චූළරාහුලොවාද සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් රාහුලෝවාද සූත්‍රය මෙසේ අසන ලදි. එහි විමුත්තිපරිපාචනීයාති විමුත්තිය මේරීම විමුත්ති පරිපාචනීය නමි. ධම්මාති පසොළොස් ධර්මයයි. ඒවා සද්ධා ඉන්ද්‍රිය ආදීන්ගේ පිරිසිදුවීමට කාරණා වශයෙන් දත යුතුයි. එහෙයින් කියන ලදි -
සද්ධාව නැති පුද්ගලයා අත්හැරීමය. සද්ධාව ඇති පුද්ගලයා සේවනය කිරීම ප්‍රසාදය ඇති විය යුතු සූත්‍රය සිහිකිරීම මේ ආකාර තුනෙන් සද්ධා ඉන්ද්‍රිය පිරිසිදු වෙයි.
කුසීත පුද්ගලයා අත්හරින්නාහටය. අරඹන ලද වීර්ය ඇති පුද්ගලයා සේවනය කරන්නාහටය. සම්‍යක්ප්‍රධානය සිහිකරන්නාහටය. මේ ආකාර තුනෙන් වීර්ය ඉන්ද්‍රිය පිරිසිදු වෙයි.
සිහිමුළා වූ පුද්ගලයා අත්හරින්නාහටය. එළඹ සිටි සිහිය ඇති පුද්ගලයා ඇසුරු කරන්නාහටය. සතිපට්ඨානය සිහිකරන්නාහටය. මේ ආකාර තුනෙන් සති ඉන්ද්‍රිය පිරිසිදු වෙයි.
නොසංසිඳුණු පුද්ගලයා අත්හරින්නාහටය. සංසිඳුණු පුද්ගලයා ඇසුරු කරන්නාහටය. ධ්‍යාන විමෝක්‍ෂයන් සිහිකරන්නාහටය. මේ ආකාර තුනෙන් සමාධි ඉන්ද්‍රිය පිරිසිදු වෙයි.
නුවණ නැති පුද්ගලයා අත්හරින්නාහටය. නුවණ ඇති පුද්ගලයා ඇසුරු කරන්නාහටය. ගැඹුරු ප්‍රඥාව ඇති ආචාර්යයන් සිහිකරන්නාහටය. මේ ආකාර තුනෙන් පඤ්ඤා ඉන්ද්‍රිය පිරිසිදු වෙයි.
මෙසේ පංච පුද්ගලයින් අත්හරිමෙන් පංච පුද්ගලයන් ඇසුරු කිරීමෙන් පංච සූත්‍රස්ඛන්ධයන් සිහිකිරීමෙන් යන මේ පසළොස් ආකාරයෙන් මේ පංච ඉන්ද්‍රියෝ පිරිසිදු වෙත්.
විමුත්තිය මුහුකුරා යන තවත් පසළොස් ධර්මයක් වෙත් - සද්ධාව පස්වෙනි මේ ඉන්ද්‍රියෝය. අනිත්‍ය සංඥාව. අනිත්‍යයෙහි දුක් සංඥාව. දුකෙහි අනන්ත සංඥාව. ප්‍රහාණ සංඥාව. විරාග සංඥාව යන මේ පහ නිබ්බේධියභාග සංඥාවන්ය. මේඝිය තෙරුන්ට කියන ලද කල්‍යාණ මිත්‍රතාව ආදී පංච ධර්මයෝය. කුමන වේලාවක බුදුරදුන්ට මේ අදහස වීද? උදෑසන ලෝකය බලන කාලයේය.
අනෙකානි දෙවතාසහස්සානීති ආයුෂ්මත් රාහුලයන් විසින් පදුමුත්තර බුදුරදුන්ගේ පාමුල පාලිත නාගරාජ කාලයෙහි ප්‍රාර්ථනාවක් තබන්නවුන් සමඟ ප්‍රාර්ථනාව තබන ලද දෙවියෝය. ඔවුන් අතරෙන් සමහරෙක් භූමාටු දෙවියන්ය. සමහරෙක් ආකාශස්ථ දෙවියන්ය. සමහරෙක් චාතුම්මහාරාජිකයෝය. සමහරෙක් දිව්‍ය ලෝකයෙහි සමහරෙක් බ්‍රහ්ම ලෝකයෙහි උපන්නාහ. මේ දවසෙහි සියල්ලෝ ම එකතැන අන්ධවනයෙහි ම රැස්වූහ. ධම්මචක්ඛුන්ති උපාලිඕවාද දීඝනඛ සුත්‍රයන්හි පළමු මාර්ගය ධර්ම චක්‍ෂුෂ යැයි කියන ලදි. බ්‍රහ්මායු සූත්‍රයෙහි තුන් ඵලයෝය. මේ සූත්‍රයෙහි මාර්ග හතර ද ඵල හතර ද ධර්ම චක්‍ෂුෂ යැයි දත යුතුයි. එහි සමහර දෙවියෙක් සෝවාන් විය. සමහරෙක් සකෘදාගාමී විය. අනාගාමී අර්හත් වූහ. ඒ දෙවියන් මෙපමණකැයි කියා ගණන් වශයෙන් පිරිසිඳීමක් නැත. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.
