මහාවෙදල්ල සූත්ර වර්ණනාව
එවම්මෙසුතං මේ මහා වේදල්ල සූත්රයයි. එහි ආයස්මා යනු ගරුත්ව සහිත වචනයකි. මහා කොටඨිතො ඒ තෙරුන් වහන්සේ ගේ නමයි. පටිසල්ලාණා වුට්ඨිතො පල සමවතින් නැගී සිටියේ, දුප්පඤ්ඤො දුප්පඤ්ඤො මෙහි ප්රඥාවගේ දුෂ්ටත්වයක් නැත. නුවණ නැති යන අර්ථයි. කිත්තානුවතානු ඛො කරුණු, කොටස්, වෙන්කිරීම් විමසීමයි. කොපමණකින් මෙසේ වේද යන අර්ථයි. තව ද මේ විචාරීම නම්, අදිට්ඨ ජොතනා පුච්ඡා (නො දන්නා ධර්මයන්ගේ ලක්ෂණ විචාරීම) දිටඨ සංසන්දනා පුච්ඡා (දන්නා ලද ධර්මයන් ගැන විමසීම) විමතිච්ඡදනා පුච්ඡා (සැක දුරුකිරීම පිණිස විමසීම) අනුමති පුච්ඡා, (අනුමතිය ලැබීම සඳහා විමසීම) කථෙතු කම්යතා පුච්ඡා (භික්ෂු සංඝයා විසින් ම විචාරා පිළිතුරු සැපයීම) යනුවෙන් පස්වැදෑරුම් වෙයි. ඔවුන්ගේ මේ විවිධත්වය, විවිධ ස්වරූප ය -
එහි අදිට්ඨජොතිකා පුච්ඡා නම් කවරේද, ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ නො දන්නේ නො දක්නේ, ප්රමාණ නො කරන ලද්දේ, තීරණය නො කරන ලද්දේ. පැහැදිලි නොවූයේ, නුවණින් නො වඩනා ලද්දේ, ඒ ධර්මයේ ලක්ෂණ දැනගැනීම පිණිස, තුලනය පිණිස, පැහැදිලි කරගැනීම පිණිස, විභාග කිරීම පිණිස ප්රශ්න විචාරීම ‘අදිට්ඨ ජොතනා පුච්ඡා’ නම් වේ.
දිටඨ සංසන්දනා පුච්ඡා නම් කවරේද, ස්වභාවයෙන් ධර්ම ලක්ෂණ දන්නා ලද්දේ, දක්නා ලද්දේ, තුලනය කරන ලද්දේ, තීරණය කරන ලද්දේ, පැහැදිලි වූයේ, නුවණින් වඩනා ලදුව, අනෙක් උගතුන් සමග සැසඳීම පිණිස ප්රශ්න විචාරීම දිට්ඨ සංසන්දනා පුච්ඡා නම් වේ.
විමතිච්ඡෙදනා පුච්ඡා නමි. ස්වභාවයෙන්ම සැකයට පැමිණියේ, විමතියට පැමිණියේ, මෙසේ වේද නොවේද, කිමෙක් ද, කෙසේ ද, වශයෙන් දෙපැත්තකින් හටගත් සැක ඇත්තේ, හෙතෙම ඒ ඒ විමතිය විසඳීම පිණිස ප්රශ්න විචාරීම විමතිච්ඡෙදනා පුච්ඡා නම් වේ.
මහණෙනි, ඒ කුමක්දැයි සිතවුද, රූපය නිත්ය වේද, අනිත්ය වේද, වහන්ස අනිත්යයයි. මේ අන්දමින් දහම් දෙසන කල අනුමතිය ගෙන විචාරීම අනුමති පුච්ඡා නමි.
මහණෙනි, මෙසේ සීවටන් සතරකි. කවර සතරක් ද, භික්ෂු සංඝයා තුමූ ම විචාරා තුමූම විසඳනු කැමති සර්වඥයන් වහන්සේගේ මෙබඳු ප්රශ්න කථෙතු කම්යතා පුච්ඡා නමි. ඔවුන් අතුරෙන් මෙහි දිට්ඨ සන්සන්දනා පෘච්ඡාව අදහස් කරන ලදී.
තෙරුන් වහන්සේ තමන්ගේ දිවාස්ථානයෙහිම සිට තුමූ ම ප්රශ්නය උපදවා, තුමූ ම විසඳමින් මේ සූත්රය මුල පටන් මුදුන් පැමිණවූහ. එක් අයෙක් ප්රශ්නය උපදවන්නට හැකිවෙයි. විසඳන්නට නො හැකිවෙයි. එක් අයෙක් විසඳන්නට හැකිවෙයි. ප්රශ්න උපදවන්නට නො හැකි වෙයි. තව අයෙක් මේ දෙකම නො හැකි වෙයි. තව කෙනෙක් දෙකම හැකි වෙයි. ඔවුන් අතුරෙන් මහාකොට්ඨිත තෙරුන් වහන්සේට දෙකම හැකිවෙයි. කවර හෙයින්ද මහාප්රාඥ වන හෙයිනි. මහා ප්රඥාව නිසා මේ ශාසනයෙහි සැරියුත් තෙරුන්, මහා කච්චායන තෙරුන්, පුණ්ණ තෙරුන්, කුමාරකාශ්යප තෙරුන්, ආනන්ද තෙරුන්, මේ ස්ථවිරයන් වහන්සේලා විශේෂස්ථානයට පැමිණියාහුය.
