උපාලි සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු උපාලි සුත්‍රයයි. එහි නාලන්‍දායං යනු එනම් ඇති නගරයෙහි ඒ නගරය ගොදුරුගම් කොට පාවාරිකම්බවනෙ යනු දුස්සපාවාරික සිටුගේ අඹ වනයෙහි, එය කාගේ උයනක් විද, හේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ ඒ උයනෙහි කුටි ලෙන් මණ්ඩප ආදියෙන් සැදුණු විහාරයක් කරවා භාග්‍යවතුන් වහන්සේට පැවරීය. ඒ විහාරය ජීවක අඹ උයන මෙන් පාවාරික අම්බ වන යැයි ප්‍රසිද්ධියට පත්විය. එම පාවාරික අඹ වනයෙහි වැඩ වසන සේක යන අර්ථයි. දීඝ තපස්සී යනු දිග බැවින් මෙසේ ලදනම් ඇත්තේ. පිණ්ඩපාත පටික්කන්තො යනු පිණ්ඩපාතයෙන් පසු පැමිණියේ ශාසනයෙහි මෙන් බාහිර ආයතනයෙහි පිණ්ඩපාතයයි ව්‍යවහාරයක් නැත.
පඤ්ඤාපෙති යනු දක්වයි තබයි. දණ්ඩානි පඤ්ඤාපෙති යනු මෙය නිගණ්ඨ සමයෙන් විමසන සේක් මෙසේ ඇසුසේක. කාය දණ්ඩං වචීදණ්ඩං මනො දණ්ඩං යනු මෙහි මුල් දණ්ඩද්වය ඔවුහු අචිත්තක යයි පනවති, යම්සේ සුළඟ හමනවිට අතු සෙලවෙයි. ජලය සැලෙයි. එහි සිතක් නැත. මෙසේ කාය දණ්ඩය ද අචිත්තක වෙයි. යම්සේ සුළඟ හමනවිට තල්වැට ආදිය ශබ්ද කරයිද ජලය ශබ්දකරයිද. එහිද සිතක් නැත. මෙසේ වචීදණ්ඩය ද අචිත්තකම වේයයි මේ දණ්ඩද්වය අචිත්තකයයි පනවත්. සිතවනාහි මනො දණ්ඩයයි පනවති. ඉක්බිති ඔහුට භාග්‍යවතුන් වහන්සේ වචනයක් ප්‍රතිස්ථාපනය කරනු කැමති සේක් කිංපන තපස්සී යන ආදිය වදාළසේක.
කථාවත්‍ථුස්මිං යනු මෙහි කථාවම කථාවත්‍ථුවයි. කථායෙහි පිහිටුවීය යන අර්ථයි. භාග්‍යවතුන් වහන්සේ කුමක්නිසා මෙසේ කළසේක්ද, මෙතෙමේ මේ කථාව රැගෙන ගොස් තමාගේ ශාස්තෘවු මහා නිගණ්ඨයාට දන්වන්නේ ය. ඔවුන්ගේ අසල උපාලි ගෘහපතියා හුන්නේ මේ කථාව අසා මට වාදයක් ආරෝපණය කිරීමට පැමිණෙන්නේ ය. මම ඔහුට ධර්ම දේශනා කරන්නෙමි. හේ තෙවරක් සරණ යන්නේ ය. අනතුරුව ඔහුට චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කරන්නෙමි. හේ සත්‍ය ප්‍රකාශනය අවසන සෝවාන් පෙළෙහි පිහිටන්නේ ය. අනුන්ට සංග්‍රහ පිණිසම මා විසින් පාරමිතා පුරන ලද්දේය යන අර්ථය දකිමින් මෙසේ කළසේක.
