මහාතණ්හාසඞ්ඛය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං මහා තණ්හාක්ඛය සූත්‍රයයි. එහි දිට්ඨිගතං අලගද සූත්‍රයෙහි ලබ්ධිමාත්‍රය දිටඨිගත යයි කියන ලදී. මෙහි ශාස්වත දෘෂ්ටියයි. ඒ මහණ තෙමේ ද බහුශ්‍රැතය. මේ තැනැත්තා අල්පශ්‍රැතය. ජාතක භාණකයෙකි. භාග්‍යවතුන් වහන්සේ ජාතකයක් දේශනා කොට, මහණෙනි, මම ඒ සමයෙහි වෙසතුරු වීමි. මහෞෂධ වීමි. විධුර වීමි. සේනක වීමි. මහාජනක රජු වීමි. පූර්වාපර සන්ධි ගැළපීම අසයි. එකල ඔහුට මේ සිත විය. මේ රූප වේදනා සඤ්ඤා සංඛාරයෝ ඒ ඒ තන්හිම නිරුද්ධ වෙති. විඤ්ඤාණය වනාහි මෙලොවින් පරලොවට, පරලොවින් මේ ලෝකයට මාරුවෙයි. දිවෙයි. හැසිරෙයි. ශාස්වත දෘෂ්ටිය උපදියි. තදෙවිදං විඤ්ඤාණං සන්‍ධාවති, සංසරති, අනඤ්ඤති යන්න එහෙයින් කියන ලදී.
සම්මා සම්බුදුන් විසින්, විඤ්ඤාණය ප්‍රත්‍යය ඇති කල්හි උපදී. විඤඤාණය ප්‍රත්‍යයෙන් උපදී. ප්‍රත්‍යයෙන් වෙන්ව විඥානයාගේ උත්පත්තියක් නැතැයි කියන ලදී. එහෙයින් මේ භික්‍ෂුව බුදුන් විසින් නො වදාරණ ලද්දක් කියයි. ජින චක්‍රයෙහි පහර දෙයි. වෛසාරද්‍ය ඤාණය පිටුදකියි. ශ්‍රාවක ජනයා වංචා කෙරේ. (ආර්ය පථයෙහි) ආර්ය මාර්ගයෙහි හරහට වැටී මහජනයාට අහිත පිණිස දුක පිණිස පිළිපන්නේ වෙයි. යම්සේ රජුගේ රාජ්‍යයෙහි මහ සොරෙක් වේද, හේ මහජනයාට අහිත, බිය, දුක උපදවයි. එසේම ජින ශාසනයෙහි සොරෙක් වී මහජනයාට අහිත බව, දුක උපදවන්නේ යයි දතයුතු.
සම්බහුලා භික්ඛූ ජනපදවාසී පිණ්ඩපාතික භික්‍ෂූහු තෙනුපසංකමිංසු මේසා පිරිසක් ලැබ ශාසනය ද අතුරුදන් කරවන්නේ ය. යම්සක් පක්‍ෂය, නොලබයිද ඒ තාක් ඔහු දෘෂ්ටියෙන් වෙන් කරමුයි ඇසූ ඇසු තැන්වලම නොසිට නොහිඳ එළණියාහුය.
තතමං සාති විඤ්ඤාණං යනු සතිය ඔබ යම්කිසි විඤ්ඤාණයක් ගැන කීවේද, ඒ විඤ්ඤාණය කුමක්ද? ය්වායං භන්තෙ වදෙ වෙදෙෙය්‍යා තත්‍ර තත්‍ර කල්‍යාණ පාපකානං කම්මානං විපාකං පටිසංවෙදෙති ස්වාමීනි, මේ යමෙක් කියයිද, කථා කරයිද, විඳියිද, මේ යමෙකුත් ඒ ඒ තැන්වල කුශලාකුශල කර්මයන්ගේ විපාකය විඳී ද, ස්වාමීනි, යමක් සඳහා මම කියම්ද. ඒ විඤ්ඤාණ යයි. කස්සනුඛො නාමා කවර ක්‍ෂත්‍රියකුට හෝ බ්‍රාහ්මණයකුට, වෛශ්‍රවණයකුට, ශුද්‍රයකුට, ගෘහස්ථයකුට, පැවිද්දෙකුට, දෙවියකුට හෝ මිනිසකුට මේ අය අතරින් එකකුට.
