ඡ ඡක්ක සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් ඡ ඡක්ක සූත්රය මෙසේ අසන ලදි. එහි ආදිකල්යාණන්ති මුල යහපත්ය. හොඳය. දෝෂ නැති කොට දේශනා කරන්නෙමි. මැද ද කෙළවර ද මේ ක්රමයමයි. මෙසේ බුදුරදුන් අරියවංස පද නවයකින් ද මහාසතිපට්ඨානය හතකින් ද මහා අස්සපුරය පද හතකින් ද ස්තූති කළේය. මේ සූත්රය පද නවයකින් ස්තූති කළේය.
වෙදිතබ්බානීති විදර්ශනා සහිත මාර්ගයෙන් දතයුතුයි. මනායතනයෙන් ත්රෛභූමික සිත ම කියන ලදි. ධර්මායතනයෙන් බාහිර ත්රෛභූමික ධර්මයෝ ද මනෝ විඥානයෙන් දෙකක් හැර පංච විඥානයෙන් ද සෙසු විසිදෙවැදෑරුම් ලෞකික විපාක සිත ද ස්පර්ශ වේදනාව යථොක්ත විපාක විඥානය හා යුක්ත වන්නේය. තණ්හාති විපාක වේදනා ප්රත්යයෝ ජවන ක්ෂණයෙහි උපන් තෘෂ්ණාවයි.
චක්ඛුං අත්තාති වෙන්වූ අනුසන්ධියයි. යට කියන ලද සත්ය දෙකෙහි අනාත්මබව දැක්වීම පිණිස මේ දේශනාව පටන් ගන්නා ලදි. එහි න උප්පජ්ජතීති නොයෙදෙයි. වෙතීති පහවෙයි. නිරුද්ධ වෙයි.
අයං ඛො පන භික්ඛවෙති මෙය ද එක් වූ අනුසන්ධියයි. මේ දේශනාව තුන් ආකාර ග්රහණයන්ගේ වශයෙන් ව්රතය යැයි කියන්නේමය. එතං මමාති යනාදියෙහි තෘෂ්ණා මාන දෘෂ්ටීන්ගේ ගැනීම දත යුතුයි. සමනුපස්සතීති ගැනීම් වශයෙන් දකියි.
මෙසේ ව්රතය දක්වා දැන් ගැනීම් තුනෙහි ප්රතික්ෂේපකිරීම් වශයෙන් නිරෝධය මාර්ගය යැයි මේ සත්ය දෙකෙහි විවර්තය දක්වන්නට අයං ඛො පනාති යනාදිය කීය.
නෙතං මමාති යනාදිය තෘෂ්ණාදීන්ගේ ප්රතිෂ්ඨ වචනයෝය. සමනුපස්සතීති අනිත්ය දුක්ඛ අනාත්මය යැයි දකියි.
මෙසේ විවර්තය දක්වා දැන් තුන් අනුසයන්ගේ වශයෙන් නැවත විවර්තය දක්වන්නට චක්ඛුඤ්ච භික්ඛවෙති යනාදිය කීය. එහි අභිනන්දතීති යනාදිය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ම කියන ලදි. අනුසෙතීති ප්රහීන නොවූයේ වෙයි. දුක්ඛස්සාති සංසාර දුක හා කෙලෙස් දුක්ඛයාගේ.
මෙසේ තුන් අනුසයන්ගේ වශයෙන් ව්රතය කියා දැන් ඔවුන්ට විරුද්ධ වශයෙන් විවතය දක්වන්නේ නැවත චක්ඛුඤ්චාති යනාදිය කීය. අවිජ්ජං පහායාති සසර මූලික අවිද්යාව හැර. විජ්ජන්ති අර්හත් මාර්ග විද්යාව උපදවා.
ඨානමෙතං විජ්ජතීති මෙතෙක් කථා මාර්ගයෙන් වට්ටවිවට්ට වශයෙන් දේශනාව මස්තකයට පමුණුවා නැවත එයම පිඬුකොට දක්වන්නේ එවං පස්සං භික්ඛවෙති යනාදිය කීය. සට්ඨිමත්තානං භික්ඛුනන්ති මෙහි මෙය පුදුමයක් නොවෙයි. යම්කාලයක බුදුරදුන් දේශනා කළ කල්හි භික්ෂූන් හැටක් රහත් වූහ. මේ සූත්රය ධර්මසේනාපති තෙරුන් දේශනා කළ කල්හි භික්ෂූන් හැටක් රහත් වූහ. මහ මුගලන් තෙරුන් දේශනා කළ කල්හි ද අසු මහතෙරවරුන් දේශනා කළ කල්හි ද රහත් වූහ. මෙය පුදුමයක් නොවේ. ඒ ශ්රාවකයෝ මහා අභිඥා ලාභීහුය.
