චූළපුණ්ණම සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති චූළපුණ්ණම සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එහි තුණ්හීභූතං තුණ්හීභූතන්ති යම් යම් දිශාවක් බලයි ද ඒ ඒ දිශාවන්හිම නිශ්ශබ්දතාවයයි. අනුවිලොකෙත්‍වාති පස් ආකාර පැහැදීමෙන් යුක්ත වූ ඇස් හැර ඒ ඒ තැන් බලා යටත් පිරිසෙයින් අත් පා හැකිලීමක්වත් නොදැක අසප්පුරුසොති පවිටු පුරුෂයා නොහෙතං භන්තෙති යම්හෙයකින් අන්ධයා නොදකින්නාක් මෙන් ඔහු එය දැනගැනීමට නොහැකි වෙත්. එහෙයින් මෙසේ කීහ. මේ ක්‍රමයෙන්ම මතු දක්වන තැන්හි ද තේරුම දත යුතුයි. අසද්ධම්ම සමන්නාගතොති පවිටු ධර්මයෙන් යුතු වූ අසප්පුරිස භත්තීති අසත්පුරුෂ සේවනයයි. අසප්පුරිස වින්තීති අසත්පුරුෂ සිතින් සිතන්නා අසප්පුරිස මන්තීති අසත්පුරුෂ මන්ත්‍රණයෙන් මන්ත්‍රණය කරන්නා අසප්පුරිස වාචොති අසත්පුරුෂ වචන කියන්නා අසප්පුරිස කම්මන්තොති අසත්පුරුෂ කටයුතු කරන අසප්පුරිස දිට්ඨිති අසත්පුරුෂ දෘෂ්ඨියෙන් යුතු අසප්පුරිස දානන්ති අසත්පුරුෂයන් විසින් දෙනු ලබන දන් ත්‍යාස්ස මිත්තාති ඔවුහු මොහුගේ යහළුවෝය. අත්තව්‍යාබාධායපි චෙතෙතීති ප්‍රාණඝාතය කරමි. අදින්නාදානය කරමි. මිථ්‍යාචාරයෙහි හැසිරෙමි. දස අකුසල කර්ම පථයෙහි සමාදන්ව පවතීමි. මෙසේ තමන්ට දුක් පිණිස සිතයි. පරව්‍යාබාධායාති යම් සේ අසවලා අසවලා මරයි. අසවලාගේ දෙය සොරා ගනියි. දස අකුසල කර්ම පථයෙහි සමාදන්ව පවතියි. මෙසේ ඔහු අණ කරමියි අනුන්ගේ දුක් ගැන සිතයි. උභයව්‍යාබාධායාති මම අසවලා ද අසවලා ද ගෙන දස අකුසල කර්ම පථයෙහි සමාදන්ව පවතිමියි මෙසේ දෙදෙනාගේම දුක් පිණිස සිතයි.
අත්තව්‍යාබාධායපි මන්තෙති මම දස අකුසල කර්ම පථයෙහි සමාදන්ව පවතිමියි කියමින් තමාගේ හානිය පිණිස කතා කරයි. අනෙකා සමඟ අපි දෙදෙනාම එක් වී දස අකුසල කර්ම පථයෙහි යෙදෙන්නෙමුයි කියමින් දෙදෙනාගේම හානිය පිණිස කතා කරයි.
අසක්කච්චං දානං දෙතීති දෙන දේ (දෙය්‍යධර්මය) කෙරෙහිත් පුද්ගලයා කෙරෙහිත් සැලකිලිමත් නොවෙයි. වී කුඩු වැලි ආදී දොස් සහිත සහලින් බත් පිස නොපිරිසිදු ලෙස දීම දෙය්‍යධර්මය කෙරෙහි සැලකිලිමත් නොවීමයි. වැඩහිඳිනා තැන් හැමදීම් ආදිය නොකොට එතන හෝ මෙතන හෝ හිඳුවා එය හෝ මෙය හෝ ආධාරකයක් සේ තබා දන් දෙයි ද එය පුද්ගලයා කෙරෙහි සැලකිළිමත් නොවීමයි. අසහත්‍ථාති තමාගේ අතින් නොදෙයි. දැසිදස්සන් කම්කරුවන් ලවා දෙවයි. අචිත්තිකත්‍වාති යට කී ක්‍රමයෙන් දෙය්‍යධර්මය කෙරෙහිත් පුද්ගලයා කෙරෙහිත් ගරුසරු නැතිව දීමයි. අපවිද්ධන්තීති බැහැර කරනු කැමැත්තෙන් තුඹසෙහි සර්පයා එළවන්නාක් මෙන් දෙයි. අනාගමනදිට්ඨිකොති ඵල විපාක බලාපොරොත්තුවක් නැතිව දෙයි.
