නන්දකොවාද සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් නන්දකොවාද සූත්‍රය මෙසේ අසන ලදි. එහි තෙන ඛො පන සමයෙනාති බුදුරදුන් මහාප්‍රජාපතිය විසින් ඉල්ලන ලද්දේ භික්‍ෂුසංඝයා යවා භික්‍ෂුසංඝයා රැස් කරවා ස්ථවිර භික්‍ෂූන් වාරයෙන් වාරයට භික්‍ෂුණින්ට අවවාද කරත්වා යි සංඝයාට භාර කළහ. ඒ සඳහා මෙය කියන ලදි. එහි පරිසායෙනාති වාරයෙන් න ඉච්ඡතීති තමාගේ වාරය පැමිණි කල්හි දුර ගමකට හෝ ගොස් ඉඳිකටු කර්මාදිය හෝ අරඹා මේ නම් ඇත්තාහට ප්‍රමාදය යැයි කියවයි. මේ අවවාද කාර්යය බුදුරදුන් නන්දක තෙරුන්ට ම භාර කළේය. කුමක් හෙයින් ද? මේ භික්‍ෂුණීන්ට තෙරුන් දැක සිත එකඟ වෙයි. පැහැදෙයි. එහෙයින් මේ භික්‍ෂුණීහු උන්වහන්සේගේ අවවාද පිළිගැනීමට කැමැත්තාහ. (ධර්ම කථා අසන්නට කැමැත්තාහ) එහෙයින් බුදුරදුන් නන්දක තෙමේ තමන්ගේ වාරය පැමිණි කල්හි අවවාද දෙන්නේය. ධර්ම කථා කියන්නේය. වාරයෙන් අවවාද කළේය. තෙරුන් තමන්ගේ වාරය නොකරයි. ඒ කුමක් නිසාද? ඒ භික්‍ෂුණීන් පෙර දඹදිව තමන් රාජ්‍ය කරවන කල්හි තෙරුන්ගේ අන්තඃපුර ස්ත්‍රීහු වූහ. තෙරුන් වහන්සේ පූර්වේනිවාසානුස්සතියෙන් ඒ කාරණය දැන සිතීය. මේ භික්‍ෂුණීසංඝයා මැද සිටින්නා වූ මා උපමා ද කරුණු ද ගෙනහැර දක්වා බණ කියන්නාහු දැක වෙනත් පූර්වේනිවාසානුස්සති ඥානය ඇති භික්‍ෂුවක් මේ කාරණය බලා ආයුෂ්මත් නන්දක තෙමේ අද දක්වාත් අන්තඃපුර ස්ත්‍රීන් අත් නොහරියි. ආයුෂ්මත් තෙමේ අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරණ ලද්දේ හෙබීයයි කිවයුතු යැයි සිතන්නේය. මේ කාරණය බලන්නේ තෙරුන් වහන්සේ තමන්ගේ වාරය නොකරයි. මේ භික්‍ෂුණීන්ට තෙරුන්ගේ ම දේශනාව සප්පාය වන්නේ යැයි දැන ඉක්බිතිව බුදුරදුන් නන්දක ඇමතීය.
පෙර ඒ භික්‍ෂුණීන් ඔහුගේ අන්තඃපුර ස්ත්‍රීන් බව දැනගැනීමට මේ කථා වස්තුවයි. පෙර බරණැස් නුවර පන්සීයක් දාසයෝ ද පන්සීයක් දාසියෝ ද දහසක් එකට වැඩ කරමින් එකම තැන විසීය. මේ නන්දක තෙරුන් එකල වැඩිමහල් දාසයාය. ගෞතමිය වැඩිමහල් දාසියයි. පණ්ඩිත ව්‍යක්ත ඇය වැඩිමහල් දාසයාට භාර්යාව විය. ඒ දහසක් දෙනා ම පින්කම් කරන්නේ එකට ම කරයි. එකල වස්වසන කාලයෙහි පසේබුදුවරුන් පස්නමක් නන්දමුලක පබ්භාරයෙන් ඉසිපතනයට බැස නගරයෙහි පිඩු පිණිස හැසිර ඉසිපතනයට ම ගොස් වස්විසීමට කුටියක් පිණිස හස්ත කර්මය ඉල්ලමුයි සිවුරු පොරවා සවස් කාලයෙහි නගරයට පිවිස සිටුතුමාගේ ගේදොර සිටියාහ. වැඩිමහල් දාසිය කලය ගෙන පැන් තොටට යන්නී නගරයට වඩින පසේබුදුවරයන් දැක්කාය. සිටුතෙමේ උන්වහන්සේලා පැමිණි කාලයෙහි කාරණය අසා අපට ඉඩ නැත යෙත්වායි කීය.
