සාමගාම සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් සාමගාම සූත්‍රය මෙසේ අසන ලදි. එහි සාමගාමෙති සාමය කැමැත්තන් වැඩි හෙයින් ලබන ලද නම් ඇති ගමෙහි, අධුනා කාලකතොති එකනෙහි කළුරිය කළ, ද්වෙධික ජානාති දෙකොටසකට බිඳුන භණ්ඩනාදීන්හි පූර්වභාග කලහයයි. ඉමං ධම්මවිනයං අජානාති මේ ආදි විරුද්ධ වචනකීම විවාදයයි. විතුදන්තාති විඳින සහිතම්මෙති මාගේ වචනය අර්ථ සහිතය. අවිචිණ්ණන්තෙ විපරාවත්තන්ති යම් වචනයක් බොහෝ කල් සේවනය කිරීමෙන් ප්‍රගුණ ද එය මාගේ වාදය නිසා නැවතුනේය. ආරොපිතො තෙ වාදොති නුඹගේ මත්තෙහි මා විසින් වරද ආරෝපනය කරන ලදි. චරවාදප්පමොක්ඛායාති බත් කබල ගෙන ඒ ඒ තැන්වල ගොස් වාදයෙන් මිදීම පිණිස මත්තෙහි පරීක්‍ෂා කර බලමින් හැසිරෙව. නොහොත් මා විසින් ආරෝපනය කරන ලද වාදයෙන් තමා නිදහස් වෙව. සචෙ පහොතීති ඉදින් හැකිනම් වධොයෙවාති මැරීමමයි.
නාතපුත්තියෙසූති නාතපුත්තයාගේ ශිෂ්‍යයන් කෙරෙහි නිබ්බින්‍ද රූපාති කලකිරුණු ස්වභාව ඇත්තේ වැඳීම් ආදිය ද නොකරති. විරත්තරූපාති ප්‍රේමය නැති පටිවානරූපාති ඔවුන්ගේ සත්ක්‍රියාවෙන් නතරවුණු ස්වභාව ඇති යථාතන්ති යම් පරිදි වරදවා කියන ස්වභාව ඇති ධර්මවිනයෙහි කලකිරුණු ප්‍රේමය නැති වීද එසේ වූහ යන තේරුමයි. දුරක්ඛාතෙති වරදවා කියන දුප්පවෙදිතෙති වරදවා දැනගත් අනුපසමසංවත්තනිකෙති රාගාදීන්ගේ සංසිඳීම කරන්නට අසමර්ථ භින්නත්‍ථුපෙති වෙන්ව පිහිටියා වූ. එහි ඔවුන්ගේ නාතපුත්තම පිහිට වූ අර්ථයෙන් ථූපයයි. ඔහු වෙන්ව මැරුණි. එහෙයින් භින්නත්‍ථුපෙති යැයි කියන ලදි. අප්පටිසරණෙති ඔහුගේ අභාවයෙන් පිහිටක් නැත.
මේ නාතපුත්‍ර තෙමේ නාලන්දා වැසියෙකි. කුමක්නිසා ඔහු පාවානුවර කළුරිය කළේ ද? ඔහු උපාලි ගෘහපතියා විසින් අවබෝධ කරගත් සත්‍යයෙන් ගාථා දහයකින් කියන ලද බුදුගුණ අසා උණු ලේ දැමීය. පසුව අපහසු වූ ඔහු ගෙන පාවා නුවරට ගියාහ. ඔහු එහිදී කළුරිය කළේය. කළුරිය කරන්නේ මාගේ ලබ්ධිය අනිර්යානිකය. හරයක් නැත. අපි ද විනාශ වීමු. සෙසු ජනයා මා විසින් අපායගාමි කරන ලදි. ඉදින් මම මාගේ සසුන අනිර්යානික යැයි කීවත් නොඅදහති. මම ඒකාන්තයෙන් දෙන්නෙකුට එක ආකාරයෙන් නොඋගන්වන්නේය. මොවුහු මාගේ ඇවෑමෙන් ඔවුනොවුන් වාද කරති. බුදුරදුන් ඒ විවාදය නිසා එක ධර්මයක් කියන්නේය. එයින් ඔවුහු ශාසනයේ මහත්බව දැනගනිති.
