ආයුසංඛාරා ආයුෂය ජීවිතේන්ද්රියමයි. වෙදනීයා ධම්මා යනු වේදනා ධර්මයෝය. වුට්ඨානං පඤ්ඤායති යනු සමවතින් නැගී සිටීමයි. යම් භික්ෂුවක් අරූප ධර්මයන්ගේ පැවතීමෙහි උකටලීව සංඥාවද වේදනාවද නිරුද්ධකොට නිරෝධයට සමවදින්නේ ද, ඔහුට සීමිත කරන ලද කාලයාගේ වශයෙන්, රූප ජීවිතේන්ද්රියයාගේ ප්රත්යයෙන් අරූප ධර්මයෝ උපදිත්. යළි මෙපරිද්දෙන් රූපාරූප ප්රවෘත්ති පවතී. කුමක් මෙන් ද යම්සේ එක් පුරුෂයෙක් ගිනිදැල් පැවැත්මෙහි උකටලී වූයේ වතුර ගසා ගිනිදැල් නිවා අලුවලින් අඟුරු වසා නිහඬව සිටී ද, නැවත යම් විටක ගිනිවලින් ප්රයෝජනයක් වේ නම් අළු ඉවත්කොට අඟුරු උඩට ගෙන දර දමා කටින් පිඹ හෝ, යමකින් (තල්වැටකින්) පවන්සැලීම හෝ කරයි ද, එවිට යළි ගිනි ඇවිළේ ද, එපරිද්දෙන් ගිනිදැල් නැගීම මෙන් අරූප ධර්මයෝය, ගිනිදැල් අනවශ්ය වූ විට වතුර ගසා ගිනි නිවා අළුවලින් අඟුරු වසා නිශ්ශබ්දව සිටි පුරුෂයා මෙන් අරූප ධර්මයන්ගේ පැවැත්මෙහි උකටලීව සංඥාවත්, වේදනාවත් නිරුද්ධකොට, භික්ෂුවගේ නිරෝධයට සමවැදීමය. අළුවලින් වැසූ අඟුරු මෙන් රූප ජීවිතේන්ද්රිය ය. යළි ගිනිදැල්වලින් ප්රයෝජන ඇතිකල්හි පුරුෂයාගේ අළු ඉවත් කිරීම මෙන් භික්ෂුවගේ සීමිත කාලය ඉක්මීමය. ගිනිදැල් පැවැත්ම මෙන් යළි අරූප ධර්මයන් උපන් කල්හි රූපාරූපයන්ගේ පැවැත්ම දතයුතුය.
ආයු උස්මා ච විඤ්ඤාණං යනු රූප ජීවිතේන්ද්රිය, කර්ම තේජෝ ධාතුව ය, සිත ය, යන මේ ධර්ම තුන යම් කලෙක රූප කාය අතහරිත්ද, එකල්හි මේ කය සිත් නැති දඬු කඩක් මෙන් පොළවෙහි හැර දමන ලද්දේ වේ.
යම්කලෙක ජීවිතේන්ද්රිය ද, කර්මජ තේජස ද සිත ද, යන මොහු මේ කය හරිත්ද, එකල්හි බලාපොරොත්තු රහිතව හැරදමන ලද්දේ, බලු කැනහිල් ආදීන් විසින් කෑ යුතුව සිතිවිලි රහිතව හෝනේ ය.
කාය සංඛාරා යනු ආශ්වාස ප්රශ්වාසයෝ, වචී සංඛාරා විතක්ක විචාර, චිත්ත සංඛාරා සංඥා වේදනා, ආයු රූප ජීවිතින්ද්රිය, විපරිභින්නාති විනාශ වූවාහු විශේෂයෙන් විනාශ වුවාහු, එහි කිසිවෙක් ‘නිරොධං සමාපන්නසස චිත්ත සංඛාරාච නිරුද්ධා’ යයි කී හෙයින් සිත අනිරුද්ධ වෙයි. එහෙයින් මේ සමාපත්තිය සවිතර්ක වූවායයි කියත්ද, ඔව්හූ එසේ කිවයුත්තාහ. වචී සංඛාරා පිස්ස නිරුද්ධා යි කී හෙයින් වචනය අනිරුද්ධ වෙයි. එහෙයින් නිරෝධ සමාපත්තියට සමවදින්නවුන් විසින්, බණ කියමින් ද සජ්ඣායනා කරමින් ද හිඳිය යුත්තාහ. ‘යොචායං මතො කාලකතො තස්සාපි චිත්ත සංඛාරා නිරුදධා’ යයි කී හෙයින් සිත අනිරුද්ධ වන්නේ ය. එහෙයින් කළුරිය කරන ලද මව්පියන් හෝ රහතුන් හෝ දවන්නහු විසින් ආනන්තරිය කර්මය කරන ලද්දේ වන්නේ ය. මෙසේ හෙයින් ව්යඤ්ජනයෙහි අභිනිවේශය නොකොට, ආචාර්යවරුන්ගේ න්යායයෙහි පිහිටා අර්ථය පරීක්ෂා කළ යුතුය. අර්ථයම පිහිටයි. බ්යඤ්ජනය පිහිට නොවේ.
