මහාපුණ්ණම සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මහා පුණ්ණම සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි තදහුති ඒ දවසෙහි මෙහි වෙසෙත්ය යන තේරුමයි. සීලයෙන් හෝ ආහාර වර්ජනයෙන් හෝ වෙසෙත්ය යනු උපෝසථයට නමකි. මෙහි මෙය අත්ථුද්වාරයයි. “ඇවැත් කප්පිනය. උපෝසථයට යමු” ආදීන්හි ප්රාතිමෝක්ෂය දේශනා කිරීම උපෝසථයයි. “විසාඛාවෙනි, මෙසේ අංග අටකින් සමන්විත උපෝසථයෙහි වසව්” ආදියෙහි සීලයයි. හැමකල්හිම ඒකාන්තයෙන් පිරිසිදු වීම ආහාර වර්ජනයයි. උපෝසථ නම් නාග රාජයාය ආදියෙහි නාමයයි. “මහණෙනි, උපෝසථ දිනයෙහි භික්ෂූන් සමග ආවාසයෙහි නොවසව්” ආදියෙහි විසිය යුතු දවසයි. මෙහි ද එම වාසය කරන දවසම ගත යුතුයි. මෙහි ද අට්ඨමිය. චාතුද්දසිය පණ්ණරසිය යැයි ත්රිවිධාකාරයි. එහෙයින් අනෙත් දෙකෙහි නිවාරණය පිණිස පණ්ණරස යැයි කියන ලදි. මාසය සම්පුර්ණ වීම පුණ්ණාය ලෙස ද චන්ද්‍රයා සම්පුර්ණ වීම පුණ්ණමාය ලෙස ද ගැනේ. මෙසේ පුණ්ණාය. පුණ්ණමාය යන පද දෙකෙහි තේරුම දත යුතුයි.
තෙනහි ත්වං භික්ඛු සකෙ ආසනෙ නිසිදිත්වා පුච්ඡාති කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ සිටගෙන සිටියාහුට නොකියා වාඩිකරවූයේ ද? මේ භික්ෂුව සැටක් පමණ භික්ෂූන්ට ප්‍රධාන වූ සංඝස්ථවිර නමයි. භික්ෂූන් සැටක් සමඟ ආරණ්‍යයෙහි වාසය කරයි. ඔවුහු උන්වහන්සේ වෙතින් කමටහන් ගෙන වීර්ය කරති. මහාභූත රූප, උපාදාය රූප, නාම රූප, ප්‍රත්‍ය ලක්ෂණ, ආරම්මණික විදර්ශනා පරිග්‍රහණය කරති. ඔවුන් සවස ආචාර්ය උපස්ථාන සඳහා පැමිණ වැඳ හුන්කල්හි තෙරුන් වහන්සේ මහාභූත පරිග්රහාදිය විචාරයි. ඔවුහු සියල්ල කියත්. මාර්ගඵල ප්‍රශ්න ඇසූ විට කියන්නට නොහැකි වෙත්. ඉක්බිතිව තෙරුන් වහන්සේ සිතීය. මාගේ සමීපයෙහි දී මොවුන්ගේ අවවාදවල පිරිහීමක්ද නැත. මොවුන් පටන්ගත් වීර්යයෙන්ම වාසය කරති. කුකුළෙක් වතුර බොන පමණ කාලයකවත් ප්‍රමාදයක් නැත. එසේ වුවත් මාර්ගඵල උපදවන්නට නොහැකි වෙත්. මම මොවුන්ගේ අදහස් නොදනිමි. මොවුන් බුදුරදුන් විසින් හික්මිය යුතු වන්නේ ය. මොවුන් ගෙන ශාස්තෘන් වහන්සේ ළඟට යමි. ශාස්තෘන් වහසේ මොවුන්ට චරිත වශයෙන් ධර්මය දේශනා කරන්නේ ය. තෙරුන් වහන්සේ එම භික්ෂූන් වහන්සේලා ගෙන බුදුරදුන් සමීපයට ආවේය.