එකල අතවැසියෙක් ඔහු වෙත පැමිණ කියන්නේය. ස්වාමීනි, නුඹ වහන්සේ දුර්වලය. මේ ධර්මයෙහි සාරය මට කියව. ඇවත නුඹ මාගේ ඇවෑමෙන් ශාස්වතය ගනුව. අනෙකෙකු පැමිණ ඇසූ කල්හි උච්ඡේදය ගනුවයි කියයි. මෙසේ දෙන්නෙකු එක ලබ්ධිකයන් නොකොට බොහෝ ආකාරයෙන් උගන්වා කළුරිය කළේය. ඔවුහු ඔහුගේ ආදාහනය කොට රැස් වූවාහු ඔවුනොවුන් විචාළහ. ඇවැත්නි ආචාර්යන් වහන්සේ කවරෙකුට හරය කීවේද? එක් අයෙක් නැගිට මට යැයි කීය. කුමක් කීයේද? ශාස්වතයයි. වෙනකෙක් එය ප්‍රතික්‍ෂේප කොට මට හරය කීවේයැයි කීය. මෙසේ සියල්ලෝම මට හරය කීවේය යැයි කීය. මම ජ්‍යෙෂ්ඨයා වෙමියි ඔවුනොවුන් වාද කරන්ගෙන ඇනුම් බැනුම් ඇති කරගෙන අත් පා ආදියෙන් පහර ගසාගෙන එක මගෙහි යෑමට බැරිව නොයෙක් දිශාවන්හි ගියාහ. සමහරු ගිහි වූහ.
භාග්‍යවතුන් වහන්සේ ධරමාන කාලයෙහි භික්‍ෂු සංඝයාගේ වාදයක් නොඉපදුණි. එසේ වාද කාරණයක් උපන් කල්හි බුදුරදුන් ම ගොස් හෝ භික්‍ෂුන් ගෙන්වාගෙන හෝ ඉවසීම මෛත්‍රිය අවිහිංසා ආදි සිහිකළයුතු ධර්මයන්හි එක් කොටසක් කියා වාදය සංසිඳුවති. මෙසේ ධරමාන කාලයෙහි සංඝයාට පිහිටක්ම විය. පිරිනිවියේ ද අවිවාදයට කරුණු දේශනා කොටය. භාග්‍යවතුන් වහන්සේ සූත්‍රයෙහි දේශනා කරන ලද සතර මහාපදේශ අද තෙක් භික්‍ෂුන්ට අවශ්‍යයෙන්ම පිහිට වෙයි. එසේම ඛන්‍ධකයෙහි ද සතර මහාපදේශ දේශනා කරන ලදි. සූත්‍රයෙහි සතර ප්‍රශ්නවිඳීම් ක්‍රමය ද දේශනා කරන ලදි. එහෙයින් කියන ලදි. “ආනන්ද මා විසින් නුඹලාට යම් ධර්මයක් විනයක් දේශනා කරන ලද ද පණවන ලද ද එය නුඹලාට මාගේ ඇවෑමෙන් ශාස්තෘ වන්නේය.”
අථ ඛො චුන්‍දො සමණුද්දෙසොති මේ තෙරුන් වහන්සේ ධර්ම සේනාපති සැරියුත් තෙරුන්ගේ කනිටු සහෝදරයායි. ඒ භික්‍ෂුව උපසම්පදා නැති කාලයෙහි චුන්ද සමණුද්දෙස යැයි ව්‍යවහාර කොට ස්ථවිර කාලයේ ද එසේම ව්‍යවහාර කළහ. එහෙයින් චුන්දො සමණුද්දෙසොති යන්න කියන ලදි. උපසංකමීති කුමකට පැමිණියේ ද? නාතපුත්‍ර තෙමේ කළුරිය කළ කල්හි දඹදිව මිනිස්සු ඒ ඒ තැන්වල කතා පැවැත්වූහ. නිගණ්ඨ නාතපුත්‍ර තෙමේ එක ශාස්තෘවරයෙක් යැයි ප්‍රසිද්ධය. ඔහුගේ කළුරිය කිරීමෙන් ශ්‍රාවකයන්ට මෙබඳු වාදයක් උපන. ශ්‍රමණ ගෞතම තෙමේ දඹදිව හිරු සඳු මෙන් ප්‍රසිද්ධය. උන්වහන්සේ පිරිනිවි කල්හි කෙබඳු වාදයක් ඇතිවන්නේ ද? තෙරුන් වහන්සේ ඒ කතාව අසා සිතීය. මේ කතාව බුදුරදුන්ට දන්වන්නෙමි. බුදුරදුන් මේ හේතුකොට එක් දේශනයක් කරන්නාහ. උන්වහන්සේ නික්මී සාමගාමය යම් තැනක ද ආනන්ද තෙරුන් යම් තැනක ද එතැනට පැමිණියේය. එනවිටම බුදුරදුන් වෙත නොගොස් උපාධ්‍යාය වූ ආනන්ද තෙරුන් වෙතට පැමිණියේය යන තේරුමයි. උන්වහන්සේට මෙබඳු සිතක් විය. මාගේ උපාධ්‍යායයන් වහන්සේ මහත් නුවණ ඇත්තෙකි. උන්වහන්සේ මේ පණිවුඩය බුදුරදුන්ට දන්වන්නාහ. ඉක්බිතිව බුදුරදුන් සුදුසු පරිදි ධර්මය දේශනා කරති. කථාපාභතන්ති කථා මූලයයි. මූලයට පාභතං යැයි කියයි. එහෙයින් කීය.