පඤ්චත්තය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්තිං පංචත්තය සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එහි එකෙති සමහරුය. සමණ බ්‍රාහ්මණාති පරිබ්‍රාජක බවට පැමිණි බැවින් ශ්‍රමණයෝය. ජාතියෙන් බමුණෝය. ලෝකයා විසින් මහණ බමුණෝයැයි මෙසේ සම්මත කරන ලදි. අපරාන්තය විශේෂයෙන් කල්පනා කොට ගන්නවුන් අපරාන්ත කප්පික නම් වේ. මෙහි අන්ත නම් “සක්කා යො ඛො ආවුසො එකො අන්තොති” ආදියෙහි මෙන් මෙහි දී කොටස කැමතිවන ලදී. කප්ප නම් තෘෂ්ණා දෘෂ්ටියයි. මෙය කියන ලදී. කප්ප නම් උදාන වශයෙන් තෘෂ්ණා කල්පය, දෘෂ්ටි කල්පය යැයි කල්ප දෙකකි. එහෙයින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොපැමිණි ස්කන්ධ කොටස කල්පනා කොට සිටියේ අපරාන්ත කල්පය යැයි මෙහි මෙසේ අර්ථය දත යුතුයි. ඔවුන්ගේ මෙසේ අපරාන්තය කල්පනා කොට සිටියවුන්ගේ නැවත නැවත ඉපදීම් වශයෙන් අපරාන්තය අනුව ගිය දෘෂ්ටියම අපරාන්ත දෘෂ්ටිය වේ. ඔවුහු මෙසේ දෘෂ්ටි ඇත්තෝ ඒ අපරාන්තය අරඹයා පැමිණි නිසා අනෙත් ජනයා ද දෘෂ්ටි ගත කරන්නාහු අනෙකවිහිත අධිවුත්ති පද යැයි කියත්. අනෙකවිහිතානීති නොයෙක් වැදෑරුම්ය. අධිවුත්ති පදානීති නාමපද යි. නොහොත් සිදු වූ අර්ථය මැඩ පවත්වා ස්වභාව වශයෙන් නොගෙන පවතින හෙයින් අධිවෘත්ති දෘෂ්ටිය යයි කියත්. අධිවෘත්තීන්ගේ පද අධිවෘත්ති පදයි. දෘෂ්ටිය ප්‍රකාශ කරන වචනය අර්ථයයි.
සඤ්ඤීති සංඥාවෙන් සමන්විතය. අරොගොති නිත්‍ය බව, ඉත්‍ථෙකෙති මෙසේ සමහරය යනුයි. මෙයින් සොළොස් සඤ්ඤීවාද කියන ලදහ. අසඤ්ඤීති මෙයින් අට වැදෑරුම් අසඤ්ඤී වාදයෝ කියන ලදහ. නෙවසඤ්ඤී නාසඤ්ඤීති මෙයින් නෙවසඤ්ඤී නාසඤ්ඤී වාදයෝ අට දෙන කියන ලදහ. සතො වා පන සත්තස්සාති මෙයින් උච්ඡේද වාද හත කියන ලදී. එහි සතොති විද්‍යමාන වන්නහුගේය. උච්ඡෙදන්ති නම් සිඳීමයි. විනාසන්ති නොපෙනීමයි. විභවන්ති භවයාගේ පහවීමයි. මේ සියල්ල ඔවුනොවුන්ට පර්යාය වචනයෝය.
