සෙඛො පටිපදො යනු පිළිපන් ඒ සේඛ ශ්‍රමණයා ඔබට වැටහේවා. එළැඹේවා. තස්ස පටිපදං දෙසෙහී යනු ප්‍රතිපදාවෙන් පුද්ගලයා නියම කොට දක්වයි. කුමක්නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රතිපදාව නියම කළසේක්ද? බොහෝ කරුණු නිසාය. මේ ශාක්‍යයෝ මංගල ශාලාවෙන් යහපත් දෙයක් අපේක්ෂා කරති. වෘද්ධියක් කැමති වෙති. මෙයද සෙඛ ප්‍රතිපදාවයි මාගේ සස්නෙහි මංගල ප්‍රතිපදාවයි වැඩෙන එකම ප්‍රතිපදාවයයි මේ ප්‍රතිපදාව නියම කළසේක. හුන් බොහෝ සේඛයෝ තමන් අවබෝධ කරගත් තැන කියනු ලබන කල්හි වෙහෙසට පත්නොවීම මනාසිහියෙන් සලකාබලන්නාහුය යනුවෙන්ද මේ ප්‍රතිපදාව නියම කළසේක. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝද සේඛ ප්‍රතිසම්පදාවටම පැමිණිම තමා අවබෝධකරගත් ප්‍රත්‍යක්ෂ ස්ථානයෙහි කියන්නාහු වෙහෙසට පත්නොවී දැන්වීමට හැකිවන්නාහු යයිද මේ ප්‍රතිපදාව නියම කළසේක. සේඛප්‍රතිපදාවෙහි ශික්ෂාත්‍රයක් අන්තර්ගතය. එහි අධිශීල ශික්ෂාව කීවිට සියලු විනය පිටකය කීවානම් වේ. අධි චිත්ත ශික්ෂාව කීවිට සියලු සුත්‍ර පිටකය කීවා නම් වේ. අධිපඤ්ඤ ශික්ෂා පදය කීවිට සියලු අභිධර්ම පිටකය කීවානම් වේ. ආනන්ද තෙරුණුවෝද බහුශ්‍රතය. ත්‍රිපිටකධරය තුන් පිටකයන් සමග ත්‍රිවිධ ශික්ෂාවන් කීමට දක්ෂයහ. මෙසේ කීකල්හි ශාක්‍යයන්ට මංගලයක්ම වේ. වෘද්ධියක්ම වන්නේයයි මේ ප්‍රතිපදාව නියම කළසේක.
පිට්ඨිමෙ ආගිලායති යනු කුමක් නිසා වෙහෙසට පත්වේදයත්. සවසක් ප්‍රධන් වීර්ය කරන භාග්‍යවතුන් වහන්සේට මහත් දුකක් ඇතිවිය. ඉක්බිති උන්වහන්සේට මහලුකල පිටෙහි වාතයක් හටගත්තේය. මෙයම හේතුවක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ උපන් වේදනාව මැඩපවත්වා සතියක් හෝ දෙකක් එක්ම පර්යංකයකින් හිඳින්ට හැකිවන්නාහුය. සන්ථාගාරශාලාව නම් සිව්ඉරියව්වෙන්ම පරිභෝග කරන්නට කැමැත්තෝ වූහ. එහි පා දෝනා තැන් සිට ධර්මාසනය තෙක් වැඩම කළහ. එපමණ තැන් නිමවිය. ධර්මාසනයට පැමිණ මඳක් සිට වැඩහුන් සේක. එපමණ තැන යාම දෙකක් ධර්මාසනයෙහි වැඩහුන්සේක. එපමණතැන් හිඳීම අවසන් විය. දැන් දකුණු පසින් මඳක් නිදාගත් කල්හි නිදාගැනීම සම්පූර්ණ වේයයි මෙසේ සිව්ඉරියව්වෙන් පරිභෝජනය කිරීමේ කැමැත්ත විය. උපාදින්නක ශරීරය වෙහෙසට පත්නොවේයැයි කිවයුතුය. ඒනිසා බොහෝ කලක් නිදාගැනීමෙන් හටගත් වෙහෙස ගෙන මෙසේ කීය.
