ඉධ මේ සත්ත්ව ලෝකයෙහි මාතා ච උතුනී හොති මෙය ඍතු කාලය සඳහා කියන ලදී. ස්ත්රී ගේ යම් අවකාශයක දරුවා උපදීද, එහි මහත් වූ ලේ පිළාවක් පිහිටා බිඳී වැගිරෙයි. වස්තුව පිරිසිදු වෙයි. වස්තුව පිරිසිදු වූ කල්හි සත් දවස තෙක් එයට සුදුසු කාලය වෙයි. කෙත වෙයි. ඒ කාලය තුළ අත් ගැනීම් හිසකේ ගැනීම් ආදී ශරීර පරාමර්ශයෙන් ද දරුවන් හටගනී. ගන්ධබ්බො එහි එළඹෙන සත්ත්වයා පච්චුපට්ඨිතො හොති ළඟ සිටියේ ම නො වේ. කර්මය නමැති යන්ත්රයෙන් ක්රියාත්මක වූ එක් සත්ත්වයෙක් ඒ අවකාශයෙහි උපදනේ වෙයි යන්න මෙහි අදහසයි.
සංසයෙන මා නිරෝගී වන්නෙම් ද, නැතිනම් මගේ දරුවා නිරෝගී වන්නේද, මහත් වූ ජීවිත සැකයෙන්, ලෝහිතං හෙතං භික්ඛවෙ එකල එතැනට පැමිණි මවගේ ලේ දරු සෙනෙහසින් පඬෙර වේද එහෙයින් මෙසේ වදාළහ. වංකකං දරුවන්ගේ කෙළිබඩු, කුඩා නගුල ඝටිකා දිග දණ්ඩකින් කෙටි දණ්ඩකට ගැසීමේ ක්රීඩාව, (කල්ලි ගැසීම) මොක්ඛවිකං හාත්පස පෙරළෙන ක්රීඩාව, දණ්ඩක් ගෙන අහසෙහි තබා හෝ හිසපිට තබා යට උඩ වශයෙන් පෙරළෙන ක්රීඩාව, විංගුලකං තල් කොළ ආදියෙන් කළ සුළං වැදීමෙන් කරකැවෙන චක්රය (හුළං පෙත්ත) පත්තාළ්හ තං කොළ නැළිය කියයි. එයින් වැලි ආදිය මනිමින් සෙල්ලම් කරති. රථකං කුඩා රථය ධනුකං කුඩා දුන්න,
සාරජ්ජති රාගය උපදවයි. බ්යාපජ්ජතීති ව්යාපාදය උපදවයි. අනුපට්ඨිතකාය සතී කයෙහි සිහිය කාය සති නමි. එහි නො එළවා යන අර්ථයි. අනුරාධ විරෝධං රාගය හා ද්වේෂය ද අභිනන්දති තෘෂ්ණා වශයෙහි සතුටු වෙයි. තෘෂ්ණා වශයෙන් අහෝ සැපයි යනාදිය කියයි. අභිවදති සතුටු වචන කියයි. අජ්ඣොසාය තිට්ඨති තෘෂ්ණාවෙන් ගිලී සැපය හෝ උපේක්ෂාව හෝ සතුටු වේවා. සැපය හෝ උපේක්ෂාව හෝ කැමති වේවා. දුක කෙසේ සතුටු වේද, මම දුප්පත්ය. මගේ දුකයයි ගන්නේ සතුටු වේ. උප්පජ්ජති නන්දි තණ්හාව උපදී. තදුපාදානං ඕ තෘෂ්ණාව ගැනීම් අර්ථයෙන් උපාදාන නමි. තස්සුපාදාන පච්චයා භවො -පෙ- සමුදයො හොති භාග්යවතුන් වහන්සේ විසින් නැවත එක්වරක් ද්විසන්ධි, ත්රිසන්ධි වශයෙන් මේ පටිච්ච සමුප්පාද වෘත්තය දක්වන ලදී.
දැන් විවෘත්තය දක්වන්නට ඉධ ලොකෙ තථාගතො ලොකෙ උප්පජ්ජති ආදිය වදාළහ. එහි අප්පමාණ චෙතසො යනු මාර්ග චිත්තය හා යුක්ත වූ යන අර්ථයි. ඉමං ඛො තුම්හෙ භික්ඛවෙ සංඛිත්තෙන තණ්හා සංඛය විමුත්තිං ධාරෙථ මහණෙනි, මෙසේ සැකෙවින් දේශනා කරන ලද මාගේ තෘෂ්ණා සංඛය දේශනාව තෙපි නිරතුරුව දැරිය යුතුය. නොනැසිය යුතුය. මෙහි දේශනාවම නිවන් ලැබීමට හේතු හෙයින් විමුත්ති යයි කියන ලදී.
මහා තණ්හා ජාල තණ්හා සංඝාට පටිමුක්කන්ති තෘෂ්ණාව මැසිම කළ අර්ථයෙන් මහා තණ්හා ජාලාය, ගැළපීම කළ අර්ථයෙන් සංඝාටය, මෙසේ මේ මහා තෘෂ්ණාජාල සංඛ්යාත තෘෂ්ණා සංඝාටයෙහි ද, බැඳුණෙකු කොට මේ කෙවුල් පුත් සාති මහණ සලකවු. ඇතුළත පිවිසියෙක. ඇතුළත් වූයෙක. ඔහු ධරන්නහුය යන අර්ථයි. සෙස්ස සියලු තන්හි ප්රකට අර්ථ ඇත්තේ ය.
මහා තණ්හාසංඛය සූත්ර වර්ණනාව නිමියේය.
මහාඅස්සපුර සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු මහා අස්සපුර සූත්රයයි. එහි අංගෙසු අංග ජනපදයේ රාජ කුමාරයෝ, ඔවුන් පදිංචිව සිටි එක් ජනපදයක්. ‘අංග’ යයි ව්යවහාර කරයි. ඒ අංග ජනපදයෙහි අස්සපුර නාම අංගානං නිගමො අස්සපුර යන නමින් හඳුන්වන එක් නියම්ගමකි. එය ගොදුරුගම් කොට වාසය කරයි යන අදහසයි. භගවා එතදවොච මේ අය සමණා සමණාති භික්ඛවෙ ජනො සඤ්ජානාති. මහණෙනි, ඔබලා ශ්රමණයෝ ශ්රමණයෝ යයි ජනයා විසින් හඳුන්වනු ලැබේ යයි වදාළ සේක.