දිට්ඨධම්ම නිබ්බානං වා පනාති මෙයින් දිට්ඨධම්ම නිබ්බාන වාද පහ කියන ලදි. එහි දිට්ඨධම්මොති ප්‍රත්‍යක්‍ෂ ධර්මය යැයි කියනු ලබයි. ඒ ඒ තැන්හි තබන ලද ආත්මභාවයට මෙය වචනයකි. ප්‍රත්‍යක්‍ෂයෙහි වූ දිට්ඨධම්ම නිබ්බාන නමි. මේ ආත්මභවයේ දීම දුක් සංසිඳීම යන අර්ථයි. සන්තංවාති සංඥා ආදි වශයෙන් තුන් ආකාරයකින් ශාන්තය. තීණිහොන්තීති සංඥා ආත්මය ආදි ශාන්ති වශයෙන් එකය. අනිකය. දෙකය යැයි මෙසේ තුනකි.
රූපීචාති කරජ රූපයෙන් හෝ කසිණ රූපයෙන් හෝ රූපීය. එහි ලැබුයේ කසිණ රූපය ආත්මය යයි ගනී. තර්කයෙන් රූප දෙක ගන්නේමය. අරූපී වූ අරූප සමාපත්තිය හෝ නිමිත්ත හෝ හැර සංඥා ස්කන්ධය සෙසු අරූපී ධර්මයන් හෝ ආත්මය යයි පණවති. ලාභීහු ද තර්කයෝ ද මෙසේ පණවත්. තුන්වන දෘෂ්ටිය ද මිශ්‍රක ග්‍රහ වශයෙන් පවතී. හතරවැන්න තර්ක ග්‍රහයෙන් ද පවතී. දෙවැනි චතුෂ්කයෙහි පළමු දෘෂ්ටිය සමාපන්නක වාරයෙන් කියන ලදි. දෙවන දෘෂ්ටිය අසමාපන්නක වාරයෙන් ද තුන්වන දෘෂ්ටිය සුප්පමත්තව හෝ සරාවමත්තව හෝ කසිණ පරිකර්ම වශයෙන් ද සිව්වන දෘෂ්ටිය විපුල කසිණ වශයෙන් ද කියන ලදහයි දත යුතුයි.
එතං වා පනෙකෙසං උපාතිවත්තනං සංඥී යන පදයෙන් කෙටියෙන් කියන ලද සඤ්ඤ සත්තකය ඉක්මවන ලද්දවුන්ගේය යන අර්ථයයි. ඇතැම්හු අට්ඨක යැයි ද ප්‍රකාශ කරති. ඒ දෙක මතුවෙහි ප්‍රකාශ වෙයි. මේ එහි සංක්‍ෂේප අර්ථයයි. සමහරු මේ සංඥා හත හෝ අට ඉක්මවන්නට සමත් වෙති. සමහරු අසමත් වෙති. එහි යමෙකුට හැකිවෙත් ද ඔහුම ගත යුතුය. ඔවුන්ගෙන් එක් අයෙක් සංඥාවන් ඉක්මවන්නට සමත් වන්නේද එපරිද්දෙන්ම යම්සේ ගංගාව එතර කරන මනුෂ්‍යයන් අතරෙන් එක් අයෙකු දීර්ඝ වූ ගඟට ගොස් සිටියි. එක් අයෙක් එයින් මතු මහ ගමට ගොස් සිටියි. එපරිද්දෙනි. සමහරු විඤ්ඤාණචඤ්ඤායතනය අප්‍රමාණ වූ ආනංජය යැයි කියා සිටිති. සමහරු ආකිඤ්චඤ්ඤායතනය යැයිද කියා සිටිති. එහි විඤ්ඤාණඤ්චායතනය පළමුකොට දක්වන්නට සමහරු විඤ්ඤාණ කසිණය යැයි කියන ලදි. පසුව ආකිඤ්චඤ්ඤායතනය කියයි. තයිදං ඒ මේ දෘෂ්ටිගතිය ද දෘෂ්ටි ප්‍රත්‍යය ද දෘෂ්ටිආරම්මණය ද තථාගතයන් වහන්සේ දන්නාසේක. මේ හේතුවෙන් මේ නම් දර්ශනයක් ගන්නා ලද්දේයැයි විශිෂ්ඨ ඤාණයෙන් දැනගනියි.