පරියාය වශයෙන් ප්රත්ය සතර ය. මෙහි පරියාය ලෝකාමිෂය අදහස් කෙරේ. නිප්පරියාය ලෝකාමිෂය ද ගැලපෙන්නේ ය. ‘සන්තිපෙක්ඛා’ නිර්වාණ සංඛ්යාත වූ අත්යන්ත ශාන්තිය ‘පෙක්ඛන්තො’ කැමති වන්නේ, ප්රාර්ථනය කරන්නේ යනු යි.
තෙවැනි සුත්රය යි.
4. අච්චෙන්ති සූත්ර වර්ණනාව
සිවු වැන්නෙහි ‘අච්චන්ති’ ඉක්ම යත්, ‘කාලා’ පෙරබත් (පෙරවරු ආදී කාල ය. ‘තරයන්ති රත්තියො’ රාත්රීහු ඉක්ම යමින් පුද්ගලයා මරණයට ළං වීම පිණිස ගෙන යති. වහ වහා ගමන් කරවති. ‘වයොගුණා’ ප්රථම, මධ්යම, පශ්චිම වයස්වල ගුණයෝ ‘රාශීහු’ යන අර්ථ යි. ‘අනුජානාමි භික්ඛවෙ අහතානං වත්ථානං ද්විගුණං සංඝාටිං’ (මහණෙනි, අලුත් වස්ත්රවලින් දෙපට සිවුර අනු දනිමි) යන මෙහි ‘පටල’ අර්ථය යි. ගුණ අර්ථය යි. ‘සතගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා’ (දක්ෂිණාව සිය ගුණයකින් අපේක්ෂා කළ යුතු ය) යන මෙහි ආනිශංසාර්ථ වේ. ‘අන්තං අන්තගුණං’ යන මෙහි කොටස් යන අරුත යි. ‘කයිරා මාලාගුණෙ බහූ’ (බොහෝ මල් දම් කරයි ද) යන මෙහි රාශි (රැස) අර්ථ යි. ‘පඤ්චකාමගුණා’ යන මෙහි බන්ධන අර්ථය යි. මෙහි වනාහි රාශි (රැස) අර්ථ ය; ගුණ අරුත ය. එහෙයින් ‘වයොගුණා’ වයස් රාශි යි දත යුත්තේ ය.
‘අනුපුබ්බං ජහන්ති’ අනුපිළිවෙළින් පුද්ගලයා හැර දමත්. මැදි වයස ප්රථම වයසේ සිටින්නා හැර දමයි. ප්රථම, මධ්යම දෙක පශ්චිම වයසේ සිටින්නා හැර දමයි. වයස් තුන ම මරණ ක්ෂණයෙහි (සිටින්නා) හැර දමයි. ‘එතං භයං’ ඒ කාලයන්ගේ අතික්රමණය, රෑ දවල්හි ඉක්ම යන බව, වයස් රාශිවල හැර දමන බව යන ත්රිවිධ භය වෙයි. සෙස්ස පෙර පරිදි ම ය.
සිවු වැනි සූත්රය යි.
5. කතිජින්ද සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි ‘කති ඡින්දෙ’ සිඳින්නේ, කොපමණ සිඳින්නේ ද? ඉතිරි පදවලත් මේ ක්රමය ම ය. මෙහිත් ‘ඡින්දෙ ජහෙ’ (සිඳියි, හැර දමයි) යන්නෙහිත් අර්ථ වශයෙන් එක ම ය. ගාථාවෙහි මටසිලුටු බව (රකිනු) පිණිස මේ දේවතාවා ශබ්ද පුනරුක්තිය මඟ හරිමින් මෙසේ කීවා ය. ‘කති සඞ්ගාතිගො’ කෙතෙක් සංග (ඇලීම්) ඉක්මවා ගියේ ද, අතික්රමණය කළේ ද යන අර්ථය යි. ‘සඞ්කාතිගො’ යනු ද පාඨයකි. අර්ථය මෙය ම ය. ‘පඤ්ච ඡින්දෙ’ යනු සිඳලන්නේ, ඕරම්භාගිය සංයෝජන පහ සිඳලන්නේ ය. ‘පඤ්ච ජහෙ’ හැර දමන්නේ, උද්ධම්භාගිය සංයෝජන පහ දුරු කරන්නේ ය. මෙහි ද ‘ජින්දන’, ‘ජහන’ අර්ථ වශයෙන් එක ම ය. භාග්යවතුන් වහන්සේ දේවතාවාගේ ආරෝපිත වූ වචන අනුරූපයෙන් ම මෙසේ වදාළ සේක.
එසේ නැතහොත් - පාදවල බැඳි මළ පුඩු සහිත පක්ෂියකු මෙන් ඕරම්භාගිය සංයෝජන පහ යටින් අදින්නාක් මෙන් පවතී. ඒවා අනාගාමි මාර්ගයෙන් සිඳ ලන්නේ ය යි පවසයි. දෑතින් අල්ලා ගනු ලැබූ වෘක්ෂ ශාඛාවක් (අත්තක්) මෙන් උද්ධම්භාගිය සංයෝජන පහ උඩු අතට අදින අයුරින් පවතී. ඒවා අර්හත් මාර්ගයෙන් දුරු කරන්නේ ය යි කියයි. ‘පඤ්ච චුත්තරි භාවයෙ’ මේ සංයෝජනයන් සිඳලීම් වස් හා ප්රහාණය කිරීම් වස් වැඩි, අතිරේක, විශේෂ වූවක් වඩන්නේ, ශ්රද්ධාව පඤ්චම කොට ඇති ඉන්ද්රිය වඩන්නේ ය යන අරුත යි. ‘පඤ්ච සඞ්ගාතිගො’ යනු රාග සංග, ද්වේශ සංග, මෝහ සංග, මාන සංග, දිට්ඨි සංග යන මේ ඇලීම් පහ ඉක්ම වූයේ ‘ඔඝතිණ්ණොති වුච්චති’ ඕඝ සතර තරණය කළේ ය යි කියයි. මේ ගාථාවෙන් ලෞකික, ලෝකෝත්තර පඤ්ච ඉන්ද්රිය සඳහන් කරන ලදී.