කම්මානි පඤ්ඤපෙසි යනු මෙය නිගණ්ඨයා බුදුසමයෙන් විචාරන්නේ කායකම්ම, වචීකම්ම, මනොකම්ම යයි කීය. මෙහි කායද්වාරයෙහි ආදාන ගහණ මුඤ්චන වෝපනත්වයට පත් අෂ්ටකාමාවචර කුසල චේතනා දොළොස් අකුසල චේතනා යනුවෙන් චේතනා විස්ස කාය කම්ම නමි කායද්වාරයෙහි ආදාන ආදියට නොපැමිණ වචීද්වාරයෙහි වචන භේදයට පමුණුවමින් උපන් එම චේතනා විස්ස වචීකම්මනමි. උභයද්වාර වොපනයට නොපැමිණ මනෝ ද්වාරයෙහි උපන් විසිනවයක්වූ කුසලාකුසල චේතනා මනෝ කම්ම නමි එසේවුවද සංක්ෂේපයෙන් ත්‍රිවිධ කාය දුශ්චරිත කාය කම්ම නමි චතුර්විධ වචී දුශ්චරිත වචීකම්ම නමි ත්‍රිවිධ මනෝ දුශ්චරිත මනො කම්ම නමි, මේ සූත්‍රයෙහි කර්මධුරය ඊළඟ සුත්‍රයෙහි පුණ්ණ, මේ කර්ම සතර මා විසින් තමාම දැන සාක්ෂත් කොට දන්නා ලද්දේයයි මෙසේ එන ලද්දේ චේතනා ධුරයයි. යම් තැනක පැවති චේතනා කණ්හ කණ්හ විපාක ආදි භේදය ලබයි. නිර්දේශවාරයෙහි ව්‍යාපාද සහිතවු කාය සංකාරය රැස් කෙරේනුයි ආදී ක්‍රමයෙන් එය කියන ලද්දේමය. කාය ද්වාරයෙහි පැවති දේ මෙහි කාය කම්ම යනුවෙන් අදහස් කෙරිණ. වචීද්වාරයෙහි පැවැත්තේ වචී කර්මද මනෝ ද්වාරයෙහි පැවැත්තේ මනො කර්මද වේ. ඒ නිසා කියන ලදී. මේ සුත්‍රයෙහි කර්ම ද ධුරය ද, අනන්තර සුත්‍රයෙහි චේතනා ද යනුවෙන් භාග්‍ය කර්මය ද කර්මයයි පනවන සේක මේ සුත්‍රයෙහි මෙන්. චේතනාව ද එසේය. මහණෙනි මම චේතනාව කර්මයයි කියමි. සිතා කර්ම කෙරේනුයි. චේතනාව මුල්වන බැවිනි.
මෙහි අකුසලයට පැමිණ කාය කම්ම, වචීකම්ම මහත්යයි කියන්නේ වෙහෙසට පත් නොවේ. කුසලයට පැමිණ මනොකම්ම මහත් යයි කියන්නේද වෙහෙසට පත් නොවේ. එසේම මව මැරීම ආදි කර්ම සතර කයින්ම උපක්‍රම කොට කයින්ම කරයි. නිරයෙහි කල්පයක් සිටිනා සංඝභේද කර්මය වචී ද්වාරයෙන් කරයි. මෙසේ අකුසලයට පැමිණ කාය කර්මය වචී කර්මය මහත් යයි කියන්නේ වෙහෙසට පත්නොවේ. මේ එක් ධ්‍යාන චේතනාවක් කල්ප අසූසතර දහසක් සගසැපත් ගෙනදෙයි. එක්ම මාර්ග චේතනාව සියලු අකුසල් නසා අර්හත්වය ගන්වයි. මෙසේ කුසලයට පත්ව මනෝ කර්මය මහත්යයි කියන්නේ වෙහෙසට පත්නොවේ. මෙතැන භාග්‍යවතුන් වහන්සේ අකුසලයට පැමිණ මනෝකර්මය මහාසාවද්‍යයයි කියමින් නියත මිථ්‍යාදෘෂ්ටිය සඳහා කියන සේක. එහෙයින් කියන ලදී -
මහණෙනි මෙසේ මහා සාවද්‍ය වන්නාවු අන් එකදු දහමක් මිථ්‍යාදෘෂ්ටිය තරම් නොදකින්නෙමි. මහණෙනි වැරදි මිථ්‍යා දෘෂ්ටිය ප්‍රධාන කොට ඇත්තේයයි දැන් නිගණ්ඨයාද තථාගතයන් වහන්සේ ගියමගට පිළිපන්නේ කිසිදු අර්ථ නිෂ්පත්තියක් නොදකින්නේ ආයුෂ්මත් ගෞතමයනි කිමෙක්ද ආදිය කීය.
