කෝසම්බිය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං කෝසම්බක සූත්‍රයයි. එහි කොසම්බියං යනු මෙනම් නම ඇති නගරයයි. ඒ නගරයේ ආරාම, පොකුණු, ආදී ඒ ඒ තන්හි කොසඹ ගස් බහුල වීම නිසා කෝසම්බි යයි ප්‍රසිද්ධියට පත්විය. කුසුම්බ නම් සෘෂීහුගේ අසපුව සමීපයේ ඉදිකරන ලද නිසා ද කොසම්බ යයි කියතියි ඇතැමෙක් කියති. ඝොසිතාරාමෙ ඝෝසිත සිටු විසින් කරවන ලද ආරාමයේ දී මේ සූත්‍රය දේශනා කරන ලදී.
අතීතයේ අද්දිල නම් රටක් වූයේය. එරට විසූ කොතුහල නම් දුප්පතෙක් දුර්භික්‍ෂය නිසා සිය අඹුදරුවන් සමගින් කෙත් වත් ඇති රටකට යන්නේ පුත්‍රයා ඔසවා ගෙන යන්නට නො හැකි නිසා ඔහු හැරදමා ගියේය. මව් තොමෝ නැවතී, ඔහු ගෙන ගියාය. ඔව්හූ එක් ගොපලු ගමකට පිවිසියාහුය. ඒ දවස ගොපල්ලන්ට ද බොහෝ කිරිබත් ලැබුණු දවසක් විය. ඔව්හු ද එයින් කිරිබත් ලැබ අනුභව කළහ. ඉක්බිති ඒ පුරුෂයා වැඩිපුර කිරිබත් අනුභව කළෙන් දිරවන්නට නොහැකි වූයේ රාත්‍රී කාලයේ කළුරිය කොට එහිම බැල්ලකගේ කුස පිළිසිඳගෙන බල්ලෙක්ව උපන්නේ ය. හේ ගොපල්ලාට මනාප වූයේ ප්‍රිය වූයේ විය. ගොපල්ලා එක්තරා පස්බුදු කෙනෙකුන්ට උපස්ථාන කරයි. පසේබුදුන් ද දන් වළඳින විටද බලු පැටියාට ද බත් පිඩක් දෙයි. හෙතෙම පසේබුදුන් කෙරෙහි බැති සිත් උපදවා ගොපල්ලා සමගින් පන්සලට ද යයි.
හෙතෙම ගොපල්ලා නැති කල්හි බත් වේලාවට තෙමේ ම පන්සලට ගොස් බත් වේලාව දන්වනු පිණිස පන්සලේ දොරකඩ සිට බුරයි. අතරමග දී චණ්ඩ මෘගයන් දැක බුරමින් එලවා දමයි. හෙතෙම පසේබුදුන් කෙරෙහි බැති සිතින් කලුරිය කොට දෙලොව ඉපදුනේය. ඔහු ඝෝසිත දිව්‍යපුත්‍රයා නමින් හැඳින්වීය. හේ දෙලොවින් චුතවැ කොසබෑ නුවර එක්තරා කුල ගෙදරක උපන්නේ ය. අපුත්තක නම් සිටුවරයෙක් ඔහුගේ දෙමාපියන්ට ධනය දී, ඔහු පුත්‍රයකු කොට ගත්තේ ය. ඉක්බිතිව තමන්ට දරුවකු ලැබුණු විට මොහු මරා දමන්නට සත්ත්වරක්ම උත්සාහ කළේය. හෙතෙම පින්වත් දරුවෙකු නිසා සත් තැනදීම මරණයෙන් බේරී, අවසානයේ එක් සිටු දුවකගේ බුද්ධිමත් බවින් දිවි ලබා මෑත කාලයෙහි පියාගේ ඇවෑමෙන් සිටු පදවියට පත්ව ඝෝසක සිටු නමින් ප්‍රචාරයට පත්විය. කොසබෑ නුවර කුක්කුට සිටුය. පාවාරික සිටු යයි තවත් සිටුවරු දෙදෙනෙක් සිටී. මොහු සමග සිටුවරු තිදෙනෙක් වූහ.
