බ්‍රහ්මනිමන්තනික සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං බ්‍රහ්ම නිමන්තික සූත්‍රයයි. එහි පාපකං දිටඨිගතං ලාමක වූ ශාස්වත දෘෂ්ටිය, ඉදනිච්චං යනු මේ අවකාශ සහිත වූ අනිත්‍ය වූ, බ්‍රහ්මස්ථානය නිත්‍ය යයි කියයි. ධුවං යනු ද එයටම සමාන අර්ථයි. එහි ‘ධුවං’ ස්ථිරය. සස්සතං සදාකල්හිම විද්‍යමාන වේ. කෙවලං අඛණ්ඩය. සියල්ලය. අවචන ධම්මං චුත නොවන ස්වභාවය. ඉදං හි න ජායති ආදියෙහි මෙතැන කිසිවකු උපදින්නේ හෝ මිය යන්නේ හෝ ප්‍රතිසන්ධි වශයෙන් පැමිණෙන්නේ හෝ නැත යනු සඳහා කියයි. ඉතො ච පනඤ්ඤං මේ අවකාශ සහිත වූ බ්‍රහ්මස්ථානයෙන් මත්තෙහි අන්‍ය වූ නිශ්ශරණයක් නම් නැත. මෙසේ ස්ථාවරත්වයට පැමිණි ඔහුට ශාස්වත දෘෂ්ටිය උපන්නේ වෙයි. මෙසේ කියන්නා වූ හෙතෙම මත්තෙහි තුන් ධ්‍යාන භූමි, සතරමාර්ග, සතරඵල, නිවන යන මේ සියල්ල නැතැයි කියයි. (ප්‍රතික්‍ෂේප කරයි) අවිජ්ජාගතො අවිද්‍යාවට ගියේ, අවිද්‍යාවෙන් අන්ධ වූයේ යත්‍ර භි නාම යමෙක් නම්,
අථ ඛො භික්ඛවෙ මාරො පාපිමා මාරයා භාග්‍යවතුන් වහන්සේ කෙසේ දැක්කේ ද, මාරයා වූ කලි කලින් කල තමන්ගේ භවනයෙහිම හිඳ ශාස්තෲන් වහන්සේ පිළිබඳව සොයා බලයි. මහණ ගොයුම් අද කොහේ ඉන්නේ ද, කවර ගමක හෝ නියම්ගමක වෙද, ඒ අන්දමට මෙදින ශාස්තෲන් ගැන බලන්නේ උක්කට්ඨා නුවර ඇසිරිකොට සුභග වනයෙහි වාසය කරතියි දැන, දැන් කොහේ ගියේදැයි බලන්නේ බ්‍රහ්මලෝකයට යන බව දැක, ‘ශ්‍රමණ ගෞතමයන් බඹලොවට යයි. එහි ගොස් එහිදී දහම් දෙසා බ්‍රහ්ම සමූහයා මාගේ විෂය නො ඉක්මවාද, ඉන් පෙර ගොස් බ්‍රහ්මයන් තුළ ධර්මදේශනාවට කැමැත්ත නැති බව කරන්නෙමියි ශාස්තෲන් වහන්සේගේ පියවරින් පියවර ගොස් බ්‍රහ්ම සමූහයා අතර නො පෙනෙන ශරීරයෙන් යුතුව සිටියේය. හෙතෙම ශාස්තෲන් වහන්සේ විසින් බක බ්‍රහ්මයා කෙරෙහි අප්‍රසාද බව දැන බකබ්‍රහ්මයාට උඵස්ථම්භකව සිටියේය. අථඛො භික්ඛවෙ මාරො පාපිමා යන්න එහෙයින් කියන ලදී.
බ්‍රහ්මපාරිසජ්ජං අන්‍වා විසිත්‍වා බ්‍රහ්ම පාරිසජ්ජයෙහි එක් බ්‍රහ්මයකුගේ ශරීරයට ආවේශව එහෙත් මහා බ්‍රහ්මයාට හෝ බ්‍රහ්ම පුරෝහිතයන්ට ආවේශ වන්නට නො හැකි වේ. මෙතවාසදො මොහුට නින්දා නොකරව. අභිභූ මැඩපවත්වාගෙන සිටියේ අනභිභූතො අනෙක් අය විසින් මැඩ නොපවත්වන ලද්දේ, අඤ්ඤදත්‍ථු ඒකාන්ත වචනයෙහි නිපාතය. දැකීම් වශයෙන් දසො සියල්ල දකියි යයි දක්වයි. වසවත්ති සියලු ජනයා වශයෙහි පවත්වයි. ඉස්සරො ලොවට ඊශ්වර වූයේ, කත්තා නිම්මාතා ලෝකය පිළිබඳ කර්තෘ ද නිර්මාතෘ ද වූ, පොළව, හිමවත, සිනේරු පර්වතය සක්වළ, මහා සමුද්‍ර, සඳ හිරු මේ සියල්ල මොහු විසින් මවන ලදැයි දක්වයි.
