ගෝපකමොග්ගල්ලාන සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති ගෝපකමොග්ගල්ලාන සූත්‍රයයි. අචිරපරිනිබ්බුතෙ භගවතීති භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී ධාතු බෙදීම් කොට ධර්ම සංගායනා කරන්නට රජගහ නුවරට ආ කාලයෙහි රඤ්ඤො පජ්ජොතස්ස ආසංකමානොති චණ්ඩපජ්ජෝත නම් රජු බිම්බිසාර රජුගේ යහළුවෙකි. ජීවක යවා බෙහෙත් කරවන ලද කල පටන් අතිශයින් මිත්‍ර විය. ඔහු අජාසත්ත විසින් දේවදත්තගේ වචනය ගෙන පියා මැරුවේ යැයි අසා මාගේ ප්‍රිය මිත්‍රයා මරා මොහු රාජ්‍ය කරන්නේ යැයි සිතයි. මාගේ යහළුවාගේ මිත්‍රභාවය ඇති බව දැනුම් දෙමියි මෙසේ කීය. එය අසා ඔහුට සැකයක් ඉපදුනි. එහෙයින් රඤ්ඤො පජ්ජොතස්ස ආසංකමානොති යන්න කියන ලදි. කම්මන්තොති පිට නගරයෙහි නගර අළුත්වැඩියා කිරිම පිණිස කටයුතු කරන තැනට
උපසඞ්කමීති අපි ධර්ම විනය සංගායනා කිරිමට හැසිරෙමු. මොහු මහේශාක්‍ය රාජ වල්ලභයෙකි. සංග්‍රහ කළාම වේළුවනය ආරක්‍ෂා කරන්නේ යැයි සිතමින් පැමිණියේය. තෙහි ධම්මෙහීති ඒ සර්වඥතා ඥානයෙහි සබ්බෙන සබ්බන්ති සියළු ආකාරයෙන් සියල්ල සබ්බථා සබ්බන්ති සියළු කොටස් වලින් සියල්ල කුමක් අසම්දැයි අසයි. ශාස්තෘවරු හයදෙනා පළමුව උපන්නේ ය. අප්‍රසිද්ධ කුල වලින් නික්ම පැවිදි විය. ඔවුහු තථාගතයන් වහන්සේ වැඩ සිටිද්දීම කළුරිය කළහ. ඔවුන්ගේ ශ්‍රාවකයෝ ද අප්‍රසිද්ධ කුල වලින් නික්ම පැවිදි විය. ඔවුහු තථාගතයන් වහන්සේ වැඩසිටිද්දීම කළුරිය කළහ. ඔවුන්ගේ ශ්‍රාවකයෝ ද අප්‍රසිද්ධ කුල වලින්ම පැවිදි විය. ඔවුන්ගේ ඇවෑමෙන් මහත් වාදවිවාද කළහ. මහණ ගොයුම්තෙමේ උසස් කුලයෙන් නික්මව පැවිදි විය. උන්වහන්සේගේ ඇවෑමෙන් ශ්‍රාවකයන්ගේ මහත් විවාදයක් වන්නේ යැයි මේ කථාව සියළු දඹදිව පැතිර ගියේය. බුදුරදුන් වැඩසිටිද්දී භික්‍ෂූන්ගේ වාදයක් නොවීය. යම් වාදයක් වුණි ද එය එහිම සංසිඳුණි. පරිනිර්වාන කාලයෙහි යොදුන් හැට අටදහස් සියයක් වූ සිනේරු පර්වතය සොලවන්නට සමර්ථ වූ සුළඟ ඉදිරියෙහි පැරණි කොලයක් කෙසේ සිටින්නේ ද? දස පාරමිතා පුරා සර්වඥ බවට පත්වූ ශාස්තෘන් වහන්සේට අලජ්ජි වූ මරු කවරෙක් අනෙකෙක් ලැජ්ජා කරන්නේ යැයි මහත් සංවේගයක් උපදවා බොහෝ භික්‍ෂූන් සමගිව සංසිඳුණාක් මෙන් කින්නු නො එතන්ති මෙය විචාරන්නෙමියි ප්‍රශ්න කරයි. අනුඤ්ඤායමානොති කළ නොකළ දෙය දන්නේය යන තේරුමයි.
