චූළතණ්හාසඞ්ඛය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං චූළ තණ්හාසංඛය සූත්‍රයයි. එහි පුබ්බාරාමෙ මිගාරමාතු පාසාදෙ පූර්වාරාම නම් විහාරයේ මිගාර මව විසින් කරවන ලද ප්‍රාසාදයෙහි, මේ එහි අනුපිළිවෙළ කථාවයි. යටගිය දවස කල්ප ලක්‍ෂයකින් මත්තෙහි එක් උපාසිකාවක් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට, බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් දී භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැඳ වැටී මතු දවසක ඔබවහන්සේ වැනි බුදුවරයකුගේ අග උපස්ථායිකා වෙමියි ප්‍රාර්ථනා කළාය.
ඕ තොමෝ කල්ප ලක්‍ෂයක් දිව්‍ය මනුෂ්‍ය ලෝකයන්හි සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි භද්දිය නුවර මෙණ්ඩක සිටු ගේ පුත් වූ ධනංජය සිටුගේ ගෙයි සුමනා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තීය. උපන් දවස්වලම ඇයට විසාඛා යයි නම් තැබීය. ඕ තොමෝ, භාග්‍යවතුන් වහන්සේ භද්දිය නුවරට වැඩම වූ දිනයේ, පන්සියයක් දැරියන් සමග පෙරගමන් ගියහ. බුදුන්ගේ පළමු සමුවීමේදීම සෝවාන් ඵලයට පැමිණියාය. වියපත් වූ කල්හි සැවැත්නුවර මිගාර සිටුවරයාගේ පුත් වූ පුණ්‍යවර්ධන කුමාරයාගේ ගෙට ගියාය. (විවාහ වූවාය) එහිදී ඇයව මිගාර සිටුවරයා විසින් මව් තනතුරෙන් පුදන ලදී. එහෙයින් ‘මිගාර මාතා’ නම් විය.
පතිකුලයට යන්නා වූ ඇයට, ඇගේ පියා විසින් ‘මහලිය’ පළඳනා නම් වූ පළඳනාවක් දුන්නේ ය. එම පළඳනාවෙහි විසිතුරු කිරීමට වජිර (මුතු) නැළි සතරක් යෙදීය. මුතු නැළි එකොළසකි. පබළු නැලි විසි දෙකකි. මැණික් නැළි තිස්තුනකි. මෙයට අමතරව සප්තවර්ණ උතුම් රත්නයෝ ද යොදා විසිතුරු නිමාවට පත්කළහ. එය ඇගේ හිසැ පැළඳූ විට පාපිට දක්වා වැටේ. මේ පළඳනාව දරන්නට ඇතුන් පස් දෙනෙකුගේ ශක්තිය ජවය ඇති කාන්තාවක්ම විය යුතුය.
ඕ තොමෝ පසුකලෙක දශබලධාරීන්ගේ අග්‍ර උපස්ථායිකාව වී, ඒ මහාළිය පළඳනාව විකුණා නවකෝටියක් වැයකොට භාග්‍යවතුන් වහන්සේ විහාරයක් කරවන්නී කිරියක් පමණ බිම් කොටසක විහාරය කරවූවාය. ඒ වෙහෙර උඩුමහලේ කාමර පන්සියයකි. යටිමහලේ කාමර පන්සීයකි. ඕ මේ තනි ප්‍රාසාදය පමණක් ප්‍රමාණවත් නො වන්නේ යයි, කුළුගෙවල් පන්සියයක් ද, කුඩාම කාමර පන්සියයක් ද, දික්සාලා මම පන්සියයක් ද කරවූවාය. විහාර කර්මාන්තයට මාස හතරක් ගතවිය.
වනිතාවක් වශයෙන් විශාඛාවගේ මේ ධන පරිත්‍යාගය හැරුණුකොට මේ බුදුසසුනේ වෙනත් වනිතාවක් මෙවැන්නක් සිදු නොකළේමැයි. පිරිමියෙකු වශයෙන් අනේපිඬු සිටාණන් හැර, වෙනත් පිරිමියෙකුගේ පරිත්‍යාගයක් නැත්තේම ය. හේ වනාහි සූපනස් කෙළක් වියදම්කොට සැවැත්නුවරින් දකුණු පැත්තේ අනුරාධපුරයේ මහා විහාරයට සමාන ලෙස ජේතවන විහාරය කරවීය. විශාඛාවෝ සැවැත්නුවරින් නැගෙන හිර දෙස උත්තමදේවී විහාරයට සමානව පූර්වාරාම විහාරය කරවූවාය. භාග්‍යවතුන් වහන්සේ මේ දෙකුලයන්ට අනුග්‍රහ පිණිස සැවැත්නුවර ඇසිරිකොට වාසය කරන සේක්, මේ විහාර දෙක්හි නිරතුරුව වැඩිකලක් වාසය කළහ. එක් ඇතුලුවසක් ජේතවනයේද එක් ඇතුලු වසක් පූර්වාරාමයේ ද වාසය කළහ. පුබ්බාරාමෙ මිගාරමාතු පාසාදෙ යන්න එහෙයින් කියන ලදී.
කිත්තාවතානු ඛො භන්තෙ ස්වාමීනි, කොපමණකින්, සංඛිත්තෙන තණ්හාසංඛය විමුත්තො හොතී තණ්හාව නැතිකිරීම නම් වූ නිවනෙහි එය අරමුණු කොට මිදුණු සිත් ඇති බැවින්, තණ්හාවෙන් විමුක්ත වූවෙක් නම් සැකෙවින් කොපමණකින් වේද, නිවන් අරමුණු කොට කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, ක්‍ෂීණාශ්‍රව ඒ භික්‍ෂූහුගේ ඒ පූර්වභාග ප්‍රතිපදාව මට කෙටියෙන් දේශනා කළ මැනවි. විචාරයි.
අච්චන්ත නිට්ඨො ඇතිවීම නැතිවීම නම් වූ ක්‍ෂය ච්‍යය අනන්තය කෙළවර ඉක්මවන ලදනුයි ‘අච්චන්තා’ නම් වේ. අත්‍යන්ත වූ නිෂ්ඨාව මොහුටනුයි ‘අච්චන්ත නිට්ඨ’ නම් වේ. නිරතුරු නිෂ්ඨා ඇත්තේ යන අදහසයි. අන්තය ඉක්මවන ලද යෝගක්‍ෂේම ඇත්තේනුයි අච්චන්ත යොගක්ඛෙම නමි. නිරතුරු සතර ඕඝයෙන් වෙන් වූයේ යන අර්ථයි. නිත්‍ය බ්‍රහ්මචරියාව ඇත්තේ යන අර්ථයි. අත්‍යන්ත වූ පරියාවසානය - මොහුටනුයි අච්චන්ත පරියොසාන නම් වේ. සෙට්ඨො දෙව මනුස්සානං දෙවියන්ට ද මිනිසුන්ට ද ශ්‍රේෂ්ඨ වූයේ උතුම් වූයේ මෙබඳු මහණ කොපමණකින් වේද, වහාම සැකෙවින් මොහුගේ පිළිවෙත වදාළ මැනැවි’ යි භාග්‍යවතුන් වහන්සේ වෙත යාඥා කෙරේ. කුමක් හෙයින් මෙතෙම මෙසේ යුහුසුළු වේද, ක්‍රීඩා සුඛය විඳිනු සඳහාය.