අථඛො සො භගවා භික්ඛූ ආමන්තෙසි කුමක් සඳහා ආමන්ත්‍රණය කරයිද, සාති භික්‍ෂුවට යම්හෙයකින් මෙබඳු සිතක් වීද, ශාස්තෲන් වහන්සේ මට මෝඝ පුරුෂයා යයි කී පමණින් මාර්ගඵලයන්ට උපනිශ්‍රය නොවන්නේ ය. ‘අතිලහුං ඛො මොඝපුරිස බාහුල්ලාය ආවත්තො’ වදාරන ලද උපසේන තෙර ද, මෑත කාලයෙහි ගැටෙමින් වෑයම් කරමින් අභිඥාවන් ප්‍රත්‍යක්‍ෂ කළේද, මමත් වීර්යය දැඩිව ගෙන මගපලයන් පසක් කරන්නෙමි’ එකල ඔහුට භාග්‍යවතුන් වහන්සේ සිඳුණු ප්‍රත්‍ය ඇති මේ තෙම ශාසනයෙහි නො වැඩෙන ස්වභාව ඇත්තෙකැයි දක්වන්නේ භික්‍ෂූන් ඇමතූ සේක. උස්මීකතො යට කියන ලද අදහස් ඇත්තේම වේ.
අථ ඛො භගවා යන මෙය ද වෙනම අනුසන්ධියකි. සාති භික්‍ෂුවට මෙසේ සිතිණ. ‘භාග්‍යවතුන් වහන්සේ මාගේ මාර්ගඵලයන්ට උපනිශ්‍රය නැතැයි වදාරති. උපනිශ්‍රය නැත්තේ නම් කුමක් කරන්නේද, තථාගතයෝ උපනිශ්‍රය සහිත වූවන්ට පමණක් දහම් නො දෙසයි. අනෙක් අයටද දේශනා කරන්නේ ය. මම බුදුන්ගෙන් සුගතෝවාදය ලැබ සැපතට පැමිණිය හැකි කුශලයක් කරන්නෙමි. ඉක්බිති ඔහුට භාග්‍යවතුන් වහන්සේ හිස් පුරුෂය, මම තට අවවාදයක් හෝ අනුශාසනයක් නො කරන්නෙමි. සුගතෝවාදය සේක් මේ දේශනාව ආරම්භ කළහ. එහි අර්ථය යට කී ආකාරයෙන්ම දතයුතුය. දැන් පිරිසේ ලබ්ධිය දුරුකරන සේක් පිරිසිදු කරන සේක්, ඉධාහං භික්ඛු පටිපුච්ඡිස්සාමි යනාදිය වදාළහ. ඒ සියල්ල පළමු කී පරිද්දෙන් ම දතයුතුය.
සාති ඤාණය නිමියේය.
දැන් විඤ්ඤාණයේ ප්‍රත්‍ය සහිත බව දක්වන සේක් යඤ්ඤදෙව භික්ඛවෙ යනාදිය වදාළහ. එහි මනඤ්ච පටිච්ච ධම්මෙචාති ආවර්ජනය සහිත භවාංග සිතද, ත්‍රෛභූමක ධර්මයන්ද නිසා කට්ඨඤ්ච පටිච්ච ආදී උපමාව දක්වන සේක. එයින් කුමක් කියන්නේද, දක්වන්නේ ද, දොරකින් දොරකට මාරුවීම පැමිණීම නැති බවය. ඒ එසේමය. යම්සේ දර ලීයක් නිසා ඇතිවන ගින්න දර නමැති ප්‍රත්‍යය නිසාම දැල්වේද, එය නැතිකල්හි ප්‍රත්‍යයාගේ වෙන්වීම නිසා එහිම නිවී යන්නේද, රුක් පොතු ආදියට මාරු වී සියල්ල ගිනි ගන්නා තත්ත්වයට නො ඒද, එපරිද්දෙන්ම ඇස නිසාත් රූපය නිසාත් උපන් විඥානය ඒ ද්වාරයෙහි චක්ඛු, රූප ආලෝක මනසිකාර සංඛ්‍යාත ප්‍රත්‍යය ඇතිකල්හිම උපදී. එය නැතිකල්හි ප්‍රත්‍යය වෙනස්වීමෙන් එහිම නිරුද්ධ වෙයි. ශ්‍රොතාදියට මාරු නොවී ශ්‍රෝත විඥාන යනාදී සංඛ්‍යා නොඒ. සියලු වාරයන්හි මේ ක්‍රමයමැයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ‘මම විඥානයාගේ ප්‍රවෘත්තියෙහි ද්වාර සංක්‍රාන්තිය පමණකුදු නො කියමි. එහෙත් මේ සාති මෝඝ පුරුෂයා භව සංක්‍රාන්තිය කියා යයි සිතා මහණ හට නිග්‍රහ කළේය.