චූළවෙදල්ල සූත්ර වර්ණනාව
එවම්මෙසුතං චූළ වේදල්ල සූත්රයයි. එහි විසාඛො උපාසකො විසාඛ නම් වූ උපාසක තෙමේ. යෙන ධම්මදින්නා ධම්මදින්නා මෙහෙණ යම්තැනෙක සිටීද, එහි එළඹියේය. මේ විසාඛ කවරෙක්ද, ධම්මදින්නා කවරෙක්ද, කුමක් හෙයින් පැමිණියේද, විසාඛ නම් ධම්මදින්නාගේ ගිහිකල ස්වාමිපුරුෂයා වේ හෙතෙම, යම් දවසක භාග්යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට පවත්වන ලද උතුම් වූ දම්සක් ඇත්තේ, යස කුලපුත්ර ආදීන් හික්මවා උරුවෙල් දනව්වට වැඩ, දහසක් ජටිලයන් හික්මවා පැරණි ජටිල හා භික්ෂු සංඝයා සමග රජගහ නුවරට වැඩ, බුදුන් දැකීම සඳහා දොළොස් නහුතයක් සමග ආවා වූ බිම්බිසාර මහරජුට දහම් දෙසුයේද, එදා රජු සමග පැමිණි දොළොස් නහුතයක් වූ පිරිස් අතුරෙන් එක් නහුතයක් උපාසක බවට පැමිණියේය. එකොළොස් නහුතයක් බිම්බිසාර රජු සමග සෝවාන් පෙලෙහි පිහිටියාහුය. මේ උපාසකවරුන් අතුරෙන් එක් අයෙක් විසාඛය. ඔවුන් සමග පළමු හමුවීමේදීම සෝවාන් පෙලෙහි පිහිටා, නැවත එක්දිනක් බණ අසා සකෘදාගාමී ඵලයට පැමිණ, එයින් පසුදිනක බණ අසා අනාගාමී ඵලයෙහි පිහිටියේ ය.
(හේ අනාගාමී වී ගෙට එනවිට) පෙර දී ඔහු ගෙට එනවිට ඔබිමොබ බලමින්, සතුටුවෙමින්, සිනහවෙමින් එන්නේ ද, හේ අනාගාමී වී එනවිට සන්සුන් ඉඳුරන් ඇතිව ඔබිනොබ නොබලා, සන්සිඳුනු සිතින් යුතුව ආයේය.
ධම්මදින්නා ඔහු එන සන්හුන් විලාසය සීමැදුරු කවුළුව හැර බලා මේ කිමෙක්දෝ හෝ යි සිතා පෙර ගමන් යන්න තරප්පු පේලියේ සිට අල්ලා ගන්නා අත දිගු කළාය. උපාසක තෙමේ තම අත හැකිළීය. ඕ තොමෝ උදේ ආහාර ගන්නා විට දැනගනිමියි සිතුවාය. පෙරදී විසාඛ ආහාර ගන්නා විට ධම්මදින්නා සමග එකතුව ආහාර ගනියි. අද ඈ දෙස නො බලාම තනිවම යෝගාවචරයකු සේ ආහාර වළඳයි. ඕ නිදන කල දැනගන්නෙමියි සිතුවාය. උපාසකයා එදින සිරියහන්ගැබට නොපැමිණියේය. අනික් කාමරයක් පිරිසිදු කරවා සැප ඇඳක් පනවා එහි සැතපුණේය. ධම්මදින්නා මෙසේ සිතීය. කිමෙක්ද, මොහු තුළ වෙනත් බලාපොරොත්තුවක් ඇත්ද, නැතිනම් කේලාම් කියන්නකු විසින් කේලාම් කියා මා බිඳුවා පීද, එසේත් නැතිනම් මා අතින් වරදක් සිදුවීද, මෙසේ දොම්නස් දවසක් ගතවූවිට දැනගත හැකිවේයයි සිතා ඔහුට උපස්ථානය පිණිස ගොස් වැඳ සිටියාය.
උපාසක තෙමේ ඇයි ධම්මදින්නාවෙනි, අවේලාවේ පැමිණියේද, එසේය ස්වාමීනි, ආවෙමි. නුඹ පෙර මෙන් නොවේ. වෙනත් බලාපොරොත්තුවක් ඇත්ද, නැත ධම්මදින්නාවෙනි. අන්කිසිවකු කේලමක් කීයේද, එසේද නැත. මා අතින් කිසියම් වරදක් වූයේද, තොපගේ කිසිම දොසක් නැත. එසේ නම් මා සමග වෙනදා මෙන් කථාබහ කිරීමක්වත් නැත්තේ ඇයිද,
හෙතෙම මෙසේ සිතීය. ලොව්තුරු දහම් නම් ගරුය. බැරෑරුම්ය. නො පැවසිය යුතුය. එහෙත් ඉදින් මම නො කියන්නේ නම් මෝ මෙහි ම ළය පැලී මිය යනු ඇත. ඇයට අනුග්රහ පිණිස කිවයුතුය. ධම්මදින්නාවෙනි, මම ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා ලොව්තුරා දහමට (තත්ත්වයට) පැමිණියේ වෙමි. එසේ පැමිණියහුට මෙබඳු ලෞකික ක්රියා නො වටී. ඉදින් ඔබ කැමැත්තෙහි නම්, මගේ සතලිස් කෝටියක ධනයත්, තිගේ සතලිස් කෝටියක ධනයත් යන අසූ කෝටියක් ධනයටම අධිපතිව ඉසුරුව, මගේ මව් තනතුරේ හෝ මගේ නැගනි තනතුරේ හෝ සිටුව. තී දෙන ආහාරවලින් පමණක් මම යැපෙන්නෙමි. නැවත ඔබ එසේ නො කැමති නම් මේ වස්තුව ගෙන ඔබේ දෙමාපියන් වෙත යන්න. එසේත් නැතිව වෙනත් බලාපොරොත්තුවක් ඇත්නම් මම තී නැගනි තනතුරේ හෝ දුවණි තනතුරේ තබා පෝෂණය කරන්නෙමි.
ඕ තොමෝ මෙසේ සිතුවාය. ස්වාභාවික පිරිමියෙක් නම් මෙසේ නො කියයි. ඒකාන්තයෙන්ම මොහු ලොව්තුරු දහම් ලබා ඇත. එහෙත් ඒ දහම පුරුෂයන් විසින් පමණක් අවබෝධ කළයුතුද, ස්ත්රීන්ට එය නුසුදුසු වන්නේද, ස්ත්රීන්ට අවබෝධ කළ නො හැකි වන්නේද, මෙසේ විසාඛට කීවාය. ධම්මදින්නාවෙනි, කුමක් කියන්නේද? යම්කෙනෙක් පිළිපදින්නේද ඔහුට මේ දායාදයයි. යම් යම් කෙනෙකුට උපනිශ්රය ඇත්ද ඒ ඒ අයට මෙය ලබාගත හැකිය. (විසාඛ කීයේය.) එසේනම් මට පැවිදි වන්නට අවසර දෙව, මැනවි සොඳුර, මම ද මේ මග යොදන්නට කැමැත්තෙන් සිටියෙමි. එහෙත් ඔබගේ අදහස් නොදන්නා බැවින් එය නො කීමි. එකෙණෙහිම විසාඛ බිම්බිසාර රජු සමීපයට ගොස් අභිවාදනය කොට සිටියේය.