මහා යමක වර්ගය
චූළගොසිඞ්ග සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං චූළ ගෝසිංග සූත්‍රයයි. එහි නාදිකෙ විහරතී නාදිකං නම් එක් විළක් ඇසුරු කරගෙන සුළු පිය, මහ පිය පුතුන් දෙදෙනකුගේ ගම් දෙකක් වූහ. එයින් එක් ගමක ගිජ්ඣකා වසථෙ උළු සෙවිලි කරන ලද ගෙයි, මේ අසනු ලැබේ. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මහජනයාට සංග්‍රහ කරමින් වැදැරට චාරිකාවේ හැසිරෙමින්, ‘නාදික’ නම් ගමට පැමිණි සේක. නාදික ගමේ වැසි මිනිසුන් භාග්‍යවතුන් වහන්සේට මහ දන් දෙමින් දහම් අසා පහන් සිත් ඇත්තාහු, ශාස්තෲන් වහන්සේට ලැගුම්ගෙයක් කරමුයි සාකච්ඡා කර ගඩොල්වලින් ම බිත්ති, කණු, හිණි, වළ රූ ආදිය දක්වමින් ප්‍රාසාදයක් කරවා සුණු පිරියම්කොට මල්කම් ලියකම් ආදිය නිමවා, බුමුතුරුණු, ඇඳ, පුටු ආදිය පනවා ශාස්තෲන් වහන්සේට පූජා කළේය. යළි පසු පසුව එහි මිනිස්සු භික්‍ෂු සංඝයාට රාත්‍රී ස්ථාන, දිවාස්ථාන, මණ්ඩප, සක්මන්මළු කරවූහ. මෙසේ මහත් විහාරයක් කරවීය. ඒ සඳහා ගිජ්ඣකාවසථෙ යන්න කියන ලදී.
ගොසිංගසාල වනදායෙ එහි එක් මහරුකක කඳින් හරක් අඟක් සමාන වූ විටපයක් නැංගේය. ඒ රුක නිසා මුළු වනයම ‘ගො සිංගාල වන’ නමින් ප්‍රසිද්ධ විය. දාය යනු අවිශේෂයෙන් ම මේ වනයට නමකි. එහෙයින් ගොසිංගාල වනදායෙ යනු ගෝ සිංග ශාල වනයට නම් වීය. විහරන්ති යනු සමගි රසද විඳිමින් එහි වෙසෙති. උපරිපණ්ණාසකයෙහි මේ කුලපුත්‍රයන්ගේ පෘථග්ජන කාලය කියන ලදී. මෙහි ක්‍ෂීණාශ්‍රව කාලය කියන ලදී. එකල ඔහු ලබන ලද ආශ්වාද ඇති ලද ප්‍රතිෂ්ඨා ඇති, අධිගමය කළ පිළිසිඹියා ඇති රහතන් වහන්සේලාම සමගි රස විඳිමින් පාසය කළහ. ඒ සඳහා කියන ලදී.
යෙන ගො සිඞ්ගසාල වනදායො තෙනුපසංකමි දම්සෙනෙවි මහමුගලන් තෙරුන් අතුරෙන් හෝ අසූමහ සව්වන් අතුරෙන් හෝ යටත් පිරිසෙයින් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්ථවිරයන් ද පවා කිසිවකු නො අමතා තමන් වහන්සේ ම පාසිවුරු ගෙන බල සෙනඟින් වෙන්වුණු හුදෙකලා ඇතෙකු මෙන් ද, වාතයෙන් සිඳුණු වළාකුළක් මෙන් ද හුදෙකලාවම එළඹියේය.
කවර කරුණක් නිසා භාග්‍යවතුන් වහන්සේ එසේ තනිව ගිය සේක්ද, කුලපුත්‍රයෝ තිදෙන ඉතා සමගියෙන් වාසය කරති. ඔවුන්ගේ උත්සාහය වඩන පිණිසත් පශ්චිම ජනතාවට අනුකම්පා කිරීම පිණිසත්, ධර්මය ගරුකොට ඇති බැවින්ද වේ. උන්වහන්සේට මේ සීත වීල ‘මම මේ කුලපුත්‍රයන් උත්සාහවත් කොට උසස් කොට පිළිසඳර කොට දහම් දෙසන්නෙමි’ මෙසේ උත්සාහය වඩන හෙයින් වැඩි සේක. උන්වහන්සේට මෙසේ ද සිතෙන්නට විය. ‘අනාගතයෙහි කුලපුත්‍රයෝ සම්මා සම්බුද්ධයන් වහන්සේ සමග වාසයෙන් වසන්නවුන් සමීපයට තුමූ ගොස් පිළිසඳර කොට දහම් දෙසා තුන් කුලපුතුන්ගේ උත්සාහය දැනවූහ. කවරෙක් නම් සමඟ වාසයෙන් නො වසන්නෝද, සමග වාසයෙන් විසිය යුතුයයි සිතමින් වහාම දුක් කෙළවර කරන්නාහුය.’ මෙසේ පශ්චිම ජනතාවට අනුකම්පා කරන හෙයින් ද වැඩි සේක. තව ද බුදුවරයෝ නම් ධර්මගරුක වූවාහුම වෙති. ඔවුන්ගේ ඒ ධර්මගරුකභාවය රථවිනීත සූත්‍රයේ කියන ලද්දේමය. මෙසේ මේ ධර්මගරුක භාවය නිසා ධර්මය නගන්නෙමි’යි වැඩි සේක.
