සෙඛ සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු සෙඛ සුත්‍රයයි. එහි නවං සන්‍ථාගාරං යනු අලුතින් කරවන ලද සන්‍ථාගාරං එක් මහාශාලාවකි යන අර්ථයි. යුද්ධකාලආදියෙහි රජවරු මරණයට ළංවු කල්හි එහි සිට මෙපමණ කෙනෙක් දෙපසින් යවු. මෙපමණ කෙනෙක් ඇතුන් පිටනගිවු. මෙපමණ කෙනෙක් අශ්වයන් පිටනගිවු. මෙපමණ කෙනෙක් රියවල යවුයයි මෙසේ වින්‍යාස කරත්. වැට බඳිත් ඒ නිසාත් ස්ථානය සන්‍ථාගාරයයි කියනු ලැබේ. යොදවන ස්ථානයෙහි සිට පැමිණ යම්තාක් ගෙවල අමුගොම පිරිබඩ ගැනීම් ආදිය කරත්ද ඒතාක් දෙතුන් දිනක් ඒ රජවරු එහි තනිව වෙසෙත්නුයි සන්‍ථාගාර නමි ඒ රජුන්ගේ අර්ථානුශාසනා සහිත ගෙයනුයි සන්‍ථාගාර නමි ඔවුහු වනාහි ගණරජවරුය. ඒනිසා හටගත් කාර්යය එක් අයකුට යැයි නොබෙදේ, සියල්ලන්ගේ කැමැත්ත ලැබීම අවශ්‍යය. ඒනිසා සියල්ලෝ එහි රැස්ව උපදෙස් ගනිත්. අර්ථානුශාසනය සහිතවු අගාරයනුයි සන්‍ථාගාරයයිද ඒනිසා කියන ලදී. යම්හෙයකින් ඔවුහු එහි රැස්ව මෙකල සීසාන්ට සුදුසුය මෙකල වපුරන්ට සුදුසුය. මේ ආදි ක්‍රමයෙන් ගෘහවාසයෙහි කටයුතු සම්මන්ත්‍රණය කෙරෙත්. ඒනිසා ගෘහවාසයෙහි අඩුපාඩුකම් මෙහිදී දිගහරිත්නුයි සන්‍ථාගාර නමි අචිරකාරිතං යනු ලී වැඩ සිතුවම් ගල්වැඩ ආදිවශයෙන් සුසැදි දෙවි විමනක් මෙන් අලුතින් නිමවන ලදී, සමණෙනවා යනු මෙහි යම්හෙයකින් ගෘහවාස්තු පිළිගන්නා කාලයෙහිම දෙවියෝ තමන්ගේ වසනතැන් ගනිති. ඒ නිසා දෙවියන් යයි නොකියා සමණෙනවා බ්‍රාහ්මණෙනවා කෙනචිවා මනුස්සභුතෙන යයි කියන ලදී.
යෙන භගවා තෙනුපසංකමිංසු යනු සන්‍ථාගාරය නිමාවී යයි අසා යමු එය බලන්නෙමුයි ගොස් දොරකොටුවෙහි පටන් සියල්ල බලා මේ සන්‍ථාගාරය දෙවි විමනක් මෙන් අතිශයින් මනරම්ය. සිරිමත්ය. කවරකු විසින් පළමුව පරිභෝජනය කරන ලද්දේ අපහට බොහෝකලක් හිතසුව පිණිස වන්නේදැයි සිතා අපගේ ඥාති ශ්‍රේෂ්ඨයාට පළමුකොට දෙනු ලබන කල්හිද, ශාස්තෘෘන් වහන්සේට සුදුසු ලෙස දක්ෂිණාවක් වශයෙන් දෙනුලබන කල්හි ද ශාස්තෘෘන්වහන්සේටම සුදුසුයයි ඒ නිසා පළමුව ශාස්තෘන් වහන්සේ වළඳවන්නෙමු. භික්‍ෂුසංඝයාගේ පැමිණීම සිදු කරන්නෙමු. භික්‍ෂුසංඝයා පැමිණිකල්හි ත්‍රිපිටක බුද්ධ වචනයම පැමිණියේම වන්නේය. ශාස්තෘෘන් වහන්සේ ලවා තුන්යම්රැය අපට ධර්ම කථා කියවන්නෙමු. මෙසේ තුනුරුවන් විසින් පරිභෝග කළ දෙය පසුව අපි පරිභෝග කරන්නෙමු. මෙසේ අපට දිගුලකලක් හිතසුව පිණිස වන්නේයයි සනිටුහන් කොට එළමියාහුය.
