චූළගොපාලක සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු චූළ ගෝපාලක සුත්‍රයයි. එහි උක්කවෙළාය උක්කවේළා නම් නම ඇති නගරයේ දී, අසන ලදී. ඒ නුවර ඉදිකරන කල්හී ගඟ දියෙන් මත්ස්‍යයෙක් ගොඩට පැමිණියේය. මිනිස්සු රෙදි තෙල් භාජනවල දමා ගිනිහුල් කොට මත්ස්‍යයා ගත්හ. නුවර ඉදිකර නිමාකොට නම් තබන්නාහු ‘අප විසින් නුවරට මුල්ගල් තබන දවසේ රෙදි ගිනි හුල්වලින් මත්ස්‍යයෙකු ගන්නා ලද නිසා’ උක්කවෙලා යයි නගරය නම් කළාහුය.
භික්ඛු ආමන්තෙසි යම්කිසි තැනක සිටියහුට සම්පූර්ණ ගංගාව පැහැදිලිව පෙනේද, එබඳු වූ වැලි ගොඩගැසුණු ගංඉවුරෙහි සවස් කාලයෙහි මහා භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලදුව, වැඩහිඳ හාත්පසින් පිරී ගලා බසින ගංගාව බලමින්, මේ ගංගාව නිසා පෙර දියුණුව (වෘද්ධිය) පිළිබඳව පරතෙරට පැමිණි කිසිවෙක් ඇත්දැයි ආවර්ජනාකොට, පෙර එක් ගොපල්ලෙක් නිසා දහස් ගණනක ගව සමූහයක් මේ ගඟ ගංදියට වැටී මුහුදට ගසාගෙන ගියේය. එහෙත් වෙනත් නුවණැති ගොපල්ලෙක් නිසා නොයෙක් දහස් ගණන් ගව සමූහයකට යහපත සැලසුනි. සුව විය. අභිවෘද්ධිය ඇතිවිය. නිරෝග බව ඇති වීයයි දුටුවේය. මේ කරුණ දැක, මේ කරුණ මුල්කරක්ගෙන භික්‍ෂූන්ට දහම් දෙසන්නේ යයි සිතා භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.
මාගධකො මගධරට වැසි, දුප්පඤ්ඤ ජාතිකො නුවණ නැති, අන්‍ධ වූ, මහද් ජඩ වූ ස්වභාව ඇති, අසමපෙක්ඛිත්‍වා නොසලකා නොවිමසා, පතාරෙසි එතෙර කරවන්ට පටන් ගත්තේය. උත්තර තීරං සුචිදෙහානං ගංගාවෙන් මෙතෙර මගධ රටය. එතෙර විදේහ රටය. ගවයන් මගධ රටින් විදේහ රටට පමුණුවා රක්නෙමියි උතුරු තෙරට (තරණය) එගොඩ කරන්නට පටන් ගත්තේය. ඒ සඳහා උත්තරං තීරං සුවි දෙහානං යන්න වදාරන ලදී. ආමණ්ඩලියංකරිත්‍වා රවුම්කොට, අනයඛ්‍යසනං ආපජ්ජිංසු නොවැඩුණු වනයට පැමිණියාහුය. මහා සමුද්‍රයට පිවිසියාහුය. ගවයන් බස්වන්නා වූ ඒ ගොපල්ලා විසින් ගංගාවෙහි මෙතෙර සම තොටද, විෂමතොට දැයි විමසා බැලිය යුතුය. ගඟ මැද ගවයන්ගේ විඩා හරින තැන් සඳහා වැලිතලාවන් ඇත්දැයි සැලකිය යුතු විය. එසේම මේ තොටින් බහින ගවයන් එතෙර අසවල් තොටින් එතෙර වන්නාහු යයි තොටුපල කීපයක් පිළිබඳව දැනුම් තිබිය යුතුය. එහෙත් මේ අනුවණ ගොපල්ලා මෙතෙර ගවයන් බසින තොට සම හෝ විෂම දැයි නොබලයි. ගඟ මැද ගවයන්ට විඩා හැරීම සඳහා වැලි තලා දෙක තුනක් ඇත්දැයි නො සලකාම, පරතෙරදී ගොඩබසින තොටුපලවල් පිළිබඳ කිසිවක් නොවිමසාම, නො තොටින්ම ගවයන් බැස්වීය. එකල ඔහුගේ ප්‍රධාන වෘෂභයා මහා ජවසම්පන්න බැවින් ද, මහා වේගයෙන් යුත් බැවින් ද, ශක්තිමත් බැවින් ද ගඟෙහි හරහට සැඩපහර සිඳ පරතෙරට පැමිණ කැඩුණු ඉවුරද, කටුලැහැබද දැක මෙය ගොඩවීමට නුපුළුවන් තැනකැයි දැන කුරය තැබීමට ද ඉඩක් නොලැබ නැවතුනේය. ගවයෝ ද ‘නායක වෘෂභයා නැවතුනි. අපිදු නවතින්නමෝ යයි නැවතුනාහුය. මහා ගව සමූහය නැවතුන තන්හී ගංගා ජලය බිඳී ගඟ මැද දියසුළි නැවීය. ගව සමූහයා දිය සුලියට හසුවී මුහුදටම ගියහ. එකම ගව ලෝමයක්වත් නිරුපද්‍රිත නොවීය. තත්‍ථෙව අනයඛ්‍යසනං ආපජ්ජිංසු යනු එහෙයින් කියන ලදී.