ඒ කාලයේ ම ඒ යහළු සිටුවරුන්ගේ කුලුපග වූ තාපසයෝ පන්සියයක් පර්වත පාදයේ විසූහ. ඔහු කලින් කල ලුණුඇඹුල් සෙවීම සඳහා මිනිස් පෙදෙසට එන්නාහ. එක්වරක් ග්‍රීෂ්ම කාලයේ මිනිස් පියසට එන සෘෂීහූ නිරුදක මහා කාන්තාරය ගෙවා එන කල්හි කාන්තාරය කෙළවර සුවිසල් නුග ගසක් දැක මෙසේ සිතූහ. මෙබඳු වූ සුවිසල් රුකෙහි ඒකාන්තයෙන් දෙවියකු විසිය යුතුය. හේ මහේශාක්‍යයකු විය යුතුය. ඔහු අපට බීමට හා පරිභෝජනයට වතුර සපයන්නේ නම් යහපත්ය.
දෙවියා සෘෂීන්ගේ අදහස් දැන මොවුන්ට සංග්‍රහ කරන්නෙමියි තමන්ගේ ආනුභාවයෙන් පෙළෙප් අතරින් නගුලිසක් පමණ වූ දියදහරාවක් පැවැත්වීය. ඍෂි සමූහයා රිදී කඳක් බඳු වූ දියවැටිය දැක තම තමන්ගේ භාජනවලට ජලය රැගෙන පරිභෝග කොට යළි සිතීය. දෙවියෝ අපගේ පරිභෝගයට ජලය දුන්හ. මේ වූ කලී ගම් පියසක් නැති අරණ්‍යයකි. අපට ආහාර ද ලබාදෙන්නේ නම් ඉතා යහපත්ය. දෙවියා ද සෘෂීන්ගේ අදහස් අනුව දිව්‍යමය වූ කැඳ කෑ යුතු දේ දී සන්තර්පණය කළේය.
ඍෂිවරු සිතූහ. දෙවියා අපට ජලය ද ආහාර ද දුන්නේ ය. දැන් ඔහු අපට දැකීම සඳහා අප ඉදිරියේ පෙනී සිටින්නේ නම් මැනවි.
දෙවියා ඔවුන්ගේ ඒ අදහස දැන තමගේ උඩුකය පෙන්වීය. ඔව්හූ කීහූ. දේවතාවෙනි! තොපගේ සම්පත් ඉතා මහත්ය. කවර කුසල කර්මයක් කොට මෙවැනි සම්පත් ලදුයේද, ස්වාමීනි, ඒ තරම් විශාල ලොකු කුසලකර්ම නො කෙළෙමි. ඉතා සුළු කර්මයක් කළෙමි. අර්ථ උපෝසථ කර්මය නිසා මේ මහත් දිව්‍ය සම්පත් ලදුයෙමි.