මෑත කාලයෙහි ලංකාදීපයෙහි මලියදේව තෙරුන් වහන්සේ ලෝවාමහාප්රාසාදයෙහි මේ සුත්රය වදාළහ. එකල්හි ද භික්ෂූන් හැටක් රහත් වූහ. ලෝවාමහාප්රාසාදයේ යම්සේ ද තෙරුන් වහන්සේ එසේම මහා මණ්ඩපයෙහි ද මේ සුත්රය වදාළහ. මහා විහාරයෙන් නික්මී සෑගිරියට වැඩියාහ. එහි ද වදාළහ. එයින් ශාක්යවංශ විහාරයෙහි ද කුටාලි විහාරයේ ඇතුල් ගෙහි ද මුතියංගණයෙහි ද වාතක පර්වතයෙහි නැගෙනහිර ගෙහි ද දීඝවාපියෙහි ද ලෝකන්දරයේ ග්රාමමණ්ඩපයෙහි ද වදාළහ. ඒ ඒ ස්ථානයන්හි භික්ෂූන් හැට හැටනමක් බැගින් රහත් වූහ. එයින් නික්මී තෙරුන් වහන්සේ සිතුල්පව්වට වැඩියහ. එකල්හි සිතුල්පව්ව විහාරයෙහි හැට වයස් වැඩි මහා තෙරුන් වහන්සේ මහා පොකුණෙහි කුරුවක තීර්ථ නම් වැසුණු ස්ථානයක් ඇත. එහි තෙරුන් ස්නානය කරන්නෙමියි බැස්සේ මලියදේව තෙරුන් ද උන්වහන්සේ ළඟට ගොස් ස්වාමීනි, ස්නානය කරවන්නෙහිද ඇසීහ. තෙරුන් වහන්සේ කථාවෙන් ම මලියදේව නම් රහත් කෙනෙක් ඇතැයි කියත්. මේ ඔහු වන්නේ යැයි දැන නුඹ දේව දැයි ඇසීහ. එසේය ස්වාමීනි. ඇවත මට හැට වයස්ය. කිසිවෙකුට ශරීරය අතින් ස්පර්ශ කරන්නට නොලැබුණේය. නුඹ නාවවයි ගොඩ වී ඉවුරෙහි සිටියේය.
තෙරුන් සියලු අත් පා ආදී පරිකර්ම කොට මහතෙරුන් නැහැවීය. එදවස බණ අසන දිනයක් වෙයි. ඉක්බිතිව මහතෙරුන් දේවය. අපට ධර්ම දානය දීමට වටියි යැයි කීහ. තෙරුන් ස්වාමීනි යහපතියි පිළිගත්තේය. ඉර බැසගත් කල්හි ධර්ම ශ්රවණය සඳහා ඝෝෂා කළහ. ඉක්මණා වූ හැට වයස් ඇති මහතෙරවරුන් හැට නමක් ධර්ම ශ්රවණය පිණිස ගියාහ. දේව තෙරුන් පද කීමේ අවසානයේ දී මේ සූත්රය පටන් ගත්තේය. සූත්රය අවසානයේ මහතෙරවරුන් හැටනම රහත් වූහ. එයින් තිස්ස මහාවිහාරයට ගොස් වදාළහ. එහිදී ද තෙරවරුන් හැටනමක් රහත් වූහ. එයින් කැළණියට ගොස් නාගමහා විහාරයෙහි කාලකච්ඡ ගමෙහි වදාළහ. එහිදී ද තෙරවරුන් හැටනමක් රහත් වූහ. එයින් දහහතර වන දිනයෙහි යට ප්රාසාදයෙහි වදාළහ. එහිදී ද තෙරවරුන් හැටනමක් රහත් වූහ. පොහොය දවසෙහි මතු ප්රාසාදයෙහි වදාළහ. එහිදී ද තෙරවරුන් හැටනමක් රහත් වූහ. මෙසේ දේවතෙරුන් විසින් මේ සූත්රය දෙසන කල්හි හැට තැනක හැට හැටදෙනා බැගින් රහත් වූහ.
අම්බිල විහාරයෙහි ත්රිපිටක චූළනාග තෙරුන් විසින් මේ සූත්රය කියන කල්හි මිනිස් පිරිස ගව්වක් විය. දෙවි පිරිස යොදුනක් විය. සූත්රය අවසානයේ දහසක් භික්ෂූහු රහත් වූහ. දෙවියන් අතරෙන් එක් අයෙක් පමණක් පෘථග්ජන විය.