චූළසච්චක සූත්ර වර්ණනාව
එවම්මෙසුතං චූළ සච්චක සූත්රයයි. එහි මහාවනෙ කූටාගාර සාලායං මහා වනය නම් ස්වයංජාත රෝපණය නො කරන ලද, කොටස් සහිත වූ මහා වනයෙකි. තව ද කිඹුල්වතින් ආරම්භ වන මහා වනය හිමවත හා එකට බැඳුනේ පරිච්ඡේද රහිතව මහා සමුද්රය දක්වා පැතිර සිටියේය. මෙය එබඳු නොවේ. පරිච්ඡේද සහිත වූ මහා වනයකි. ඒ නිසාම ‘මහා වනය’ නම් විය. කුටාගාර ශාලාව වූ කලී මහ වනය ඇසුරුකොට කළ අරමෙහි කුළුගෙයක් ඇතුලුකොට හංස මණ්ඩලාකාර මහලකින් යුතුව, සර්වප්රකාරයෙන් සමෘද්ධ වූ භාග්යවත් බුදුන්ගේ ‘ගඳකිළිය’ යයි දතයුතුය.
සච්චකො නිඝණ්ඨ පුත්තො පෙර එක් නිගණ්ඨයෙක් හා නිගණ්ඨියක් ද පන්සිය පන්සියය වාද උගෙන, වාදය සඳහා අභියෝග කරන්නෙමුයි (වාදාරෝපණය) දඹදිව සැරිසරන්නාහු විසාලා මහනුවර පැමිණියාහුය. ලිච්ඡවී රජවරු ඔවුන් දැක තෝ කවරෙක්ද, තී කවරියක්දැයි විචාළහ. නිගණ්ඨයා ‘මම වාදාරෝපණය කරන්නෙමි’යි දඹදිව හැසිරෙමි’යි කීය. නිගණ්ඨිය ද එසේම කීවාය. මෙහි දී ලිච්ඡවීහු ඔවුනොවුන් අතර වාදාරෝපණය කරවු යයි කීහ. මේ දෙදෙන තම තමන් උගත් වාද පන්සියය විචාළහ. නිගණ්ඨයා විසින් පිළිවුත් කල්හි නිගණ්ඨීය විසින් පිළිතුරු කියයි. නිගණ්ඨිය විසින් පිළිවුත් කල්හි නිගණ්ඨයා විසින් පිළිතුරු කියයි. එක් අයකුටවත් ජය පරාජයක් නැත. දෙදෙනා සම සමයෝ වූහ. ලිච්ඡවීහු තොපි දෙදෙනම සම සමයෝය. ඇවිද කුමක් කරන්නෝද, මෙහිම වසවු යයි කියා ගෙයක් දී වැටුප් තලයක පිහිටවූහ.
ඔවුන්ගේ සංවාසයෙන් දූවරුන් සතර දෙනෙක් ද, උපන්හ. ඔවුහු සච්චා, ලෝලා, පටාචාරා, සිවාවතිකා නම් වූහ. මව්පියන් උගන්නා ලද වාද පන්සියය ද ඔව්හූ උගත්හ. ඔව්හූද පණ්ඩිත වූවාහුය. වියපත් වූ ඔවුන්ට මව්පිය දෙදෙන මෙසේ කීහ. දියණිවරුනි, අපේ කුලයේ දැරියෝ රන් රිදී වස්තුව ආදී දායාද දී දීග දෙන සිරිතෙක් නැත. ගිහිගෙයි වසන යමෙක් ඔවුන්ගේ වාද මථනයට සමත් වේ නම් ඔහුට පාද පරිචාරිකා වෙති. පැවිදි වූ යමෙක් වාද මථනය කළහොත් ඔහු යටතේ පැවිදි වෙති. තෙපි කුමක් කරන්නාහුද, අපි ද එසේ කරන්නෙමු යයි පිරිවැජි වෙස් ගෙන මේ දඹදිව නම් දඹයෙන් පෙන්නේ යයි දඹ අත්තක් ගෙන චාරිකාවෙහි නික්මුණහ. යම්කිසි ගමකට ඔවුන් පැමිණියේ නම් ඒ ගමේ පස් ගොඩක හෝ වැලි ගොඩක, පස් ගොඩක දඹ අත්ත සිටුවා, ‘යමෙක් වාදාරෝපණය කරන්නට හැකි වේනම්, ඔහු මේ දඹ අත්ත මඩීවා කියා අනික් ගමට යති. මෙසේ ගමන් යන්නාහු සැවැත්නුවරට පිවිස එහි ගම්දොර ජම්බු අත්ත තබා පැමිණි මිනිසුන්ට දන්වා ඇතුළු නුවරට පිවිසියාහුය.
