ආනන්ද භද්දේකරත්ත සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් ආනන්දභද්දේකරත්ත සූත්රය මෙසේ අසන ලදි. එහි පටිසල්ලානා වුට්ඨිතොති ඵලසමවතින් නැගිටියේ. කො නු ඛො භික්ඛවෙති දන්නේ ම කථාසමුට්ඨානය පිණිස ඇසීය.
සාධු සාධුති තෙරුන්ට සාදුකාර දුන්නේය. සාධු ඛො ත්වන්ති පරිමණ්ඩල වූ පදබ්යංජනයන්ගෙන් පිරිසිදුව කියන ලද හෙයින් දේශනාවට ප්රශංසා කරමින් කීය. ඉතිරිය සියලු තැන්හි ම ප්රකටය.
ආනන්දභද්දේකරත්ත සූත්ර වර්ණානව නිමි.
මහාකච්චාන භද්දේකරත්ත සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් මහාකච්චානභද්දේකරත්ත සූත්රය මෙසේ අසන ලදි. එහි තපොදාරාමෙති රත් වූ ජලය ඇති හෙයින් මෙසේ ලබන ලද නම් ඇති ආරාමයෙහි වේහාර පර්වතයේ යට භූම්යස්ථ නාගයන්ගේ පන්සියයක් යොදුන් වූ නාගභවන දිව්යලෝකය හා සමානයි. මැණික්වලින් කරන ලද තලයෙන් ද ආරාම උද්යානවලින් ද සමන්විතයි. එහි නාගයන් ක්රීඩා කරන ස්ථානයෙහි මහත් ජල විලකි. එයින් තපෝදා නම් ගංගාව ගලා බසියි. කරකෂ උණු වතුරය. කුමක් හෙයින් මෙසේ වුවා ද? රජගහනුවර පිරිවරා මහත් ප්රේත ලෝකයකි. එහි මහා ලොහුකුඹු නරක දෙක අතරින් මේ තපෝදා ගංගාව එයි. එහෙයින් එය කර්කශව ගලා බසියි. මෙය කියන ලදි. මහණෙනි, යම් ස්ථානයකින් තපෝදාව ගලා බසියි ද ඒ විල පිරිසිදු ජලය ඇත්තේ ද සිහිල් ජලය ඇත්තේ ද ශීතල ජලය ඇත්තේ ද සුදු ජලය ඇත්තේ ද මනාකොට පිහිටි තොටුපලවල් ඇත්තේ ද සිත්කළු ද බොහෝ මත්ස්යයන් කසුබුවන් ඇත්තේ ද වේ. පියුම් පිපෙත්. එතෙකුඳු වුවත් මේ තපෝදාව මහා නිරය දෙක අතරින් එයි. එහෙයින් මේ තපෝදාව කර්කෂව ගලා බසියි. මේ ආරාමයට ඉදිරියෙහි මහත් ජල විලක් වූයේය. ඒ වශයෙන් මේ ආරාමය තපෝදාරාමය යැයි කියයි.
සමිද්ධීති ඒ තෙරුන්ගේ ආත්මභාවය සමෘද්ධිමත්ය. රූපය ප්රසාද එළවන්නේය. එහෙයින් සමිද්ධි යන නමට පැමිණියේය. ආදිබ්රහ්මචරියකොති මාර්ග බ්රහ්මචර්යාවට පූර්වභාග ප්රතිපත්ති වූයේය. ඉදං වත්වා සුගතො උට්ඨායාසනාති මේ ආදිය මධුපිණ්ඩික සූත්රයෙහි කියන ලද ක්රමයෙන් විස්තර කළ යුතුයි.
ඉති මෙ චක්ඛුන්ති මේ සූත්රයෙහි බුදුරදුන් දොළොස් ආයතන වශයෙන් මාතෘකා තැබීය. තෙරුන් වහන්සේ ද බුදුන් විසින් යට ද්වීසු උපරි චතුත්ථෙචාති යන මේ සුත්ර තුනෙහි පංචස්ඛන්ධ වශයෙන් මාතෘකාව ද විභංගය ද කරන ලදි. මෙහි වනාහි දොළොස් ආයතන වශයෙන් බෙදීම පිණිස මාතෘකාව තබන ලද්දේ යැයි නය ලබා මෙසේ කීය. මේ ක්රමය ලබන්නා වූ තෙරුන් විසින් බැරෑරුම් කරන ලදි. පදයක් නැති තැන පදයක් දක්වන ලදි. අහසෙහි පදයක් කරන ලදි. එහෙයින් බුදුරදුන් මෙම සූත්රය සඳහා ම ඔහු මහණෙනි, මාගේ ශ්රාවක භික්ෂූන් අතරෙන් කෙටියෙන් කියන ලද්දට විස්තරාර්ථ බෙදීම් වශයෙන් මහාකච්චායන අග්රස්ථානය යැයි අගතනතුරෙහි තැබීය. මෙහි චක්ඛුන්ති චක්ෂූර් ප්රාසාදයයි. රූපාති සතර සමුට්ඨානික රූපයෝය. මේ ක්රමයෙන් සෙසු ආයතනයෝ ද දත යුතුයි. විඤ්ඤාණන්ති බලවත් විඥානයයි. තදභින්තින්දති ඒ ඇස ද රූපය ද තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සතුටු වෙයි. අන්වාගමෙති තෘෂ්ණා දෘෂ්ටිය අනුව යයි.