බාලකිනියා යනු උපාලිට වනාහි බාලක ලොණකාර ගාම නම් ගමක් ඇත. එයින් අයබදු ගෙන මිනිස්සු ආවාහුය. හේ එවු සගයනි අපගේ ශාස්තෘ මහානිගණ්ඨයාණන් බලන්නෙමුයි ඒ පිරිස විසින් පරිවරන ලද්දේ එහි ගියේය. ඒ සඳහා කියනලදී. බාලකිනියාපරියාය යනු බාලකගමෙහි වසන්නවුන් විසින් යන අර්ථයි. උපාලිපමුඛාය උපාලි ජ්‍යෙෂ්ඨකොට ඇති. එහෙත් බාලකිනියා යනු ලාබයන් කැමති බැවින්ද බාලයන් බහුල බැවින්ද යන අර්ථයි. උපාලිපමුඛාය යනු උපාලි ගෘහපතියාම පමණක් එහි මඳක් නුවණ ඇත්තේය. හේ ඒ පිරිසට ප්‍රධානයාය ජ්‍යෙෂ්ඨයාය. එහෙයින්ද උපාලිපමුඛාය යන්න කියන ලදී. හන්‍ද යනු යෝජනාර්ථයෙහි නිපාතයි. ඡවො යනු ලාමක, ඔලාරිකස්ස යනු මහත්වූවහුට උපනිධාය යනු ළඟතබා මෙය කියන ලද්දේවෙයි කායදණ්ඩ සමීපයෙහි තබා, මෙය මහත්ය මෙය මහත්මයයි බලමින් ලාමකවූ මනෝදණ්ඩය බබලයිද කොතැනින් බබලයිද නොබබලයිද ළගතැබීම පමණක්ම ප්‍රමාණවත් නොවේ යයි දක්වයි. සාධු සාධු භන්තෙ තපස්සී යනු දීඝ තපස්සීට සාධුකාර දෙන්නේ භන්තෙ යනුවෙන් නාථපුත්‍රයා අමතයි.
ස්වාමීනි මෙය මට රුචි නොවේ ස්වාමීනි මෙය රුචිය ස්වාමීනි මෙය මට රුචිනොවේ. මායාවී යනු මායාකාරයා ආවට්ට නියාමන්ති යනු දවටා ගන්නා මායම ආවට්ටෙති යන දවටා වටකොට ගනී. ගච්ඡත්‍වං ගහපති යනු කුමක් හෙයින් මහානිගණ්ඨයා ගෘහපති වෙත තෙවරක් දක්වාම යවාද දීඝතපස්සී වනාහි පසුබාන්නේ ම ය. මහා නිගණ්ඨයා විසින් භාග්‍යවතුන් වහන්සේ සමග එක් නගරයක් නිසා වාසයකළද භාග්‍යවතුන් වහන්සේ නොදුටුවිරූය. හේ ශාස්තෘෘන් වහන්සේ සමග වාද කරන්නෙමියි ප්‍රතිඥා දෙන්නෙකි. හේ ඒ ප්‍රතිඥාව ඉවත නොලා බුදුන් දැක්මෙහි අභව්‍යය ඒ නිසා මොහු බුදුන් දැකීම නොලද බැවින් දසබලයන් වහන්සේගේ දර්ශන සම්පත්තියද නෛර්යානික කථා ඇතිබවද නොදන්නේ තුන්වරක් දක්වා යවන්නේමය. දීඝ තපස්සී නම් කලින් කල භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ සිටියි හිඳියි ප්‍රශ්නද අසයි. හේ තථාගතයන්ගේ දර්ශන සම්පත්තියද නෛර්යාණික කථා ඇති බවද දනියි. ඉක්බිති ඔහුට මෙසේ සිතිණ මේ ගෘහපතියා නුවණැත්තේය. ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් දැක්මෙහි පැහැදෙන්නේය. නෛර්යාණික කථා අසාද පැහැදෙන්නේ ය. ඉන්පසු නැවත අපගේ සමීපයට නො එන්නේ ය. ඒනිසා තෙවරක් දක්වා පසුබා සිටී.