පුණ්ණෝවාද සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් පුණ්ණෝවාද සූත්‍රය මෙසේ අසන ලදි. එහි පටිසල්ලානාති හුදකලා බවෙන් තඤ්චෙති ඒ ඇස ද රූපය ද. නන්‍දිසමුදයා දුක්ඛසමුදයොති නන්දිරාග සහගත තෘෂ්ණාව හා එක්වීමෙන් පංචස්ඛන්ධ දුකෙහි එක්වීම වෙයි. මෙසේ ද්වාර හයෙහි දුක්ඛ සමුදය යැයි සත්‍ය දෙකක් වශයෙන් සසර මස්තකප්‍රාප්ත කොට දැක්වීය. දෙවන න්‍යායෙහි නිරෝධ මාර්ගය යැයි සත්‍ය දෙකක් වශයෙන් විවට්ටය මස්තකප්‍රාප්ත කොට වෙනම දැක්වීය. ඉමිනා ච ත්‍වං පුණ්ණාති වෙනම ගැළපීමයි. මෙසේ ඒතාක් දේශනාව වට්ටවිවට්ට වශයෙන් රහත්බවෙහි බහා දැන් පුණ්ණ තෙරුන් හත් තැනක සිංහනාදය නාද කරවන්ට ඉමිනා ච ත්‍වන්ති යනාදිය කීය.
චණ්ඩාති දුෂ්ටය. ඵරුසාති කර්කශය. අක්කොසිස්සන්තීති දශ ආක්‍රෝශ වස්තූන්ගෙන් ආක්‍රෝශ කරන්නාහ. පරිභාසිස්සන්නීති කිමෙක් ද? නුඹ ශ්‍රමණ නම් වෙහි ද? නුඹට මෙය කරන්නෙමියි තර්ජනය කරන්නාහ. එවමෙත්‍ථාති මෙහි මට මෙසේ වන්නේය.
දණ්ඩෙනාති හතර රියන් දණ්ඩෙන් හෝ මුගුරෙන් හෝ සත්‍ථෙනාති එක පැත්තක මුවහත ඇති ආදියෙන්. සත්‍ථහාරකං පරියෙසන්තීති ජීවිතය තොර කරන ආයුධ සොයත්. මේ තෙරුන් තුන්වන පාරාජිකා වස්තුවෙහි අසුභ කථාව අසා ආත්මභාවය පිළිකුල් කරන අයට ආයුධ ගෙනඒම සෙවීම සඳහා කීය. දමුපසමෙනාති මෙහි දමොති යනු ඉන්ද්‍රිය සංවරාදීන්ට මේ නමකි. සච්චෙන දන්තො දමසා උපෙතො වෙදන්තගූ වුසිත බ්‍රහ්මචරියොති මෙහි ඉන්ද්‍රිය සංවරය දමොති යැයි කියන ලදි. යදි සච්චා දමා චාගා ඛන්ත්‍යාභිය්‍යො න විජ්ජතීති මෙහි ප්‍රඥාව දමොති යැයි කියන ලදි. දානෙන දමෙන සංයමෙන සච්වචනෙනාති මෙහි උපෝසථ කර්මය දමොති යැයි දත යුතුයි. උපසමොති එයට ම පර්යාය වචනයයි.
අථඛො ආයස්මා පුණ්ණොති මේ පුණ්ණ තෙමේ කවරෙක් ද? කුමක් හෙයින් එහි යාමට කැමැති වී ද? මොහු සුනාපරන්ත වැසියෙකි. සැවැත් නුවර සැප නොවන විහරණ සළකා එහි යාමට කැමැති විය.
එහි මේ පිළිවෙළ කථාවයි - සුනාපරන්ත රටෙහි එක් වෙළඳ ගමක මේ සහෝදරයන් දෙදෙනා වූහ. ඔවුන්ගෙන් වැඩිමහලා කිසිකළෙක කරත්ත පන්සියයක් ගෙන ජනපදයට ගොස් බඩු ගෙනෙයි. සමහර කලෙක බාලයා ද බඩු ගෙනෙයි. මේ කාලයෙහි බාලයා ගෙදර තබා වැඩිමහළු සහෝදරයා ගැල් පන්සියය ගෙන ජනපද චාරිකාවෙහි හැසිරෙන්නේ පිළිවෙළින් සැවැත් නුවරට පැමිණ දෙව්රමට නුදුරෙහි ගැල් නවත්වා අනුභව කරන ලද උදෑසන බත්කිස ඇත්තේ පිරිවර ජනයා පිරිවරණ ලද්දේ පහසු තැනක සිටියේය.