යෙන සන්‍ථාගාරං තෙනුපසංකමිංසු යනු එදවස වනාහි සන්‍ථාගාරය ඕනෑම රාජකුලයන්ට පෙන්වනු පිණිස දෙව්විමනක් මෙන් සරසන ලද්දේවෙයි. මනාසේ පිළිදැගුම් කරන ලද්දේ බුදුන්ට සුදුසුසේ කොට ආසන නොපවන ලද්ය. බුදුවරුනම් අරණ්‍යය පිළිබඳ අදහස් ඇත්තාහුය. අරණ්‍යයෙහි විසීමට කැමැත්ත ඇත්තෝය. ඇතුළුගම වසන්නෝ හෝ නොවසන්නෝ හෝ, ඒනිසා භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනගෙනම අසුන් පනවන්නෙමුයි සිතා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට එළැඹියාහුය. දැන් කැමැත්ත ලැබ අසුන් පනවනු කැමැත්තාහු සන්‍ථාගාරය ඇති තැනට එළැඹියාහුය.
සබ්බසන්‍ථරිං සන්‍ථාගාරං සන්‍ථරිත්‍වා යනු යම්සේ සියල්ල අතුරුවා නම් වේද එසේ එය අතුරුවා සියල්ලට පළමුව ගොම සියලු මංගල අවස්ථාවල සුදුසුය. හුණුපිරියම් කළද, බිම අමුගොමින් ගාවා පිරිසිදු බව දැන යම්සේ පාතැබුතැන පාසලකුණ පෙනේද එසේ සිව්දැගඳින් ආලේපකොට මත්තෙහි නන්වන් පැලලි එලා ඒවා මත්තෙහි කෙඳි සහිත කොමුපිළි ආදී කොට ඇති ඇත්වැසුම් අස්වැසුම් දිවිවැසුම් රන් වැසුම් හිරුවැසුම් විසිතුරුවැසුම් ආදී නන් ඇතිරිලිවලින් ඇතිරිය යුතු සියලු අවකාශයන් අතුරාලූහ. එසේ හෙයින් කියන ලදී සබ්බත්‍ථරිං සන්‍ථාගාරං සන්‍ථරිත්‍වා යනුවෙන්ද
ආසනානි පඤ්ඤපෙත්‍වා යනුවෙන්ද මධ්‍යස්ථානයෙහි මඟුල්ටැඹ නිසා මහාර්ඝවු බුද්ධාසනය පනවා එහි යම්යම් මෘදුවුද මනොරම්‍යවුද තවත් ඇතිරිලිවේද ඒ ඒ ඇතිරිලි නැවත අතුරා භාග්‍යවතුන් වහන්සේට ලෝහිත වර්ණවු මනෝඥ පෙනුම ඇති කොට්ටයක් තබා මත්තෙහි රනින් හා රිදියෙන් තරු මැසු විසිතුරු වියනක් බැඳ ගඳදුම් මල්දම් පන්දම් ආදියෙන් අලංකාර කොට හාත්පස දොළොස් රියන් තැන මල්වැල් කරවා තිස්රියන් පමණ තැන් පටතිරයෙන් වටකරවා පසුපස බිත්තිය නිසා භික්‍ෂුසංඝයාට පලක් බැඳ හිඳිනා පුටු ඇඳිපුටු ඇඳපුටු පනවා මතුයෙහි සුදු ඇතිරිලි අතුරා පෙරදිග බිත්තිය නිසා තමාට කෙඳිසහිත බුමුතුරුණු අතුරා හංස පිහාටු ආදියෙන් පුරවාලු කොට්ට තැබ්බවූහ. මෙසේ වෙහෙස නොබලා මුළු රැය දහම් අසන්නෙමුයි. අසුන් පනවා යයි මේ සඳහා කියන ලදී.
උදකමණිකං යනු මහ බඳක් ඇති දියසැළිය, පතිට්ඨපෙත්‍වා යනු මෙසේ භාග්‍යවතුන් වහන්සේද භික්‍ෂුසංඝයාද රුචිපරිදි අත් හෝ දොවන්නාහුය, පා හෝ මුව හෝ සෝදන්නාහු යයි ඒ ඒ තැන මිණිවන් ජලය පුරවා සුවඳ පිණිස නොයෙක් මල් ද, ජලය සුවඳවත් කරන සුණුද බහා කෙසෙල් පත්‍රයෙන් වසා තැබ්බවුහ, පතිට්ඨපෙත්‍වා යනු මේ සඳහා කියන ලදී.