ඉති මෙ මනො අහොසි ඉති ධම්මාති මෙහි සිත නම් භවාංග සිතයි. ධම්මාති ත්රෛභූමික ධර්මාරම්මණයයි.
පණිදහතීති ප්රාර්ථනාව තැබීය. පණිධානපච්චයාති ප්රාර්ථනාව තබන කාරණයයි. ඉතිරිය සියලු තැන්හි ම ප්රකටය.
මහාකච්චානභද්දේකරත්ත සූත්ර වර්ණනාව නිමි.
ලොමසකඞ්ගිය භද්දේකරත්ත සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් ලොමසකංගියභද්දේකරත්ත සූත්රය මෙසේ අසන ලදි. එහි ලොමසකංගීයොති යනු මේ අංග නම් තෙරුන් වහන්සේගේ ශරීරයේ ඊතල ආකාර ලෝම ඇති හෙයින් ලොමසකංගිය යැයි ප්රසිද්ධ විය. චන්දනො දෙවපුත්තොති මොහු කාශ්යප බුදුරදුන්ගේ කාලයෙහි මහත් ධනය ඇති චන්දන නම් උපාසකයෙක් විය. තෙරුවන්ට සිව්පසයෙන් උපස්ථාන කොට දිව්ය ලෝකයෙහි උපන්නේ ය. පළමු නමින් ම චන්දන දේවපුත්රයා යන නමට ගියේය. පණ්ඩුකම්බලසිලායන්ති රතු කම්බිලි ගලෙහි. ඒ රතුකම්බිලිය දෑ සමන් මල් සමූහයකගේ පැහැය ඇති බැවින් පණ්ඩුකම්බලපිලාය යැයි කියයි.
කවරදාක එහි බුදුරදුන් වැඩි සිටියේ ද? බුද්ධත්වයෙන් හත්වන වර්ෂයෙහි සැවැත්නුවර ඇසළ පොහොයේ දී දෙළොස් යොදුන් පිරිස මැද යමාමහ පෙළහර කොට බැස ගණ්ඩබ්බ අඹගස මුල පණවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ දහම් දෙසීමෙන් මහජනයා මහත් දුකින් උදුරා බුදුවරු නම් යම්හෙයකින් පෙළහර කොට මිනිස් පථයෙහි නොවසත්. එහෙයින් ඒ ජනයා බලාසිටිය දී ම ත්රිපද වික්රමය කොට තව්තිසා භවනෙහි පරසතුගස මුල පඬුපුල් ගලෙහි වස් එළඹියේය. ඒ කාලයෙහි විසීය.
තත්ර භගවාති බුදුරදුන් එහි වන්නේ. බොහෝ සෙයින් දස දහසක් සක්වළින් රැස් වූ දෙවියන් විසින් පිරිවරණ ලද්දේ මව කාය සාක්ෂිකොට අභිධර්ම පිටකය දේශනා කරන්නේ ගැඹුරු වූ සියුම් වූ ත්රිලක්ෂණ සහිත වූ රූපාරූප පරිච්ඡේද කථාව අවබෝධ කරන්නට නොහැකි වූ දෙවියන්ට සංවේග ඉපදවීම පිණිස අතරතුර භද්දේකරත්තයෙහි උද්දේශය ද විභංගය ද දේශනා කළේය. එහි මේ දෙව්පුත් තෙමේ ඉගෙන ගන්නේ මේ ගාථා සමඟ විභංගය ඉගෙන ගත්තේය. දිව්ය පුත්රයා වනාහි ප්රමාද අධිෂ්ඨාන හෙයින් දිව්ය අරමුණු වලින් මඩිනු ලබන්නේ පිළිවෙළින් සුත්රය මුළා වූයේ ගාථා පමණක් දැරීය. එහෙයින් කීය. එවං ඛො අහං භික්ඛු ධාරෙමි හද්දෙකරත්තියො ගාථාති
උග්ගණ්හාහි ත්වන්ති ආදියෙහි නිශ්ශබ්දව හිඳගෙන අසමින් ඉගෙන ගනියි. වචනයෙන් සජ්ඣායනා කරන්නේ ඉගෙන ගත්තේ නමි. අනුන්ට කියවන්නේ දරයි නමි. ඉතිරිය ආනන්ද භද්දේකරත්තය හා සමානය.