සංඝාටිං පඤ්ඤාපෙත්‍වා ගනු සන්ථාගාරයෙහි එක් පසෙක ඒ රජවරු පටතිරයකින් වට කරවා කැපවු කුඩා ඇඳක් පනවා කැප ඇතිරිල්ලෙන් අතුරා මත්තෙහි රන්තරු ගඳමල්දම්වලින් සැදුම්ලත් වියනක් බැඳ සුවඳ තෙලින් පිරූ පහනක් නැවූහ. ශාස්තෘන් වහන්සේ ධර්මාසනයෙන් නැගී මඳක් ගිමන්හැර මෙහි නිදන්නේනම් මැනැවැයි. මෙසේ අපගේ මේ සන්ථාගාරය භාග්‍යවතුන් වහන්සේ විසින් සිව් ඉරියව්වෙන් පරිභෝග කරන ලද්දේ දිගුකලක් හිතසුව පිණිස වන්නේය. ශාස්තෘෘන් වහන්සේද ඒ සඳහාම එහි සගලසිවුර පනවා සැතපුණුසේක උට්ඨානසඤ්ඤං මනසිකරිත්‍වා යනු මෙපමණ කල් ඉක්මවා නැගිටින්නෙමියි නැගිටීමේ සංඥාව සිත තබා
මහා නාමං සක්කං ආමන්තෙසි යනු මොහු වනාහි එකල්හි ඔවුන්ගේ පිරිසෙහි ජ්‍යෙෂ්ඨයාය. ප්‍රධානියාය. ඔහු එක්වූ කල්හි සෙසු පිරිසද එකතුවුවාද වෙතියි තෙරණුවෝ ඔහුම ඇමතූහ. සීලසම්පන්නො යනු සීලයෙන් යුක්තවුයේ, සිල් සහිතවුයේ පිරිපුන් සිල් ඇත්තේ යන අර්ථයි. සද්ධම්මෙහි යනු සොඳුරු දහමින් සාධුජනයන්ගේ හෝ සත්පුරුෂයන්ගේ ධර්මයන්ගෙන්
කථඤ්ච මහානාම යනු මෙයින් මෙපමණ තැනින් සේඛ ප්‍රතිපදාවෙහි මාතෘකා තබා පිළිවෙළින් විස්තර කරනු කැමැත්තේ මෙසේ කීහ. එහි සීලසම්පන්නො ආදිය මහණෙනි සීල සම්පන්නව වසවුයයි ආකඞ්ඛෙය්‍ය සුත්‍ර ආදියෙහි කියන ලද පරිදි දතයුතුය.
කායදුච්චරිතෙන යන ආදී තන්හි ද්විතීයාර්ථයෙහි කරණ විභක්තියි. ලජ්ජා කටයුතු කාය දුශ්චරිතාදිය ගැන ලජ්ජාවේ පිළිකුල් කෙරේ යන අර්ථ භය නිර්දේශයෙහි හේතු අර්ථයෙහි කරණ විභක්තියි. බියට හේතුවු කායදුශ්චරිතාදීන්ගෙන් ඔත්තපති බිය වේය. යන අර්ථයි ආරද්ධවිරියො යනු ඇරඹු වීර්ය ඇත්තේ, පසු නොබෑ සිත් ඇත්තේ, පහානාය ප්‍රහාණය පිණිස, උපසම්පදාය ලැබගැනීම පිණිස ථාමවා යනු වීර්ය ශක්තියෙන් යුක්තවුයේ දළ්හපරක්කමො යනු ස්ථිර පරාක්‍රම ඇත්තේ, අනික්ඛිත්ත ධුරො කුසලෙසු ධම්මෙසු යනු කුසල් දහම්හි නොතැබු බර ඇත්තේ. පසුනොබෑ වීර්ය ඇත්තේ පරමෙන යනු උතුම් සතිනෙපක්කෙන යනු සිහියෙන්ද බුද්ධිමත් බැවින්ද කවරහෙයින් සිහිය බෙදා දැක්විය යුතු තැන ප්‍රඥාව පැමිණියේය. සතියෙහි බලවත් බව පෙන්වීම පිණිසය. ප්‍රඥාවෙන් වෙන්වූ සතිය දුබලවෙයි. එකට එක්වු විට බලවත්වෙයි.