අකුසලා ඉමස්ස ලොකස්ස මේ ලෝකයේ ස්කන්‍ධ ධාතු ආයතන විෂයෙහි නුනුවණ වූවාහු අදක්‍ෂ වූවාහු පරලොවදී ද ඒ ක්‍රමයමැයි. මාරධෙය්‍යං ත්‍රෛභූමක ධර්මයෝ කියන ලදී. අමාරධෙය්‍යං නවලොව්තුරා දහම් මච්චුධෙය්‍ය ත්‍රෛභූමයෝමැයි. අමච්චුධෙය්‍ය නව ලොව්තුරු දහම් එහි අනුවණ වූවාහු අදක්‍ෂ වූවාහු වචනයාගේ අර්ථයෙන් මාරයාගේ ගොදුරය. මාරධෙය්‍ය නමි. ධෙය්‍ය යනු ස්ථානයයි. වස්තුවයි. නිවාසය ගෝචරය. මච්චුධෙය්‍ය යන්නෙහි ද මේ ක්‍රමයමැයි. තෙසං ඒ මෙබඳු මහණ බමුණන්ගේ මෙයින් ෂට් ශාස්තෲවරු දක්වන ලද්දේමය.
මෙසේ අසුභ පක්‍ෂය දක්වා සුභ පක්‍ෂය දක්වන්නේ, භික්ඛවෙ යනාදිය වදාළහ. එහි බලවගාවො දැමුණු ගොනුන් හා දෙනුන් ද දම්මගාවො දැමිය යුතු ගොනුන් හා නො වැදූ දෙනුන් ද, වච්ඡතරෙ වසු බැව් ඉක්මවා සිටි බලවත් වස්සන් (නාම්බන්) වච්ඡකෙ දෙනුන් කරා පැමිණෙන තරුණ වස්සන් කිසබලෙක මද මස් ලේ ඇති, මද ශක්ති ඇත්තවුන්, තාව දෙව ජාතකො එදිනම උපන්, මාතු ගොරවකෙන වුය්හමානො මවු දෙන පෙරටුකොට හුං හුං යන ගවහඬ කරමින් සලකුණු දෙමින් ළයෙන් ජලය සිඳිමින් යයි. වසුතෙම එම ගොරව හඬින් සංඥාවෙන් එම දෙනගේ ළෙන් සිඳී දියෙන් යන්නේ මාතු ගොරවගෙන වුය්හ මානො යයි කියනු ලැබේ.
මාරස්ස සොතං ඡෙත්‍වා රහත් මගින් මාරයාගේ තෘෂ්ණා දිය පහර බිඳ පාරං ගතා මහා වෘෂභයන් දියපාරට ගියා මෙන් සසර පරතෙර නිවනට ගියාහුය. පාරං අගමංසු මහා වෘෂභයන් පරතෙරට ගිය කෙණෙහි ගංගා ජලය තුන් කොටසක් ඉක්මවා සිටියාහු, මහා වෘෂභයන් පරතෙර පැමිණියවුන් දැක ඔවුන් ගිය මාර්ගයෙන් ම පරතෙරට ගියාහුය. පාරං ගමිස්සන්ති සිව්මගින් නැගිය යුතු කෙළෙසුන් අතුරෙන් තුන් කොටසක් ගෙවා සිටියාහු මෙවිට ඉතිරි තෘෂ්ණා සොතස සිඳ දැමුණු ගවයන් ජලපහරට මෙන් සංසාරයෙන් එතර වූ නිවනට යන්නාහුය. මෙලෙස සියලු වාරයන්හි අරුත් දතයුතුය. ධම්මානුසාරිනො සද්ධානුසාරිනො මොහු දෙදෙන ප්‍රථම මාර්ගයෙන් යුක්ත වූවාහුය.
ජාතනා සියලු ධර්මයන් දන්නා වූ බුදුහු විසින් සුප්පකාසිතො මොනවට වදාරන ලද, විවටං විවෘත කරන ලද, අමත ද්වාරං ආර්ය මාර්ගය. නිබ්බාන පත්තියා නිවණට පැමිණීම පිණිස විනලීකත පහ වූ මාන නල ඇතිකරන ලද, ඛෙමං පත්තෙත්‍ථ කත්තුකම්‍යතා ඡන්‍දයෙන්, අර්හත්වය ප්‍රාර්ථනා කරමු. කරන කැමැත්තේ නිපදවනු කැමැත්තේ වවු, පත්තත්‍ථ යනු ද පාඨයකි. මෙබඳු ශාස්තෲවරයකු ලැබ තෙපි පැමිණියාහු නම් වෙති යන අර්ථයි. ඉතිරිය හැම තැන ප්‍රකටය. භාග්‍යවතුන් වහන්සේ සුදුසු සේ අනුසන්ධියෙන් යුක්තව දේශනාව නිමවූ සේක.