මද පමණ වූ නුවණින් යුත් මහණකු විසින් ශ්රාවක පාරමී ඥානයාගේ උපරිම තලයට පැමිණීමට නො හැක්කේ ය. මහා ප්රාඥයකු විසින් ම හැකියේය. මහාප්රාඥ බැවින් සැරියුත් ස්ථවිරයන් වහන්සේ ඒ තනතුරට පැමිණියහ. ප්රඥාවෙන් ඒ තෙරුන් හා සමානයෙක් නැත. එහෙයින් භාග්යවතුන් වහන්සේ ඒ ස්ථවිරයන් ඒතදග්රයෙහි තැබූ සේක. එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං මහා පඤ්ඤානං යදිදං සාරිපුත්තො
එපරිද්දෙන් මද පමණ වූ නුවණින් යුත්, භික්ෂුව විසින් භාග්යවතුන් වහන්සේ සැකෙවින් වදාළ ධර්මය, සර්වඥතාඥානය සමග සන්සන්දනය කොට සමානකොට විස්තර වශයෙන් අර්ථය විසඳන්නට නො හැක්ක. මහා ප්රාඥයකුටම හැකිවන නිසා මහා ප්රාඥ වූ කච්චායන ස්ථවිරයන් වහන්සේ එයට ඉදිරිපත් වූහ. එහෙයින්ම භාග්යවතුන් වහන්සේ කාත්යායන හිමියන්, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජනතා යදිදං මහා කච්චානො’ යි ඒතදග්රයෙහි තැබූ සේක.
මද පමණ ප්රඥාවෙන් යුක්ත වූ භික්ෂුව ධර්මකථාව කියන්නාහු දශකථා වස්තූන් ඉදිරිපත් කර, සප්ත විශුද්ධි විභාග කරන්නහු විසින් ධර්මකථාව කියන්නට නො හැක්ක. යළි මහා ප්රාඥයෙකුට හැකි නිසා මහා ප්රාඥ බැවින් පුණ්ණ තෙරුන් වහන්සේ සිව්පිරිස් මැද අලංකාර ධර්මාසනයෙහි විජිනිපත ද ගෙන උන්නේ පුන්සඳ මෙන් බැබලෙමින් ධර්මකථාව වදාරති. එහෙයින් භාග්යවතුන් වහන්සේ පුණ්ණ ස්ථවිරයන් එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධම්මකථිකානං යදිදං පුණ්ණෙ මන්තානි පුත්තො යනුවෙන් ඒ තෙරුන් ඒතදග්රස්ථානයේ තැබූ සේක.
නැවත යම් ඒ අල්පමාත්ර වූ ප්රඥාවෙන් සමන්විත භික්ෂුව ධර්මකථාව කියන්නේ මෙතැනින් හෝ එතැනින් සැරයටියක් ගෙන මගට බට අන්ධයකු මෙන් ද, එක් කොටසක් පමණක් ඇති ඒදණ්ඩක යන්නෙකු මෙන් ද යෙයි. එසේ වුවත් මහා ප්රාඥ තෙම සතරපද ගාථාවක් මාතෘකා තබා විස්තර වර්ණනා උපමා මගින් බුදුවදන් උඩු යටිකුරු කරමින් කියයි. එසේ මහ නුවණැති බැවින් කුමාර කාශ්යප තෙරණුවෝ සිව්පද ගාථාවක් කියා උපමා ද කරුණු ද දක්වා ඒ උපමා ප්රස්තුතයන් සමග යොදමින්, විලක පස්වනක් මල් පුබුදුවන්නාක් මෙන් තෙවලා බුදුවදන් සවිස්තරව දෙසති. එහෙයින්ම භාග්යවතුන් වහන්සේ ඒ තෙරුන් ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං චිත්තකථිකානං යදිදං කුමාරකස්සපො’ යනුවෙන් එතදග්ර ස්ථානයෙහි තැබූ සේක.
මද පමණ නුවණින් යුත් භික්ෂුව සිව්මසකින් සතරපද ගාථාවක් ඉගෙන ගන්නට නො හැක්කේ ය. එහෙත් මහ නුවණැත්තෙක් එක පියවරේම සිට පද සියයක්, පද දහසක්, උගෙන ගනියි. ආනන්ද ස්ථවිරයෝ මහා ප්රාඥ බැවින් එක් පියවරක්ම සිට එක්වරක්ම අසා නැවත නො විචාරා පද සැටදහසක් හෝ ගාථා පසළොස් දහසක්, වැලකින් මල් නෙලා ගන්නාක් මෙන් එක් වරකින් ධාරණය කරති. ධාරණය කරන කරන ලද පද ගලෙහි කටු අකුරු මෙන්, රන්බඳුනෙහි දැමු සිංහතෙල් මෙන්, ගත් පමණින්ම මතකයේ රැඳෙයි. එහෙයින් භාග්යවතුන් වහන්සේ ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ගතිමන්තානං යදිදං ආනන්දො සතිමන්තානං, ධිතිමන්තානං, බහුස්සුතානං, උපට්ඨකානං යදිදං ආනන්දො’ ආදී වශයෙන් ඒතදග්ර ස්ථානයෙහි තැබූ සේක.