එකල්හි සැවැත් නුවර වැසියෝ අනුභව කරන ලද උදෑසන බත්කිස ඇත්තේ අදිටන් කරන ලද උපෝසථය ඇත්තේ සුදු උතුරුසළු ඇත්තේ සුවඳමල් ගත් අත් ඇත්තේ බුදුරදුන් යම් තැනක ද ධර්මය යම්තැනක ද සංඝයා යම්තැනක ද එයට නැමුණේ දකුණු දොරටුවෙන් නික්මී දෙව්රමට යත්. ඔහු ඔවුන් දැක මොවුන් කොහි යන්නේ දැයි එක් මිනිහෙකුගෙන් ඇසීය. කිමෙක් ද? ආර්යෙනි. ලෝකයෙහි බුද්ධ ධම්ම සංඝ රත්නයන් උපන් බව නුඹ නොදන්නෙහි ද? මෙසේ මේ මහජනයා බුදුරදුන් සමීපයෙහි බණ කථාවක් අසන්නට යන්නේය. බුද්ධ යන වචනය ඔහුගේ සම් ආදිය සිඳ ඇටමිදුළු දක්වා පැතිරගෙන සිටියේය. එකල තමාගේ පිරිස විසින් පිරිවරණ ලද්දේ ඒ පිරිස සමඟ විහාරයට ගොස් මිහිරි හඬින් ධර්මය දේශනා කරන බුදුරදුන්ගේ පිරිස කෙළවර සිටියේ ධර්මය අසා පැවිද්දට සිත් ඉපදවීය.
එකල බුදුරදුන් කාලය දැන පිරිස යැවූ කල්හි බුදුරදුන් කරා එළඹ වැඳ හෙට දානය සඳහා ආරාධනා කොට දෙවන දවසෙහි මඩුවක් කරවා අසුන් පණවා බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට දානයක් දී උදෑසන අනුභව කොට උපෝසථ අංගයන් අදිටන් කොට භාණ්ඩාගාරිකයා කැඳවා මෙපමණක් බඩු වියදම් කරන ලදි. මෙපමණක් බඩු වියදම් නොකරන. ලදි. සියල්ල කියා මේ වස්තුව බාල සහෝදරයාට දෙවයි සියල්ල පවරා දී බුදුරදුන් ළඟ පැවිදි වී කමටහන් පිළිසරණ විය.
එකල්හි කමටහන මෙනෙහි කරන ඔහුට කමටහන නොවැටහෙයි. එයින් සිතීය. මේ ජනපදය මට කැප නොවේ. මම බුදුරදුන් සමීපයෙන් කමටහන් ගෙන සිය රටට ම යන්නේ නම් ඉතා යෙහැක. එකල්හි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි ඵලසමවතින් නැගිට බුදුරදුන් වෙත එළඹ කමටහන කියවා හත් වරක් සිංහනාදය කර ගියේ ය. එයින් කියන ලදි. අථ ඛො ආයස්මා පුණෙණා -පෙ- විහරතීති
කොහි වාසය කළේ ද? හතර තැනක වාසය කළේය. සුනාපරන්ත රටට පිවිස අම්බහට්ඨ පර්වතයෙහි වැස වෙළඳ ගමට පිඬු පිණිස ගියේය. එකල ඔහුගේ බාල සහෝදරයා හැඳින දානය දී ස්වාමීනි, වෙන තැනක නොගොස් මෙහි වාසය කරවයි ප්‍රතිඥා කරවා එහිම වාසය කරවීය.
එයින් සමුද්‍රගිරි විහාරයට ගියේ ය. එහි අයස්කාන්ත ගලින් පිරිසිදු කරන ලද සක්මනක් ඇත. එහි සක්මන් කරන්නට කිසිවෙක් සමත් නොවෙයි. එහි මුහුදු රැළ ඇවිත් අයස්කාන්ත ගල්වල හැපී මහත් ශබ්ද නගත්. තෙරුන් වහන්සේ කමටහන මෙනෙහි කරන්නවුන්ට පහසු විහරණ වේවයි මුහුද නිශ්ශබ්ද කරවීය.