ඉන්ද්රියානු විප්පසන්නානි යනු ක්රියාමය ප්රවෘත්ති පවත්නා කල්හි, බාහිර අරමුණු ප්රසාදයෙහි ගැටෙන කල්හි ඉන්ද්රියයෝ ක්ලාන්ත වෙත්ද, සුළඟින් නැගුණු දුහුවිලි ඇති සතරමං සන්ධියක තබන ලද කැඩපතක් මෙන් අරමුණුවලින් මැඩුනාහු වෙත් ද, තැවරුනාහු වෙත් ද, තව ද යම්සේ පසුම්බියක බහා පෙට්ටිවල තැබූ කැඩපත ඇතුළතම බබළයිද එපරිද්දෙන් නිරෝධයට සමවන් භික්ෂුවගේ ඇතුළු නිරෝධයෙහි පංච ප්රසාදයෝම ඉතාම බබළත්. ඉන්ද්රියානි විප්පසන්නා යන්න එහෙයින් කියන ලදී.
කතී පනාවුසො පච්චයා මෙහි කුමක් විචාරත්ද, නිරෝධයාගේ අන්තප්රත්යය වූ නේවසඤ්ඤා නාසඤ්ඤායතනය ප්රශ්න කරමියි විචාරයි. ඒ ප්රශ්නයේ විසඳීම වනාහි සුඛස්සච පහානා පභව යන සතර ප්රත්යයෝ කියන ලද්දේය.
අනිමිත්තායා යනුවෙන් කුමක් විචාරයි ද, නිරෝධයෙන් නැගී සිටිනා ඵල සමාපත්තිය විචාරයි. අවශේෂ සමාපත්තීන්හි නැගී සිටීම භවාංගයෙන් වෙයි. එහෙත් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටීම විදර්ශනානිසංස වූ ඵලසමාපත්තියෙන් වෙයි. මේ තෙරණුවෝ ඒ ඵලසමවත විචාරති. සබ්බනිමිත්තානං රූපාදී වූ සියළු අරමුණුවල අනිමිත්තාය ච ධාතුයා මනසිකරොති සියළු නිමිත්තයන්ගෙන් පහ වූ, නිර්වාණ ධාතුහුගේ මෙනෙහි කිරීම ඵල සමාපත්තිය හා සහජාත වූ මෙනෙහි කිරීම සඳහා කීහ. මෙසේ යට නිරෝධපාදක වූ ප්රථමධ්යානය ගන්නා ලදී. නිරෝධයාගේ අනන්තර ප්රත්යය වූ නේවසඤ්ඤා නාසඤ්ඤායතනය ගන්නා ලදී. මෙහි නිරෝධයෙන් නැගී සිටින ඵලසමාපත්තිය ගන්නා ලදී.
මෙතැන්හිදී නිරෝධ කථාව කිවයුතුය. ඕ තොමෝ විවිධ බලයන්ගෙන් යුක්ත බැවින් (සමථ-විදර්ශනා) ත්රිවිධ සංස්කාරයන්ගේ දුරලීමෙන් සොළොස් ඤාණ චරියාවන්ගෙන් ද නව සමාධි චරියාවන්ගෙන් ද වශීභාවය ඇති ප්රඥාව නිරෝධ සමාපත්තිය පිළිබඳ ඥානය යයි ප්රතිසම්භිදා මාර්ගයෙහි සඳහන් වේ. විශුද්ධි මාර්ගයෙහි ඒ නිරෝධ කථාවන්ගේ විනිශ්චය කථාව සම්පූර්ණයෙන් කියන ලද්දේය.
මෙවිට වළඳනා සමාපත්තිය විචාරන්නේ කතිපනාවුසො පච්චයා යනාදිය කීහ. නිරෝධයෙන් නැගී සිටිනා ඵල සමවත්හුගේ සිටීමක් නො වේද, චිත්තවාර එකක් දෙකක් පැවති භවාංගයට බසීද, මේ භික්ෂුව සත්දිනක් අරූප ධර්මයන් ගේ පැවැත්ම නිරෝධ කොට උන්නේ නිරෝධයෙන් නැගී සිටිනා ඵල සමාපත්තියෙහි කලක් නො සිටී. නැවත වලඤ්ජන සමාපත්තියෙහි කාල පරිච්ඡේදයම ප්රමාණ වෙයි. එහෙයින් ඒ වලඤ්ජන සමාපත්තියම ඨිති නම් වේ. එහෙයින් කියන ලදී. අනිමිත්තාය චෙතො විමුත්තියා ඨිතියා යනු ඒ සමාපත්තියගේ චිරස්ථිතිය පිණිස කෙතෙක් ප්රත්යයයෝ වෙත්ද, යන අර්ථයි. ඒ ප්රශ්නය විසඳීමෙහි පුබ්බෙව අභිසංඛාරො කාල පරිච්ඡේදය, වුටඨානාය මෙහි භවාංගයේ උට්ඨානය පිණිස විචාරති. ඒ ප්රශ්නය විසඳීමෙහි ද සබ්බ නිමිත්තානඤ්ච මනසිකරොති රූපාදී නිමිති වශයෙන් භවාංගය හා සහජාත වූ මනසිකාරය කියන ලදී.