එකල්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ඇසුරුකොට දෙව්රම වැඩ වසයි. ඉක්බිති සැරියුත් තෙරණුවෝ ගිලනුන් විචාරමින්, අතු නොගෑ තැන් අතුගාමින්, තමන්ට වැඩ කටයුතු බහුල බැවින් අනෙක් භික්ෂූන්ට පසුව දහවල් පිඬු පිණිස වැඩියහ. එසේ යද්දී ගම්දොර තිබූ දඹ අත්ත දැක මේ කුමක්දැයි ළමයින් අතින් විචාළහ. ඔව්හූ ඒ අර්ථය කීහු. එසේනම් දඹ අත්ත ගලවා කඩන්නැයි කීහ. ස්වාමීනි. නො හැකිය අපි බිය වෙමු. දරුවති බිය නො වව්. යම්කිසි කෙනෙක් පැමිණ අපගේ දඹ අත්ත කැඩුවේ කවුදැයි ඇසුවහොත්, බුද්ධශ්රාවක වූ සැරියුත් තෙරුන් විසින් කැඩුවේ යයි කියන්නැයි වාදාරෝපණය කළේය. වාදාරෝපණය කරනු කැමැත්තේ නම්, දෙව්රම් වෙහෙර සැරියුත් තෙරුන් වෙත යන්නැයි කියවු. ඔව්හූ තෙරුන්ගේ වචනය අසා දඹ අත්ත කඩා ඉවත දැමූහ. සැරියුත් හිමියෝ පිණ්ඩපාතයේ හැසිර විහාරයට වැඩියහ. පරිබ්රාජිකාවෝ ද ගමෙන් නික්ම අපගේ දඹ අත්ත කවුරුන් විසින් ඉවත දැමීදැයි විචාළාහ. දරුවෝ සියලු ප්රවෘත්තිය දැන්වූහ. පරිබ්රාජිකාවෝ නැවත ගමට පිවිස එක් එක් වීදියක් ගානේ ගොස් බුද්ධශ්රාවක සැරියුත් තෙරුන් අප සමග වාද කරන්නේ ය. අසනු කැමැත්තෝ එත්වායි දැන්වූහ. මහජනයාද ගියහ. ඔවුන් සමග පරිබ්රාජිකාවෝ දෙව්රමට ගියාහුය.
ස්ථවිරයන් වහන්සේ තමන් වසන තැනට ස්ත්රීන්ගේ පැමිණීම නුසුදුසුය. අවහිරයයි සිතා වෙහෙර මැද හුන්නේය. පරිබ්රාජිකාවෝ ගොස් තෙරුන් විචාළහ. ඔබ විසින් අපගේ ධජය දඹඅත්ත මඩින ලද්දේද? එසේය. මා විසින් එසේ කරන ලදී. අපි ඔබ සමග වාද කරන්නෙමු. මැනවි, යහපති වාද කරව, කවුරු ප්රශ්න අසත්ද? කවුරු විසඳත්ද? ප්රශ්න විචාරීම අපි කරමු යි (පරිබ්රාජිකාවෝ කීහ.) තෙපි වූ කල්හි ස්ත්රීහුය. පළමුව විචාරවු. ඔහු සතර දෙනම සතර පැත්තේ සිට, මවුපියන් වෙතින් උගත් ප්රශ්න දහසම විචාළහ. තෙරුන්වහන්සේ කඩුවකින්, ඕලු දඩු සිඳින්නාක් මෙන් විචාළ විචාළ ප්රශ්න දහසම විසඳුහ. අවුල් නැතිකොට ගැට නැති කොට වදාළහ. යළි විචාරව යි කීහ. වහන්ස, අප දන්නේ මෙපමණ යයි පරිබ්රාජිකාවෝ කීහ.
තෙරහු මෙසේ කීහ. තොප විසින් වාද දහසක් විචාළහ. මා විසින් සියල්ල විසඳන ලදී. මා දැන් තොපගෙන් එක ප්රශ්නයක් විචාරමි. එය තෙපි කියවු. ඔව්හූ තෙරුන්ගේ විෂය දැක ‘විචාළ මැනව විසඳන්නෙමු’යි නො කියා, වහන්ස, දන්නමෝ නම් කියන්නෙමු යි කීහ.
ස්ථවිරයන් වහන්සේ ‘මේ කුලපුත්රයන් පැවිදි කරවා පළමුවෙන්ම හික්මවිය යුතු ප්රශ්නය’ වන ‘එකනාම කිං’ එක යනු කුමක්දැයි විචාළහ. පරිබ්රාජිකාවෝ එහි අගක් මුලක් නො දත්හ. තෙරුන් වහන්සේ කියවු යයි කීහ. වහන්ස, නො දන්නෙමු යි ඔව්හූ කීහ. තොප විසින් වාද දහසක් විචාරන ලදුව මම විසඳීමි. මා විසින් අසන ලද එකම ප්රශ්නය විසඳීමට ඔබලාට නොහැක්ක. දැන් ඉතින් ජය කාට ද පරාජය කාට ද? ස්වාමීනි, ඔබවහන්සේට ජය හිමිය. අපි පරාජය භාරගනිමු. දැන් කුමක් කරන්නහු ද? ඔව්හූ මැනවැයි පිළිගෙන තෙරුන්ගේ හසුන් ගෙන භික්ෂුණි සංඝයා වෙත ගොස් පැවිදි වූහ. එසේ පැවිදි වී පමා නොවී කෙළෙසුන් තවන වීර්යය ඇතිව කෙටි කලකින්ම රහත්බවට පැමිණියාහුය.