දායාපාලො වනය පාලනය කරන්නා, වනයට කැමති පරිද්දෙන් විවිධ මනුෂ්‍යයන් පැමිණ වනයේ මල්, ගෙඩි, ලාටු, අතු ආදිය යම්සේ ගෙන නො යන්නේ ද, එපරිද්දෙන් වැටකොටු බැඳ, අවුරා වනයට ඇතුල්වීම සඳහා යෙදූ දොරටුවේ හිඳ ඒ වනය රකින්නේ ද හෙතෙම ‘දාය පාල’ නම් වේ.
අත්තකාම රූපා තමන්ට හිත කැමතිවන ස්වභාව ඇතිවැ වාසය කෙරෙති. යමෙක් මේ ශාසනයෙහි පැවිදිව වෙදකම් දූතකම් ගෙන් ගෙට යාම් ආදීන්ගේ වශයෙන් එක්විසි අනේසයන්ගෙන් ජීවත් වේද, මෙතෙම ‘ආත්ම කාමරූප’ නො වේ. යළි යමෙක් මේ ශාසනයෙහි පැවිදිව එක්විසි අනේසනයන්ගෙන් තොරව සිව් පිරිසිදු සිල්හි පිහිටා බුදුවදන් ඉගෙන සුදුසු වූ ධුතාංගයක් සමාදන්ව සිතට රුචිකර වූ කමටහනක් ගෙන, ග්‍රාමාන්තරය අත්හැර වනයට පිවිස සමාපත්ති නිපදවා, විදර්ශනා භාවනා වඩමින් සිටී ද, මෙතෙම ‘ආත්ම කාමරූපා’ නම් වේ. ඒ තුන් කුලපුත්‍රයෝ මෙබඳු වූවාහුය. එහෙයින් අත්ත කාමරූපා විහරන්ති යන්න කියන ලදී.
මා තෙසං අඵාසුමකාසී යනු ඔවුන්ට අපහසුතා ඇති නො කරන්නැයි භාග්‍යවතුන් වැළකීය. මෙසේ සිතෙන්නට ඇත. මේ කුලපුත්‍රයෝ සමග වූවාහු වෙසෙති. යළි ඇතැම් කෙනෙක් ගිය තැන භණ්ඩන - කලහ විවාදයෝ පවතිත්. තියුණු අං ඇති සැඩපරුෂ ගොනෙකු මෙන් ඒ ඒ තැන පහරමින් හැසිරේ. එකල එක් මගීන් දෙදෙනෙකුගේ ගමනක් නොවෙයි. කිසිවිටෙක මේ තෙමේත් එසේ කරමින් මේ කුලපුත්‍රයන් සමග වාසය බිඳින්නේ ය. තවෙකක් ද ඇත. මෙතෙම ප්‍රසාද උපදවන්නෙක. රන්වන් වෙයි. රසයෙහි ගිජුකමක් ඇත්තේ වේ. ගිය කල පටන් දායකයින්ගේ ද තම උපස්ථායකයන්ගේ ද ගුණ කීම් ආදියෙන් මේ කුලපුත්‍රයන්ගේ අප්‍රමාද විහරණය බිඳින්නේ ය. නැවත මේ කුලපුත්‍රයන් වසන තැන් ද නිබඳ වූවාහු පිරිසිඳින ලද්දාහුය. පන්සල් තුනක් ද සක්මන්මළු තුනක් ද දිවා ස්ථාන තුනක් ද ඇඳ පුටු ආදිය තුන බැගින් ද වෙති. මේ මහණ මහත් ශරීරයක් ඇත්තෙක. ඉතා වෘද්ධයෙක් වන්නේ යයි හඟිමි. හෙතෙම නො කල්හි මේ කුල පුත්‍රයන් සෙනස්නෙන් නැගිටුවන්නේ ය. මෙසේ හැම අයුරකින්ම මොවුන්ට නො සුව වන්නේය. අපහසුවක්ම වන්නේ ය’ යි නො කැමති වන්නේ ය. ඒ නිසා භාග්‍යවතුන් වැළකීය.
යළි කිමෙක් ද, මෙතෙම දැන ඇඳුනුම්කමින් වැළකියේද, නොහඳුනමින් වැළකීද, නො දන්නේ ය. තව ද තථාගතයන්ගේ පිළිසිඳ ගැනීමේ පටන් දස දහසක් සක්වළ කම්පාවීම් වශයෙන් පෙළහර පැවැත්තුවාහුය. එහෙත් වනවාසී දුර්වල මිනිස්සු කර්මයන්හි යෙදුනාහු ඒ පෙළහර සලකන්නට නො හැකි වෙති. තව ද සම්මා සම්බුදුන් නම් යම්කලෙක නොයෙක් දහස් ගණන් භික්‍ෂු පිරිස් ඇත්තාහු, ව්‍යාම ප්‍රභාවයෙන්ද අසීති අනුව්‍යඤ්ජනයන් ගෙන් ද, දෙතිස්මහ පුරිස් ලකුණුවලින්ද, බුද්ධානුභාවය දක්වමින් හැසිරෙත් ද, එකල්හි මේ කවරෙක්දැයි නො පිළිවිසම දතයුත්තාහු වෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ඒ බුද්ධානුභාවය සිවුරුගබින් වසා මහා වළාවකින් වැසුණු සඳ සේ තුමූ මැ පාසිවුරු ගෙන අප්‍රසිද්ධ වේශයෙන් වැඩිය සේක. එහෙයින් උන්වහන්සේ නොහඳුනා ගනිමින්ම දායපාල, වනාරක්‍ෂකයා උන්වහන්සේ වැළකීය.