බුදුරදුන් ද සවස් කාලයෙහි ආනන්ද තෙරුන් විසින් එලවන ලද ජලය ගෙන ශරීරය සෘතු ගන්වා මිගාරමාතෘ ප්‍රාසාද පිරිවෙණෙහි පණවන ලද බුද්ධාසනයෙහි වැඩ සිටියේය. භික්ෂු සමූහයා ද උන්වහන්සේ පිරිවරාගෙන සිටියේය.
ඒ වේලාවෙහි හිරු බැස යයි. සඳ නැගෙයි. සඳ එළිය නැත. හිරු එළිය නැත. සඳ හිරු එළිය මකා ෂට්වර්ණ බුදු රැස් යුග්මව බබලමින් දිසා අනු දිසාවන්හි දුවති. සියල්ල යට කී පරිදි විස්තර කළ යුතුයි. ධර්ම කථිකයාගේ ශක්තිය හා ප්‍රමාණය යම්තාක් ද ඒතාක් කිව යුතුයි. මෙසේ වැඩහුන් පිරිසෙන් තෙරුන් වහන්සේ නැගිට ශාස්තෘන් වහන්සේගේ ප්‍රශ්නයට ඉඩ තැබීය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඉදින් මොහු සිටගෙන විචාරණ කළ අපේ ගුරුවරයා සිටගත්තේ යැයි සෙසු භික්ෂූන් ද සිටගනිත්. එයින් තථාගතයන් වහන්සේට අගෞරව කළාක් වන්නේය. වාඩි වී සිටියොත් ගුරුවරයාට අගෞරව කළාක් වන්නේය. එකඟව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට නොහැකි වෙති. ගුරුවරයා හුන් කළ ඔවුහු ද හිඳිති. එවිට එකඟව ධර්ම දේශනාව ශ්‍රවණය කළ හැකි වෙත්. මේ කාරණය නිසා භාග්‍යවතුන් වහන්සේ සිටගෙන සිටියහුට නොකියා වාඩි කරවීය.
ඉමෙ නු ඛෙට භන්තෙති සැක සහිත ප්රශ්නය මෙන් කරන ලදි. තෙරුන් වහන්සේ පංචස්කන්ධයන්ගේ ඉපදීම විනාශය ගෙන රහත් භාවයට පත් රහතන් වහන්සේ නමකි. එහෙයින් විමතියක් නැත. දැනගත්තත් නොදන්නාක් මෙන් ඇසිය යුතුය. ඉදින් දන්නෙකු මෙන් ඇසුවහොත් මොහු දන්නේ යැයි එය විසඳමින් කෙටියෙන්ම කියයි. නොදන්නෙකු මෙන් ඇසුවහොත් එයින් ද මෙයින් ද කරුණු ගෙන විස්තර කරමින් කියයි. සමහරු නොදන්නා දේ දන්නාක් මෙන් ඇසුවේ යැයි දත යුතුයි.
ඡන්ද මූලකාති තෘෂ්ණාව මුල්කොට එවරූපො සියන්ති ඉදින් කාමය ශ්වේත වර්ණ හෝ හරිතාල වර්ණ හෝ කාල වර්ණ හෝ නිලුපුල් වර්ණ හෝ සඳුන් වර්ණ හෝ යනුවෙන් මේ ආකාර වන්නේ යැයි ප්‍රාර්ථනා කරයි. එවං වෙදනොති කුසල වේදනාවක් හෝ සුඛ වේදනාවක් හෝ වේයැයි ප්‍රාර්ථනා කරයි. සංඥාදීන්හි ද මේ ක්‍රමයයි. යම් හෙයකින් අතීතයෙහි ප්‍රාර්ථනාවක් නැත ද ප්‍රාර්ථනා කළා ද එය ලැබීමට නොහැකිය. වර්තමානයෙහි ද නොවෙයි. සුදෙන් කළු බව ප්‍රාර්ථනා කළ ද වර්තමානයෙහි එය නොවෙයි. කළු බවෙන් සුද ද නොවෙයි. දිග හෝ කෙටි ද කෙටි හෝ දිග ද නොවෙයි. දන් දී සිල් සමාදන් වී අනාගතයෙහි ක්ෂත්රියයෙක් හෝ වෙමි. බ්‍රාහ්මණයෙක් හෝ වෙමියි ප්‍රාර්ථනා කරන්නහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වෙයි. එහෙයින් අනාගතයෙන්ම ගන්නා ලදි.