සෙට්ඨො සජ්ජිතා මෙතෙම ලොවට උතුම් වූයේ ද, සකස් කරන්නේද වෙයි. ඔබ ක්‍ෂත්‍රිය වෙව, ඔබ බ්‍රාහ්මණි වෙව. ඔබ වෛශ්‍ය වෙව. ඔබ ශුද්‍ර වෙව. ඔබ ප්‍රවෘජිත වෙව. යටත්පිරිසෙයින් ඔටු වෙව, ගොනෙක් වෙව. මෙසේ මේ සත්ත්වයා බෙදා වෙන් කරන්නේ ඔහුම බව දක්වයි. වසී පීතා භූත භව්‍යානං මෙතෙම පුරුදු පුහුණු කළ වශී බව ඇති බැවින් වශීය. මෙතෙම භූතයන්ටද භව්‍යයන්ට ද පීතෘෘ යයි කියයි.
එහි අණ්ඩජ-ජලාබුජ සත්ත්වයෝ ද, ඇතුළු බිජුවටෙහි ද ඇතුළු වස්තියෙහි ද සුදුස්සෝම වෙති. භව්‍යයෝම වෙති. පිටත නික්මීමේ පටන් භූතයෝ වෙති. සංස්වේදජයෝ පළමුවන චිත්තක්‍ෂණයෙහි භව්‍යයෝය. දෙවැනි චිත්ත ක්‍ෂණයේ පටන් භූතයෝය. ඕපාතිකයෝ පළමුවන ඉරියව්වෙහි භව්‍යයේය. දෙවන චිත්ත ක්‍ෂණයේ පටන් භූතයෝ යයි දතයුතුයි. ඒ සියල්ලෝම මොහුගේ දරුවෝය යන සංඥාවෙන් පිතා භූත භව්‍යානං යනාදිය කීහ.
පඨවිගහෙකා යම්සේ තෙපි මෙකල්හි අනිත්‍යය, දුකය. අනාත්මය යයි මහපොළව ගරහා කරයි ද, පිළිකුල් කරයි ද, එසේ ඔහු ද පෘථුවිය ගරහන්නෝ වූහ. හුදෙක් තෙපිම නොවේයි දක්වයි. ආපෙ ගරහකා ආදියෙහි ද මෙම ක්‍රමයමැයි. හීනෙ කායෙ පතිට්ඨිතා සතර අපායේ උපන්නාහුය. පඨවි පසංසකා යම්සේ තෙපි එසේ නිගරු කෙරෙයි ද, එසේ නො ගරහා නිත්‍යය, ස්ථිරය, ශාස්වතය, නො සිඳිය හැකිය නො බිඳිය හැකිය. ක්‍ෂය නොවේ යයි පෘථුවියට පසසන්නාහු මහපොළවේ ගුණ කියන්නාහු වූහයි කියයි. පඨවාහි නන්‍දිතෙ තණ්හා දිට්ඨි වශයෙන් පොළවට සතුටු වන්නාහු සෙසු පදයන්හි ද මෙම නයයි. පණීතෙ කායෙ පතිට්ඨිතා බ්‍රහ්ම ලෝකයේ උපන්නාහු ය.
තං තාහන්ති මේ කාරණයෙන් මම ඉංඝ යනු චෝදනාර්ථයෙහි නිපාතය. උපාතිවත්තිත්‍ථො ඉක්මව ‘උපාතිවත්තිතො’ ද පාඨයක් වේ. මේ තේරුම ම යි. දණ්ඩෙන පටිප්පනාමෙය්‍ය සතර රියන් මුගුරකින් තළා පලවා හරින්නේ ය. නරකප්පපාතෙ රියන් සියයක් පමණ වූ නරාවෙළක, විරාධෙය්‍යා අතින් ගතයුතු තැන හෝ, පයින් සිටිය යුතු තැන හෝ ගැනීම් සිටීම් දෙක කරන්නට නො හැකි වන්නේ ද, න නු ත්‍වං භික්ඛු පස්සසි මහණ තෙපි රැස්ව සිටින්නා වූ, බබළන්නා වූ, දිලිසෙන්නා වූ, මේ බ්‍රහ්ම පිරිස නො දක්නෙහි ද, බ්‍රහ්මයාගේ අවවාදයෙහි සිටින්නවුන්ගේ සෘද්ධ්‍යනුභාවය දක්වයි. ඉති ඛො මං භික්ඛවෙ මාරො පාපිමා බ්‍රහ්ම පරිසං උපනෙසී පාපී වූ මාරයා ශ්‍රමණය, තෙපි යසසින් ද, ශ්‍රියාවෙන් ද බබළන්නා වූ බඹ පිරිස නො දක්නෙහි ද, තෙපිත් මහ බඹුගේ වචනය නො ඉක්මවා, නුඹට යමක් බ්‍රහ්මයා කියයිද එය කරන්නෙහි. නුඹත් මෙපරිද්දෙන් ම යසසින් ශ්‍රීයෙන් බබළන්නෙහි යයි කියමින් මා බඹ පිරිසට එළවූයේය. එක් කළේය.
මා ත්‍වං මඤ්ඤත්‍ථො තෙපි නහමක් නො සිතව, මාමෙ තිමසි පාපිමා නුඹ මහජනයා මරණ හෙයින් මාරයාය. මහජනයාට පවිටු ලාමක, විපත් පමුණුවන හෙයින්ම පාපිමත් මාරයාම ය. මම තා දනිමි.