එකල්හි නගරයෙන් නික්මෙන උන්වහන්සේලා කළය අරගෙන පිවිසෙන වැඩිමහල් දාසිය දැක කළය තබා නැමී වැඳ මුව වසාගෙන ආර්යයන් වහන්සේලා නගරයට පිවිසි මොහොතෙහි ම නික්මෙන්නාහුය. හේතු කවරේදැයි ඇසීය. වස්විසීමට හස්ත කර්මයක් ඉල්ලීමට පැමිණියෙමු. ස්වාමීනි. ලැබුනෙහි ද? උපාසිකාවෙනි නැත. කිමෙක් ද? ඒ කුටි අධිපතියන් විසින් ම කළ යුතු ද? දිළින්දන්ටත් කළ හැකි ද? යම්කිසිවෙකුට කළ හැකිය. යහපති ස්වාමීනි අපි කරන්නෙමු යි හෙට මාගේ භික්‍ෂාව පිළිගනුවයි ආරාධනා කොට වතුර ගෙන ගොස් නැවත කළය ගෙන ඇවිත් පැන්තොට මාර්ගයෙහි සිට පැමිණි අනෙත් දාසීහු මෙහි ම වෙව් යැයි කියා සියලු දෙනාම පැමිණි වේලාවෙහි කීවාය. දරුවෙනි, නිතර ම අනුන්ට දාසකම් කරහු ද නොහොත් දාස බවින් මිදීමට කැමැත්හු ද? ආර්යාවෙනි අද ම මිදෙන්ට කැමැත්තෙමු. ඉදින් එසේ නම් හස්තකර්ම නොලැබුණු පසේබුදුවරුන් පස්නමකට මා විසින් හෙට දින දනට ආරාධනා කරන ලදි. නුඹලාගේ ස්වාමියන් විසින් එක් දවසක් හස්තකර්මය දෙව. ඔවුහු යහපති යැයි පිළිගෙන සවස කැලයෙන් ආ කල්හි ස්වාමිවරුන්ට කීවාහ. ඔවුහු ද යහපති යැයි වැඩිමහල් දාසයාගේ ගෙදරට රැස් වූහ.
එකල වැඩිමහල් දාසිය ඔවුන්ට දරුවෙනි හෙට පසේබුදුවරුන්ට හස්තකර්මය දෙවයි අනුසස් කියා යමෙක් අකැමති ද ඔවුන්ට දැඩි ව අවවාද කළාය. ඇය දෙවන දවසෙහි පසේබුදුවරුන්ට දන් දී සියලු දාස පුත්‍රයන්ට සංඥා දුන්නීය. ඔවුන් ඒ මොහොතේම කැලයට ගොස් ද්‍රව්‍ය සම්භාරයන් එකතු කොට සියය සියය වී එක එක කුටිය සක්මන් මළු ආදිය පරිවාර කොට ඇඳ පුටු ද පැන් බොන පරිහරණය කරන භාජන ආදිය ද තබා පසේබුදුවරයන්ට තුන්මාසයක් එහි වාසය කිරීමට ආරාධනා කොට වාර දානය ද පිහිටවූහ. යමෙකුට තමාගේ වාරයේ දී නොහැකි වෙයි ද එම වාරය වැඩිමහල් දාසිය සිය ගෙයින් ගෙනවිත් දෙයි. මෙසේ තුන්මාසයක් උපස්ථාන කොට වැඩිමහල් දාසිය එක එක දාසයාට එක එක සළුව දුන්නේය. මහත් සළු පන්සීයක් විය. ඒවා සකස් කර පසේබුදුවරයන්ට තුන්සිවුරු කොට දුන්නේය. පසේබුදුවරු පහසු තැනකට වැඩියාහ. එම දහසක් දෙනා ද එකට කුසල් කොට මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපන්හ. ඒ පන්සීයක් ස්ත්‍රීහු කලින් කල ඒ පන්සීයක් පුරුෂයන්ගේ ගෙවල්වල උපන්නාහ. සමහර කාලවල සියලු දෙනාම වැඩිමහල් දාසයාගේ ගෙයි වෙත්. නැවත එක් කාලයක වැඩිමහල් දාසයා දෙව්ලොවින් චුතව රජ කුලයෙහි උපන්නේය. ඒ පන්සීයක් දිව්‍ය ස්ත්‍රීහු ද මහත් සම්පත් ඇති කුලවල ඉපදී රාජ්‍යයෙහි සිටි ඔහුගේ ගෙට ගියාහ. මේ ක්‍රමයෙන් සැරිසරන්නෝ අපේ බුදුරදුන්ගේ කාලයෙහි කෝලිය නුවර ද දෙව්දහ නුවර ද ක්‍ෂත්‍රීය කුලවල උපන්නාහ.