රාහුලොවාද සූත්‍ර වර්ණනාව නිමි.
ඡ ඡක්ක සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් ඡ ඡක්ක සූත්‍රය මෙසේ අසන ලදි. එහි ආදිකල්‍යාණන්ති මුල යහපත්ය. හොඳය. දෝෂ නැති කොට දේශනා කරන්නෙමි. මැද ද කෙළවර ද මේ ක්‍රමයමයි. මෙසේ බුදුරදුන් අරියවංස පද නවයකින් ද මහාසතිපට්ඨානය හතකින් ද මහා අස්සපුරය පද හතකින් ද ස්තූති කළේය. මේ සූත්‍රය පද නවයකින් ස්තූති කළේය.
වෙදිතබ්බානීති විදර්ශනා සහිත මාර්ගයෙන් දතයුතුයි. මනායතනයෙන් ත්‍රෛභූමික සිත ම කියන ලදි. ධර්මායතනයෙන් බාහිර ත්‍රෛභූමික ධර්මයෝ ද මනෝ විඥානයෙන් දෙකක් හැර පංච විඥානයෙන් ද සෙසු විසිදෙවැදෑරුම් ලෞකික විපාක සිත ද ස්පර්ශ වේදනාව යථොක්ත විපාක විඥානය හා යුක්ත වන්නේය. තණ්හාති විපාක වේදනා ප්‍රත්‍යයෝ ජවන ක්‍ෂණයෙහි උපන් තෘෂ්ණාවයි.
චක්ඛුං අත්තාති වෙන්වූ අනුසන්ධියයි. යට කියන ලද සත්‍ය දෙකෙහි අනාත්මබව දැක්වීම පිණිස මේ දේශනාව පටන් ගන්නා ලදි. එහි න උප්පජ්ජතීති නොයෙදෙයි. වෙතීති පහවෙයි. නිරුද්ධ වෙයි.
අයං ඛො පන භික්ඛවෙති මෙය ද එක් වූ අනුසන්ධියයි. මේ දේශනාව තුන් ආකාර ග්‍රහණයන්ගේ වශයෙන් ව්‍රතය යැයි කියන්නේමය. එතං මමාති යනාදියෙහි තෘෂ්ණා මාන දෘෂ්ටීන්ගේ ගැනීම දත යුතුයි. සමනුපස්සතීති ගැනීම් වශයෙන් දකියි.
මෙසේ ව්‍රතය දක්වා දැන් ගැනීම් තුනෙහි ප්‍රතික්‍ෂේපකිරීම් වශයෙන් නිරෝධය මාර්ගය යැයි මේ සත්‍ය දෙකෙහි විවර්තය දක්වන්නට අයං ඛො පනාති යනාදිය කීය.
නෙතං මමාති යනාදිය තෘෂ්ණාදීන්ගේ ප්‍රතිෂ්ඨ වචනයෝය. සමනුපස්සතීති අනිත්‍ය දුක්ඛ අනාත්මය යැයි දකියි.
මෙසේ විවර්තය දක්වා දැන් තුන් අනුසයන්ගේ වශයෙන් නැවත විවර්තය දක්වන්නට චක්ඛුඤ්ච භික්ඛවෙති යනාදිය කීය. එහි අභිනන්‍දතීති යනාදිය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ම කියන ලදි. අනුසෙතීති ප්‍රහීන නොවූයේ වෙයි. දුක්ඛස්සාති සංසාර දුක හා කෙලෙස් දුක්ඛයාගේ.
මෙසේ තුන් අනුසයන්ගේ වශයෙන් ව්‍රතය කියා දැන් ඔවුන්ට විරුද්ධ වශයෙන් විවතය දක්වන්නේ නැවත චක්ඛුඤ්චාති යනාදිය කීය. අවිජ්ජං පහායාති සසර මූලික අවිද්‍යාව හැර. විජ්ජන්ති අර්හත් මාර්ග විද්‍යාව උපදවා.
ඨානමෙතං විජ්ජතීති මෙතෙක් කථා මාර්ගයෙන් වට්ටවිවට්ට වශයෙන් දේශනාව මස්තකයට පමුණුවා නැවත එයම පිඬුකොට දක්වන්නේ එවං පස්සං භික්ඛවෙති යනාදිය කීය. සට්ඨිමත්තානං භික්ඛුනන්ති මෙහි මෙය පුදුමයක් නොවෙයි. යම්කාලයක බුදුරදුන් දේශනා කළ කල්හි භික්‍ෂූන් හැටක් රහත් වූහ. මේ සූත්‍රය ධර්මසේනාපති තෙරුන් දේශනා කළ කල්හි භික්‍ෂූන් හැටක් රහත් වූහ. මහ මුගලන් තෙරුන් දේශනා කළ කල්හි ද අසු මහතෙරවරුන් දේශනා කළ කල්හි ද රහත් වූහ. මෙය පුදුමයක් නොවේ. ඒ ශ්‍රාවකයෝ මහා අභිඥා ලාභීහුය.