අත්‍ථි නු ඛොති මෙයින් යට ප්‍රශ්නයම අසයි. අප්පටිසරණෙති අප්‍රතිසරණ ධර්ම විනයෙහි කො හෙතු සාමග්ගියාති තොපගේ සමගියට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ධම්මපටිසරණාති අපට ධර්මය පිහිටයි. ධර්මය අවශ්‍යයයි ප්‍රකාශ කරයි.
වත්තතීති ප්‍රගුණව පැමිණෙයි. ආපත්ති හොති වීතික්කමොති මේ දෙකම බුදුරදුන්ගේ පැණවීම් ක්‍රමයමයි. යථා ධම්මං යථා සත්‍ථං කාරෙමාති යම් සේ ධර්මය අනුසාසනා අනුව සිටියාහු ද එසේම කරණ යන තේරුමයි.
න කිර නොභවන්තො කාරෙන්ති ධම්මො න කාරෙතීති පද දෙකෙහිම නො කාරය නිපාතයකි. මෙසේ ඇති කළ පින්වත්හු නොකරවත්. ධර්මය ද කරවත්. මෙය මෙහි තේරුමයි.
තග්ඝාති ඒකාංස නිපාතයකි. කහං පන භවං ආනන්‍දෙති කිමෙක් ද? තෙරුන් වහන්සේ වේළුවනයෙහි වාසය කරන බව නොදනී ද දනියි. මොහු විසින් වේළුවනයට ආරක්‍ෂාව දෙන ලදි. එහෙයින් තමාගේ උසස් බව කැමතිව විචාරයි. කුමක් හෙයින් ඔහු විසින් එහි ආරක්‍ෂාව දෙන ලද ද? හෙතෙම එක් දිනක් මහා කාත්‍යායන තෙරුන් ගිජුකුළු පර්වතයෙන් බසිනු දැක මොහු වඳුරෙක් මෙනැයි කීය. භාග්‍යවතුන් වහන්සේ ඒ කතාව අසා කමා කරගනුව. නැතිනම් මේ වේළුවනයෙහිම ගොනගුල් වඳුරෙක් වේයැයි කීය. ඔහු ඒ කතාව අසා ශ්‍රමණ ගෞතමයන්ගේ කතාවෙහි දෙවිදියක් නම් නැත. පසුව වඳුරුව උපන්නා වූ මට ආහාර පිණිස යැයි වේළුවනයෙහි නොයෙක් නොයෙක් වෘක්‍ෂයන් වවා ආරක්‍ෂාව දුන්නේය. පසුකාලයෙහි කළුරිය කොට වඳුරුව ඉපිද වස්සකාර යැයි කී කළ පැමිණ ළඟ සිටියි. තග්ඝ භො ආනන්‍දාති මෙසේ තෙරුන් වහන්සේ විසින් පිරිස මැද තමාගේ උසස් බව දැන මම ද තෙරුන් වහන්සේ උසස් කරන්නෙමි යි මෙසේ කීය.
න ඛො බ්‍රාහ්මණාති තෙරුන් වහන්සේ සිතීය. බුදුරදුන් විසින් වර්ණනා කළ ධ්‍යාන ඇත. වර්ණනා නොකළ ධ්‍යාන ද ඇත. මේ බ්‍රාහ්මණයා වනාහි සියල්ලම වර්ණනා කරයි. ප්‍රශ්න විසඳන්නට නොහැකිය. ප්‍රශ්නය සෘජු කොට කියන්නෙමියි මෙය කීමට පටන් ගත්තේය. මොහුගේ මුඛය බලන්නට නො හැක්කේ ය. පිණ්ඩපාතය රකින්නට ද නො පුළුවන. ප්‍රශ්නය සෘජුකොට කියන්නෙමියි එය කියන්නට ආරම්භ කළේය. අන්තරං කරිත්‍වා ඇතුළත් කොට එවරූපං ඛො බ්‍රාහ්මණ සො භගවා ඣානං වණ්ණෙසීති මෙහි සාමූහික ධ්‍යාන අදහස කියන ලදි.