පෙරදී මේ දෙවියා අනේපිඬු සිටාණන්ගේ සිටු මැදුරේ කම්කරුවකු වූයේය. සිටුවරයාගේ ගෙදර සියළුම දැසි දස් කම්කරුවෝ උපෝසථ දිනයන්හි පෙහෙවස් රකිති. එක් දවසක් මම හුදෙකලාවම පාන්දර නැගිට රැකියාවට ගියෙමි. මහා සිටානෝ සිය කම්කරුවන්ට දිනපතා බත් වැටුප් දෙයි. මේ සේවකයා වැඩට ගිය බව දැන ඔහුට ද සවස බත් වැටුප් දුනි. බත් පිසින දාසිය එක් අයකුට බත් උයා දවල් බතට වැඩපලෙන් ආ අයට බත් දින. කම්කරුවා මෙසේ ඇසීය. වෙනදා මේ වෙලාවට මේ ගෙයි හරි කලබලය. අද බොහෝ නිශ්ශබ්දය. ඒ මන්දැයි ඇසීය. අද මේ ගෙයි සියලු දෙනා පෙහෙවස් සමාදන්ව ඇත. මහසිටාණෝ ඔබට පමණක් අද වැටුප් දුන්හ යි දාසිය කීවාය. මෑණියනි එසේද, දැන් පෙහෙවස් සමාදන් වුවහොත් එය පෙහෙවස් වේද නොවේදැයි කම්කරුවා ඇසීය. ගොස් මහසිටු වෙතින් විචාරන්නැයි බත් අම්මා කීවාය. එසේ විචාරන ලද්දහුට මහසිටාණෝ මෙසේ කීහ. සම්පූර්ණ උපෝසථය සිදු නොවේ. එහෙත් අර්ධ උපෝසථය සිදු වේ. පෙහෙවස් සමාදන් වෙවයි කීය. සේවකයා බත් නොකා කට සෝදා පෙහෙවස් සමාදන්ව වසන තෙනට ගොස් වැද හොත්තේය. රාත්‍රී කාලයේ නිරාහාරව සිටි ඔහුගේ උදර වාතය කිපී අලුයම කලුරිය කළේය. අර්ධ උපෝසථය රැකි කර්මයේ ආනිසංසයෙන් මහා වත්තනි නම් වනදොර මහ නුගරුකෙහි බලවත් දිව්‍ය පුත්‍රයෙක් ව උපන්නේ යයි දෙවියා තම පුවත සෘෂීන්ට දැන්වීය.
ඍෂිවරු බුද්ධ, ධම්ම, සංඝ යන අප පෙර නො ඇසූ බසක් තා විසින් අපට කියන ලදී. බුදුන් ලොව උපන්නෙහි ද, එසේ බුදුන් ලොව පහළවිය. දැන් කොහේ වසන්නේද, ස්වාමීනි, සැවැත්නුවර ඇසුරු කරමින් දෙව්රම වාසය කරයි. තෙපි ඔහොම සිටුවු. අපි ශාස්තෲන් වහන්සේ දකින්නට යන්නෙමුයි තුටුපහටු සිත් ඇතිව නික්මී පිළිවෙළින් කොසබෑ නුවරට පැමිණියාහුය. මහසිටු තෙමේ ඍෂිවරුන් පැමිණි බව දැන පෙරගමන් කොට අපගේ නිවසේ දානය පිළිගන්නැයි ආරාධනා කොට දෙවැනි දින ඍෂි සමූහයාට මහා දන් දුන්හ.
සෘෂීහු දන් වළඳා අපි යමු යයි කීහු. ස්වාමීනි, ඔබලා වෙනත් කාලවල පැමිණිවිට මාස දෙකක් තුනක් හතරක් මෙහි වැස ආපසු යයි. මේ වාරයෙහි අද ම යන්නෙමුයි කියයි. මේ මන්ද, ගෘහපතිය එසේය. බුදුහු ලොව පහළ වූහ. කොයි වේලේ ජීවිත අන්තරාවක් වේදැයි නොදනිමු. එහෙයින් අපි වහා යන්නෙමු. ස්වාමීනි එසේ වීනම් අපිද යන්නෙමු. අප සමගම යා හැකිය. තෙපි ගිහිගෙයි වසන්නෝ මහඅවුල් ඇත්තාහ. ඔබලා සිටින්න. අපි පළමුව යන්නෙමුයි පිටත් වී, එක් තැනක දෙ දවසකුදු නො නැවතී ඉක්මන් ගමනින් ම සැවැත්නුවරට ගොස් දෙව්රම් වෙහෙර ශාස්තෲන් සමීපයටම ගියාහුය. එහිදී මිහිරි බණ කථා අසා සියල්ලන්ම පැවිදි වී අර්හත්වයට පත්වූහ.