තත්‍ථ උප්පජ්ජතීති දන් දී නිරයෙහි නූපදියි. එහෙත් යට කී ක්‍රමයෙන් පවිටු අදහස් නිසා මිථ්‍යාදෘෂ්ටි ගෙන එයින් නිරයෙහි උපදියි. යහපත් පැත්ත මෙයට විරුද්ධ අයුරු දත යුතුයි. දෙවමහත්තතාති කාමාවචර සදෙව් ලොව දෙවියෝ මනුස්සමහත්තතාති ත්‍රිවිධ කුලයන්ගේ සම්පත්ය. ඉතිරිය සියළු තැන්හිම කී පරිදිය. මේ සූත්‍රය හුදෙක් භවය සඳහාම දේශනා කරන ලදි.
චූළ පුණ්ණම සූත්‍ර වර්ණනාව නිමි.
පළමුවැනි දේවදහ වර්ගය සමාප්තයි.
අනුපද වර්ගය
අනුපද සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති යනු අනුපද සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි යන්නයි. එහි එතදවොචාති යනෙන් මොහු පණ්ඩිතයෙකි යි ආදී ක්‍රමයෙන් දහම් සෙනෙවි සැරියුත් තෙරුන්ගේ ගුණ කතාව කීය. සෙසු තෙරුන් අතුරෙන් මහමුගලන් තෙරුන්ගේ සෘද්ධි ගුණය ප්‍රකටය. මහකසුප් තෙරුන්ගේ ධුතාංග ගුණය ද අනුරුද්ධ තෙරුන්ගේ දිවැස් ගුණය ද උපාලි තෙරුන්ගේ විනයධර ගුණය ද රේවත තෙරුන්ගේ ධ්‍යාන සුවයෙන් පසුවන ගුණය ද අනඳ තෙරුන්ගේ බහුශ්‍රැත ගුණය ද ප්‍රකට විය. මෙසේ ඒ ඒ තෙරවරුන්ගේ ඒ ඒ ගුණයන් ප්‍රකටය. සැරියුත් තෙරුන්ගේ ගුණ අප්‍රකටය. කුමක්හෙයින් ද යත්? ප්‍රඥාවන්තයින්ගේ ගුණ නොකී කල්හි දැනීමට නොහැකිය. බුදුරදුන් සැරියුත් තෙරුන්ගේ ගුණ කියන්නෙමියි සභාග පිරිස් කැඳවූහ. මෙදින සැරියුත් තෙරුන්ගේ සභාග පිරිස රැස්වූවාහ. ඔවුන් රැස්වුණු බව දැක බුදුරදුන් ගුණ කියමින් මේ දේශනාව ඇරඹූහ.
එහි පණ්ඩිතොති ධාතු කුසලතාව, ආයතන කුසලතාව, ප්‍රතීත්‍යසමුප්පාද කුසලතාව, ඨානාඨාන කුසලතාව යන මේ කරුණු සතරෙන් පණ්ඩිත වූයේ යනුයි. මහාපඤ්ඤොති යනාදීන්හි මහා නුවණින් යුතු වූයේ යන තේරුමයි.
එහි මේ මහා ප්‍රඥා ආදීන්ගේ නානත්වයයි. එහි මහාප්‍රඥා යනු කවරේද? මහත් වූ සීලස්ඛන්‍ධය පිළිගන්නේ මහා ප්‍රඥාවයි. මහත් වූ සමාධිස්ඛන්‍ධය, ඥානස්ඛන්‍ධය, විමුත්තිස්ඛන්‍ධය, විමුත්තිඥානදර්ශනස්ඛන්‍ධය පිළිගැනීම ද මහා ප්‍රඥාව වේ. මහාඨානාඨාන, මහා විහාරසමාපත්ති, මහා ආර්යසත්‍ය, මහා සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන ඉද්ධිපාද, මහා ඉන්ද්‍රිය බල, බොජ්ඣංග, මහා ආර්ය මාර්ග, මහා ශ්‍රාමණ්‍යඵල, මහා අභිඥා, මහා පරමාර්ථය වන නිර්වාණය පිළිගැනීම ද මහා ප්‍රඥාව වේ.